lakbima.lk

අනුන්ගේ ගිණුම් තමුන්ගේ වගේ පාවිච්චි කළ ඒ.ටී.එම්. හොරෙක්

තම බැංකු ගිණුම්වල මුදල් ඇති බව හොඳාකාරවම දැනගෙන මුදල් ලබා ගැනීමට ඒටීඑම් යන්ත්‍ර වෙත පැමිණි, හලාවත නගරයේ බැංකු කිහිපයකම ගිණුම් හිමියන් කිහිප දෙනෙකුටම ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් තම තමන් ඇණවුම් කළ මුදල නොලැබිණි. සහතික වශයෙන්ම ගිණුමේ මුදල් ඇති බව දැන සිටියදී මෙසේ ගිණුමේ ප්‍රමාණවත් මුදල් නැතැයි ඒ.ටී.එම්. යන්ත්‍රයේ සටහන්වීම සම්බන්ධයෙන් ඔවුහු බැංකුවට ගොස් පරීක්ෂණ කළහ. තමුන් ගණුදෙනු නොකළ අන් දිනයන්හිදී ගිිණුමෙන් මුදල් අඩුවී ඇති බව ගිණුම් හිමියන්ට එහිදී දැන ගත  හැකිවිය.

තමන්ගේ ගිණුම්වලින් නොදැනුවත්ව මුදල් අඩුවීම සම්බන්ධයෙන් බැංකු දැනුවත් කළවිටද බැංකු ඒ සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලබා නොදුන් බවයි ගිණුම් හිමියන් පවසන්නේ. “ඔයාට අමතක වෙලා වෙන්න ඇති, කාඩ් මිස් ප්‍ලේස් වෙලා ඔයා අතින් කවුරු හරි අරගෙනද දන්නෑ.” වැනි පිළිතුරු හැරෙන්ට බැංකුවලින් ගිණුම් හිමියන්ට හරි උත්තරයක් නොලැබුණි.  අවසන ගිණුම් හිමියෝ හලාවත ‍පොලිස් ස්ථානයේ පැමිණිලි ‍පොතේ මේ අවනඩුව සටහන් කළහ.

වසරකට වැඩි කාලයක් කරගෙන යමින් සිටි බැංකු ගිණුම්වලින් මුදල් සොරකම් කිරීමේ ජාවාරමක් හෙළිකරගන්නට මග පෑදෙන්නේ ඒ පැමිණිලිි සමගින්ය. තම අනුදැනුමකින් තොරව තමන්ගේ ගිණුමෙහි තිබූ මුදල් අඩුවී ඇති බවට හලාවත ‍පොලීසියට පැමිණිලි තුනක් ලැබි තිබේ. ඒවා අනුව එම තිදෙනාගේ ගිණුම්වලින් සොරකම් කර ඇති මුදල රුපියල් ලක්ෂ හය හමාරක් (6,50,000.00) පමණ වේ.

පළමු පැමිණිල්ල ලැබුණු අවස්ථාවේදීම හලාවත මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක, ප්‍රධාන ‍පොලිස්  පරීක්ෂක එච්.පී.වයි.ඩබ්. හේරත්ගේ  උපදෙස් පරිදි  ඉදිරි විමර්ශන කටයුතු පැවරුණේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ  ඇතුළු ‍පොලිස් කණ්ඩායමකටය. පළමු පැමිණිල්ල පිළිබඳව විමර්ශන කටයුතු කරමින් සිටියදී දෙවැනි හා තෙවැනි පැමිණිලි ලැබි ඇති අතර ඔවුන් තුළද බැංකු කෙරෙහි පැහැදීමක් නොතිබිණි.
වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ‍පොලීසිය අධිකරණයේ පිහිට පැතීය.

අධිකරණ නියෝග අනුව බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ පැමිණිලිකරුවන්ගේ ගිණුම් වලින් අඩුව තිබූ මුදල් තැන්පත්ව ඇත්තේ පෞද්ගලික බැංකු දෙකක ඇති ගිණුම් දෙකකට බවයි. ඒ ගිණුම් දෙක වෙනුවෙන් නිකුත් කර ඇති ඉලෙක්ටේ‍රානික බැංකු කාඩ්පත් මගින් අදාළ මුදල් වැය කර ඇති බවද හඳුනා ගන්නට මේ
පිළිබඳ පරීක්ෂණ කළ නිලධාරීන්ට හැකිවිය.


බැංකුවෙන් ලබාගත් දත්ත වාර්තාවන් තව දුරටත් විශ්‍ලේෂණ කිරීමේදී අදාළ තැනැත්තා සුපිරි වෙළඳසල්, ඉන්ධන පිරවුම්හල් වැනි ස්ථානයන්ට එම කාඩ් භාවිතයෙන් මුදල් ගෙවා ඇති බවයි හෙළිව ඇත්තේ. එම ස්ථානයන්හි සවිකොට ඇති සීසීටීවී කැමරාවන්හි සටහන්ව ඇති වීඩියෝ පරීක්ෂා කිරීමේදී ‍පොලීසියට දක්නට ලැබි ඇත්තේ ඔහු කැමරාවන්ට හසු නොවන්නට උපරිමයෙන් වග බලාගෙන ඇතිබවයි.

ඔහු තම යතුරු පැදිය කිසි විටෙක කැමරාවන් සහිත පෙදෙස් වෙත රැගෙන නොඒමට වග බලාගෙන ඇති බව එහිදී හොඳටම පැහැදිලි විය. එමෙන්ම සෑම විටම කැමරාවන්ගෙන් මුහුණ වසන්කරගෙන ගණුදෙනු කර ඇති ආකාරයත් අදාළ වීඩියෝ පරීක්ෂා කිරීමේදී දකින්නට ලැබි තිබේ. තවත් අවස්ථාවන්හි මහ මග යන ත්‍රිරෝද රථ භාවිතකර ඇති අයුරුද එම වීඩියෝවන්ගෙන් පෙනී ගොස් තිබේ.

කෙතරම් අසීරු වුවත් ‍පොලීසිය සැකකරු කවුදැයි හඳුනාගන්නා තෙක් වැඩය අතෑරියේ නැත. වර්ණකුලසූරිය රොලින්ටන් ඉන්දික චන්දිමාල් (45) සැක පිට මැයි පළමුවැනිදා ‍පොලිස් අත්අඩංගුවට පත්වන්නේ ඒ වීඩියෝ මත පදනම්ව ‍පොලීසිය ඇතිකරගත් සැකය මතය. අනතුරුව ඔහු සන්තකයේ තිබි පරිගණකයක් සහ බැංකු කාඩ්පත් දත්ත උපයෝගීකරගෙන වෙනත් අනෙකකුගේ බැංකු ගිණුම්වෙත පිවිසිය හැකි අධි තාක්ෂණික උපකරණයක්ද ‍පොලිස් භාරයට ගෙන තිබේ.

අහිංසක මිනිසුන්ගේ බැංකු ගිණුම්වල තැන්පත් කර තිබූ මුදල් සොරකම් කිරීමේ ජාවාරමක සුල මුල හෙළිවන්නේ ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලින් අනතුරුවය. ඒ අනුව හලාවත පුත්තලම පාරේ ඉන්ධන පිරවුම් හලක ‍පොම්පකරුවකු ලෙස සේවය කරනු ලබන මධුශංක ශ්‍රීමාල් (22) ද  ‍පොලීසිය විසින් එදිනම අත්අඩංගුවට ගනු ලැබිය.
ප්‍රධාන සැකකාර රොලින්ටන් ඉන්දික චන්දිමාල්ගේ සොයුරා නගරයේ ප්‍රධාන පෙ‍ලේ ව්‍යාපාරික ආයතනයක් පවත්වාගෙන යන තැනැත්තකි.  රුපියල් 75000ක මාසික වැටුපකට එම ව්‍යාපාරික ස්ථානයේ සේවය කරන්නට අවස්ථාව පවා ලබාදී තිබියදී ඔහු මෙම ජාවාරමේ නිරතව ඇති බවයි ‍පොලිසිය පවසන්නේය.


පරිගණක හා තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති ප්‍රධාන සැකකරු ගිණුම් හිමියන්ගේ කාඩ්පත්වල දත්ත සොරකම් කිරීම සඳහා එකිනෙක හා බැඳී පවතින අධි තාක්ෂණික උපාංග දෙකක් චීනයෙන් ගෙන්වාගෙන තිබේ. ඉන් එක් උපකරණයක් කාඩ්පත්වල දත්ත සොරාගැනීම සඳහාය. එය ප්‍රමාණයෙන් සෙන්ටි මීටර් 5ක් දිග 3ක් පළල ඉතා කුඩා උපකරණයක් බව ‍පොලීසිය පවසයි.


උපක්‍රමිකව ‍පොම්පකරු හා මිතුරු වී ඇති ප්‍රධාන සැකකරු ඔහුට එම උපාංගය දෙනු ලබන්නේ ඉන්ධන ලබාගෙන කාඩ්පත්වලින් මුදල් ගෙවන අයගේ කාඩ්පත්හි දත්ත සොරකම් කරන ආකාරය පැහැදිලි කිරීමෙන් අනතුරුවය. ඒ පමණක් නොවේ දත්ත සොරකම් කරදෙනු ලබන සෑම කාඩ් පතක් සඳහාම රුපියල් දෙදහසක මුදලක් දෙනුලබන බවට වූ ආකර්ෂණීය ‍පොරොන්දුවක්ද සමගින්ය.


කාඩ්පත්වලින් මුදල් ගෙවන සෑම අයෙකුගේම කාඩ් පත්වල දත්ත සොරකම් කිරීමට අවස්ථාව නොලැබෙන බවයි දෙවන සැකකරු පවසා තිබෙන්නේ. කාඩ්පතින් මුදල් ගෙවන පුද්ගලයා මුදල් ගෙවන අවස්ථාවේ ඒ පිළිබඳව අවධානයෙන් නොසිටින්නේනම් පමණක්, ඔහු තම සාක්කුවක ඇති දත්ත සොරකම් කිරීමේ උපකරණය භාවිතයෙන් ඇසිල්ලකින් ඒවායේ දත්ත සොරකම් කර තිබේ.


සෑම දිනකම දවස අවසානයේ ‍පොම්පකරු හමුවන ප්‍රධාන සැකකරු, දත්ත සොරකම් කිරීමට භාවිත කරනු ලබන උපාංගයේ ඇති එදින සොරකම් කරන ලද දත්ත ඔහු සතුව ඇති වෙනත් උපාංගයක් වෙත ලබා ගනී. එවෙ‍ලේම ‍පොම්පකරුට ලබා දියයුතු මුදල ලබාදීමටද ප්‍රධාන සැකකරු වග බලාගෙන ඇති බවයි ‍පොලිසිය පවසන්නේ.

එසේ රැගෙන යන දත්ත පරිගණකයට ඇතුළත් කර, ප්‍රධාන සැකකරු සතුව ඇති දත්ත සොරකම් කිරීමේ උපාංගයකටම අදාළ තවත් උපාංගයක් මගින් අනවසරයෙන් අන් අයගේ බැංකු ගිණුම් වෙත පිවිස ඇති බවයි ‍පොලීසිය මේ වනවිට අනාවරණය කරගෙන ඇත්තේ.


සැකකරු කිසි විටෙක ඒටීඑම් යන්ත්‍ර මගින් මුදල් ලබා නොගැනීමට ප්‍රවේශම්ව ඇති බව ‍පොලීසිය පවසන්නේය. ඔහු එම මුදල්, මුදල් ලෙස අතට ගෙන ඇත්තේ සුපිරි වෙළෙඳසල්වලින් කිරි පිටි වැනි භාණ්ඩ වැඩි වශයෙන් මිලදීගෙන ඒවා අඩු මුදලට අලෙවි කිරීම මගින් බවයි අනාවරණය වී ඇත්තේ.

ඉලෙක්ටේ‍රානික කාඩ්පත් මගින් ගෙවීම් සිදු කරද්දී ඒ සම්බන්ධයෙන් වඩාත් සැලකිල්ලෙන් සිටින ලෙසයි ‍පොලීසිය මහජනතාවට පවසන්නේ.      

චම්ලි ඒකනායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.