lakbima.lk

තවත් ඇමෙරිකානු සම්බාධක වටයක් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ. මෙම සම්බාධක වලින් සමහර ඒවා ඉරාන තෙල් කර්මාන්තයට  අදාළ වන බැවින් මේ ගැන ජාත්‍යන්තර වශයෙන් වඩාත් අවධානයක් යොමු වෙමින් ඇත. මන්ද යත්, මෙම සම්බාධක ක්‍රියාත්මක වීමත් සමග ලෝකයේ තෙල් මිල විශාල වශයෙන් ඉහළ යාමක් සිදු විය හැකිද යන සැකයක් බොහෝ පාර්ශ්ව තුළ තිබිම නිසාය. ඉරාන තෙල් කර්මාන්තය මත මෙම ඇමෙරිකානු සම්බාධක හේතුවෙන් ලෝක වෙළෙඳ‍පොළට ඉරානයෙන් එන තෙල් ප්‍රමාණය අඩු වනු ඇති බවටත්, ඒ නිසා තෙල් හිඟයක් ඇති වීමෙන් මිල වේගයෙන් ඉහළ යාමක් සිදුවිය හැකි බවටත් සැක සංකා පළවෙමින් තිබිණි. මෙයට ටික කලකට පෙර ඇතැම් නිරීක්ෂකයන් අදහස් දක්වා තිබුණේ බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 ආසන්නයට ළඟා වීමේ අනතුරක් තිබෙන බවයි. කෙසේ වෙතත් මේ අනාවැකි සම්බන්ධයෙන් මේ වනවිට විවිධ සැකසංකා පළවීමට පටන් ගෙන ඇති ආකාරයක් ද දැකිය හැකි වෙයි. කලින් බලා‍පොරොත්තු වූ ආකාරයේ මිල වැඩි වීමක් සිදු නොවනු ඇති බවට ද මේ වනවිට ඇතැම් නිරීක්ෂකයන් අදහස් පල කරනු දැකිය හැකි වේ.
ඇමෙරිකාව මේ ආකාරයෙන් ඉරානය මත සම්බාධක පැනවීමට යන්නේ 2015 දී, එනම් බැරක් ඔබාමාගේ කාලයේ ඇමෙරිකාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉරානය සමග එළැඹුණු ගිවිසුමකින් ඉවත් වීමට ට්‍රම්ප් තීරණය කිරීමත් සමග ය. ඉහත කී ගිවිසුම ඇති වූයේ ඉරානයේ ඒ වනවිට පැවැති න්‍යෂ්ටික  වැඩපිළිවෙළ පසුබිම් කර ගනිමිනි. මෙම වැඩපිළිවෙළ හරහා යම් දිනෙක ඉරානය න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරනු ඇතැයි යන සැකයක් ඇමෙරිකාව ඇතුළු බටහිර පාර්ශ්ව තුළ ඇති වූ අතර ඉරානයේ මෙම වැඩපිළිවෙළ නතර කිරීමේ ලොකු වුවමනාවක් ඔවුන් තුළ ඇති විය. ඉරානය කොහොමත් සැලකෙන්නේ මැද පෙරදිග කලාපයේ සිටින ලොකුම බටහිර විරෝධියෙකු වශයෙනි. බටහිර ජාතීන් තුළ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සැකසංකා ඇති වීමට හේතු වූයේ එයයි. එදා මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙළ නතර කිරීම සඳහා අවසානයේ ගන්නා ලද පියවර වූයේ ඉරානයට එරෙහිව විවිධ සම්බාධක ක්‍රියාත්මක කිරීමයි.
මෙම සම්බාධක නිසා එවර ද ඉරාන ආර්ථිකයට විශාල බලපෑමක් ඇති විය. ඒ නිසා කිසියම් විසඳුමක් සොයා ගැනීමේ වුවමනාවක් ඔවුන් තුළ ද ඇති වී යයි පැවැසිය හැක. 2015 න්‍යෂ්ටික ගිවිසුම ඇති වූයේ මෙම පසුබිම තුළ ය. ඉරානයට එරෙහිව පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට ඇමෙරිකාව ඇතුළු පාර්ශ්වය මෙම ගිවිසුම තුළින් එකඟ වූ අතර තම න්‍යෂ්ටික වැඩ පිළිවෙළෙහි යම් යම් කප්පාදු කිරීම් සිදු කිරීමට ඉරානය ද එකඟ විය. මෙහි දී ඇමෙරිකාව සමග එක්ව ගිවිසුමට අත්සන් කළ පාර්ශ්ව වූයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වූ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, චීනය, රුසියාව යන රටවල්ය. එයට අමතරව ජර්මනිය ද මෙහි පාර්ශ්වකරුවෙකු විය.
කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමත් සමග ඇමෙරිකාව මෙම ගිවිසුමෙන් ඉවත් කර ගැනීමට ඔහු පියවර ගත්තේය. ඔහු කීවේ ගිවිසුමෙහි අඩුපාඩු රැසක් ඇති බවයි. එය 'නරකම ආකාරයේ'' ගිවිසුමක් යයි ද ඔහු සඳහන් කළේ ය. ඉරානය ඉහත කී න්‍යෂ්ටික ගිවිසුමෙන් ඔවුන්ට ලැබුණු සහනදායී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින්  මැද පෙරදිග කලාපය තුළ සිය ශක්තිය ඉහළ නංවා ගනිමින් සිටිනවාය යන අදහසක් ට්‍රම්ප් පාර්ශ්වය තුළ පැවැති බැව් පෙනිණි.  තවත් ඇමෙරිකානු විරෝධියෙකු වන සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ට ඉරානය සහය පළ කිරීම සහ සිරියානු යුද්ධයේ දී ඔහුට යුද ආධාර ලබා දීම වැනි කාරණා ද ට්‍රම්ප් පාර්ශ්වයේ අවධානයට හසු වූ කාරණා විය. එමෙන්ම මැද පෙරදිග කලාපයේ ඇමෙරිකාවට සිටින ලොකුම මිතුරෙකු වන සෞදි අරාබිය සහ ඉරානය අතර ද  මෙම කලාපයෙහි ආධිපත්‍යය වෙනුවෙන් විශාල බල අරගලයක් පවතියි.  මේ නිසා ද ඉරානය මට්ටු කිරීමට ඇමෙරිකා-සෞදි හවුලට වුවමනාවක් තිබෙන බව රහසක් නොවේ. මේ අතර සෞදියට ආසන්නයේ ඇති යේමනය තුළ ද මේ වනවිට සිවිල් යුද තත්ත්වයක් පවතියි. මෙම යුද්ධයේදී සෞදිය යේමනයේ නිල පාලකයන්ට සහය දක්වන අතර ඔවුන්ට එරෙහිව සටන් කරන කැරලිකරුවන්ට ඉරානය සහය දක්වන බවට චෝදනා එල්ල වෙයි. ඇමෙරිකාව මෙම කැරළිකරුවන් හඳුන්වන්නේ 'ත්‍රස්තවාදීන්' හැටියට ය. කෙසේ හෝ වේවා, මේ ආදී බොහෝ කාරණා නිසා  ඉරානය දුර්වල කිරීමේ දැඩි වුවමනාවක් ඇමෙරිකාවට තිබෙන බැව් දැකිය හැකි වෙයි. ඔවුන් ගිවිසුමෙන් ඉවත් වීමට තීරණය කළේ මතෛක් ලිහිල් කර තිබූ සම්බාධක නැවත පනවමින් ඉරාන ආර්ථිකයට පහර එල්ල කිරීම සඳහා බව පෙනේ.
ට්‍රම්ප් පවසන්නේ තිබුණු ගිවිසුම වෙනුවට නව ගිවිසුමක් අත්සන් කළ යුතු බවයි. 'ත්‍රස්තවාදයට' සහය දීම වැනි කාරණාවලට වැට බඳින වගන්ති එයට ඇතුළත් විය යුතු බව ඔහුගේ අදහසයි. කලින් කී ගිවිසුමෙන් ඉරානයේ  න්‍යෂ්ටික කටයුතුවලට සීමා පැනවුණ ද මිසයිල නිෂ්පාදනයට බාධා ඇති වූයේ නැත. ට්‍රම්ප් පවසන්නේ මෙම මිසයිල නිෂ්පාදනය  වළක්වන වගන්ති ද ඇතුළත් විය යුතු බවය. 2015 ගිවිසුමෙන් සමහර න්‍යෂ්ටික කටයුතුවලට වුව ද සීමා පැනවුණේ සීමිත කාලයක් සඳහා පමණි. වසර පහළොවකට විස්සකට  පසු අවශ්‍ය නම් න්‍යෂ්ටික අවි නිපදවීමේ නිදහස නැවත ඉරානයට හිමි වනු ඇති බවට ද අදහස් ඉදිරිපත් වෙයි. නව ගිවිසුමක දී මේ සියල්ල ගැන අවධානය යොමු කළ යුතු බව ට්‍රම්ප් පාර්ශ්වයේ අදහස යි. ඇමෙරිකාව ඉහත කී ගිවිසුමෙන් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් තීරණය කළේ මෙම පසුබිම තුළ ය.

ඉරානයේ තෙල් අපනයන ක්‍ෂේත්‍රය මෙන්ම මූල්‍ය ක්‍ෂේත්‍රය, නැව් ගමනාගමන සහ නැව් ඉදි කිරීම් ක්‍ෂේත්‍රය, ගුවන් ගමන් ක්‍ෂේත්‍රය වැනි ක්‍ෂේත්‍ර රැසකට මෙම සම්බාධක බලපානු ඇති බව සඳහන් වේ. එමෙන්ම ඉරානයේ යම් යම් පුද්ගලයන්ට එරෙහිව ද සම්බාධක පැනවෙනු ඇත. ඉරානය සමග මෙම ක්‍ෂේත්‍රවලට අදාළව ගනුදෙනු කරන සෙසු රටවලට එරෙහිව ද කටයුතු කිරීමේ හැකියාව ඇමෙරිකාවට හිමි වෙයි. නමුත් රටවල් 8 ක් මෙයින් නිදහස් කිරීමට  ඇමෙරිකාව තීරණය කර ඇති බව සඳහන් වේ. දකුණු කොරියාව, ඉන්දියාව, ජපානය, ඉතාලිය, තුර්කිය වැනි ඇමෙරිකාවේ මිතුරන් මෙම ලැයිස්තුවට ඇතුළත් වන බවට ඇතැම් මාධ්‍ය වාර්තා වල සඳහන් විය.
මෙම සම්බාධක ක්‍රියාත්මක වීමට පටන් ගැනීමත් සමග, කලින් සඳහන් කළ ලෙසම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති ගැටලුවක් වන්නේ තෙල් මිල ඉහළ යාමට ද මෙය හේතුවක් වනු ඇති ද යන්නයි. මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිතව යමක් කීමට නොහැකි වුවත් ඇතැම් වෙළෙඳ‍පොල නිරීක්ෂකයන්ගේ අදහස වී ඇත්තේ එවැන්නක් සිදු නොවනු ඇති බවයි. මෙම සම්බාධක නිසා ලෝක වෙළෙඳ‍පොළට එන ඉරාන තෙල් ප්‍රමාණය අඩු වීමෙන් මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවට මුලින් අදහස් පළ වුවද ඇමෙරිකාව සහ සෙසු ඔපෙක් රටවල් තෙල් නිෂ්පාදනය වැඩි කිරීම නිසා මෙම අඩුව පිරෙනු ඇති බවට මේ වනවිට ඔවුහු විශ්වාසය පල කරමින් සිටිති. මේ අතර තෙල් සඳහා වන ඉල්ලුම අඩු වෙමින් තිබිම නිසා ද සැපයුම අඩු වීම ගැටළුවක් නොවනු ඇති බවට මත පලවෙයි. තෙල් සඳහා වන ඉල්ලුම අඩුවීමට හේතු ගණනාවක් බලපා තිබේ. ඇමෙරිකාව සහ චීනය අතර තීරු බදු යුද්ධය නිසා කර්මාන්ත ආදී ක්‍ෂේත්‍රවල යම් අඩාල වීමක් සිදුව තිබිම ද ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ. තෙල් භාවිතා කරමින් සිදු කරන කර්මාන්ත අඩාල වීමත් සමග තෙල් සඳහා වන ඉල්ලුම පහත වැටීම නිරායාසයෙන් සිදුවන්නකි. මෙවැනි සාධක නිසා තෙල් මිල සම්බන්ධයෙන් සිතන තරම් ගැටලුවක් පැන නොනගිනු ඇති බව සමහරුන්ගේ මතය වී තිබේ. නමුත් මෙම මතය හා එකඟ නොවන පාර්ශ්ව ද සිටිති. ඔවුන් දිගින් දිගටම පවසමින් සිටින්නේ දීර්ඝ කාලීනව සලකා බැලීමේ දී තෙල් මිල ඉහළ යාමක් සිදුවිය හැකි බව සහ ඉරාන සම්බාධක ද එයට බලපාන එක් හේතුවක් වනු ඇති බවය.

නිහාල් පීරිස්

  1. වයස අවුරුදු හැත්තෑදෙකේදී සෙල්ලම් බඩු හොරකමේ ගිය හේතුව
  2. තාලිබාන් සංවිධානයේ පියාගේ අවමඟුලට මහ සෙනඟක්
  3. රඳවාගෙන සිටි සවුදි රජ කුමරුට නිදහස
  4. කාෂෝගි මරාදැමුවේ ගෙල මිරීකීමෙන් බවට හෙළිදරව්වක්
  5. බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යෙදවු පිරිසක් ස්පාඤ්ඤ ‍පොලීසිය මුදාගනියි
  6. රෝගීන් 100 දෙනෙකු ඝාතනය කළ බව පිළිගත් හෙද නිලධාරියා
  7. බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ඛලිඩා සියාට වසර 7ක සිර දඬුවම්
  8. ගොවියන් කෝපගන්වමින් ගුජරාතයේ ඉදිවූ ලොව උසම පිළිරුව
  9. තායිලන්ත ප්‍රකෝටිපතියා සමග හෙළිකොප්ටරය අනතුරක
  10. ඇමෙරිකාවේ දේවස්ථානය තුළ වෙඩි තැබිම ජාතිවාදී ප්‍රහාරයක්
  11. කැතේ පැසිපික් මගීන් මිලියන දහයකට ආසන්න ගණනකගේ තොරතුරු පිටතට
  12. ජමාල් කාෂෝගි ඝාතකයන්ට දඩුවම් කරන බව සල්මාන් කුමරු කියයි
  13. ලොව දිගින් වැඩිම පාලමට මංතීරු 6ක්
  14. සිය සැමියා සපා කා මරා දැමූ සිංහ ධේනුව
  15. වසර 12 000 ක් ඉපැරණි ලුසියා ෆොසිලය අලු යටින් හමුවෙයි !
  16. තවත් අනවසර සංක්‍රමණිකයින් 2000 ක් මෙක්සිකෝ - ග්වාතමාලා දේශසීමාව‍ට
  17. බොන්ඩි වෙරළට පැමිණි රාජකීය යුවළට උණුසුම් ප්‍රතිචාර
  18. පාකිස්තානයේ කුඩා දැරියන් දූෂණය කළ අපරාධකරු එල්ලා මරයි
  19. අතුරුදහන් වූ කාෂෝගී ගේ මළ සිරුර සොයා ‍පොලිස් මෙහෙයුම්
  20. අවාරයේ පිපෙන ජපානයේ සකුරා
  21. හින්දු දෙවොලක වන්දනාවට ආ කතුන්ට ගල්
  22. කැනඩාව ප්‍රතිනිර්මාණිත මරිජුවානා ද නීතිගත කරයි
  23. මොරොක්කෝවේ මාරාන්තික දුම්රිය අනතුරක් !
  24. කැනඩාවේ ප්‍රතිනිර්මාණිත කංසා නීත්‍යනුකූලභාවයට
  25. හැරී හා මේගන් ගේ පළමු රාජකීය සංචාරය අදින් ඇරඹේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.