lakbima.lk

තායිලන්ත කුමරිය සම්ප්‍රදායට පරදියි

රජ පවුල් බොහොමයක් අයත් ඉතිහාස ‍පොත්වලටය. නමුත් තවමත් ඉතිහාස ‍පොත්වලට හිර නොවණු රාජකීයයන්ද අතළොස්සකි. එවැනි රාජකීයයන් කෙරෙහි ජනතා සිත් තුළ තවමත් ඇත්තේ ගෞරවයකි. වරෙක එය උන්මාදයකි. රාජකීයයන් අරබයා පුවත් මැවෙන්නේද එනිසාමය. ප්‍රජාතන්ත්‍රවාදයත්, සම්ප්‍රදායත් අතරට මැදිව ඇති තායිලන්ත රජ කුමරිය වන උබොල් රතනා මේ සතියේ ලොව වඩාත්ම කතාබහට ලක්වූ රාජකීය චරිතයයි. මේ ලිපියේ කතා නායිකාවද ඇයයි.

තායිලන්ත රජ කුමරිය උබොල් රතනා තායිලන්තයේ අගමැතිවරයා පත්කර ගැනීම පිණිස පවත්වනු ලබන මහ මැතිවරණයේ අපේක්ෂකයකු ලෙස නිවේදනය කරනු ලැබුවේ ඉකුත් සිකුරාදා උදෑසනය. ඒ හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනෙවත්‍රාගේද සහය ඇතිව තායි රක්ස පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙසය.

නමුත් කුමරියගේ අගමැති සිහිනය බොඳව යන්නේ තායිලන්තයේ මහා වජිරලොන්ග්කොන්ග් රජුගේ තීරණයකට අනුව කුමරියගේ අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගැනීමට අදාළ පක්ෂය ගන්නා ලද තීරණයත් සමගය. සැබැවින්ම එය අනපේක්ෂිත තීරණයක් වන්නේ මැතිවරණ අපේක්ෂකයන්ගේ අයැදුම් පත්‍ර විමර්ශනය කිරීමේ ක්‍රියාවලියද මෙම සතිය තුළ අවසන් කිරීමට මැතිවරණ කොමිසම සියලු කටයුතු සූදානම් කර තිබෙන අවස්ථාවකදී වීම පසුබිම් කොටගෙනය.

සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් රජු පවස ඇත්තේ තම සොයුරියගේ මෙම තීරණය දැඩි ලෙස නුසුදුසු එකක් වන බවත් ‍‍‍ජ්‍යෙෂ්ඨ රාජකීයයන් මෙලෙස දේශපාලනයට පිවිසීම රාජකීය සම්ප්‍රදායට පටහැනි කාරණයක් වන බවත්ය. අදාළ පක්ෂයද ඉකුත් සෙනසුරාදා කුමරියද සම්බන්ධ කරගනිමින් පැවැත්වීමට සංවිධානය කර තිබූ දේශපාලන රැස්වීමක්ද මේ හේතුකොට ගෙන අවලංගු කොට ඇත.

ඉකුත් සෙනසුරාදා තක්ෂින් ශිනෙවත්‍රාද ට්විටර් පණිවුඩයක් තබමින් ප්‍රකාශ කොට තිබුණේ අප අතීතයෙන් උගෙන වර්තමානයේ හා අනාගතයේ ජීවත් වෙමින් ඉදිරියට යා යුතු බවයි.

රජුගේ මෙම තීරණය ප්‍රකාශයට පත්වීමත් සමගම තායිලන්ත රාජකීයයන් මෙන්ම බොහෝ පිරිස් සමාජ මාධ්‍ය හරහා රජු දිගුකල් වැජඹේවා යනුවෙන් උක්ත තීරණය අගය කරමින් තම ප්‍රසාදය පළ කර තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට තිබුණි.

නමුත් රජුගේ මෙම තීරණයට අප්‍රසාදය පළ කරන්නෝද වෙති.

ඉතිහාසඥයකු වන ක්‍රිස් බේකර් ප්‍රකාශ කරන අන්දමට මීළඟට කුමක් සිදුවුවද රජ මාලිගයෙන් නිකුත් කරන ලද රාජකීය ප්‍රකාශයත් දැඩිය. වෙනස් කළ නොහැක. මන්ද යත් තායිලන්ත රාජකීයයන් දැඩි ලෙස සම්ප්‍රදායන් ගරු කොට ගනු ලබන බැවිනි.

තායිලන්ත මාධ්‍ය උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ රජු තම තීරණය ප්‍රකාශයට පත් කිරීමේදී රජ කුමරිය විවේචනයට ලක් කොට නොමැති නමුත් කුමරියට අපේක්ෂකත්වය පිරිනමන ලද දේශපාලනඥයන් අරබයා රජු සිය දැඩි අප්‍රසාදය පළකොට ඇති බවයි. එකී වාර්තා උපුටා දක්වමින් දේශපාලන නිරීක්ෂකයන් සිය නිරීක්ෂණ අනුව උපකල්පනය කරනු ලබන්නේ ශිනෙවත්‍රාට මෙන්ම අදාළ දේශපාලන පක්ෂයද නැවතත් තම දේශපාලන කටයුතුවලට කුමරිය සම්බන්ධ කරගන්නේ නම් ඒ සඳහාද රාජකීය අනුමැතිය අවශ්‍ය වනු ඇති බවයි. දේශපාලන නිරීක්ෂකයන් ප්‍රකාශ කොට ඇත්තේ ශිනෙවත්‍රාගේ මෙම ක්‍රියාව ඔහු සියතින්ම තම ගෙල සිඳ ගැනීමක් වන බවයි.

67 හැවිරිදි උබොල් රතනා කුමරිය මාධ්‍ය අවධානයට ලක්වූ ප්‍රථම අවස්ථාවද මෙය නොවේ. තායිලන්තයේ භුමිබෝල් අදුයුල් යාදේජ් රජතුමාගේ කුළුඳුල් දියණිය වන්නේද මෙම කුමරියයි. 1972 වසරේදී ඇමෙරිකානු ජාතිකයෙක් සමග විවාහ වීමත් සමගම තම රාජකීය හිමිකාරිත්වයටද සමු දුන් මෙම කුමරිය නැවත රාජකීය පවුලට එක් වන්නේ එම විවාහය දික්කසාදයකින් කෙළවර වීමත් සමගය. රාජකීය සම්ප්‍රදායන් තුළ ජීවත් වුවද ඉතා රැඩිකල් චරිතයක් ලෙස රජ ලුනටිස් හැඳින්වීම වරදක් නොවන්නේ සාමාන්‍ය ජනතාව අතරට පිවිස ඔවුන් හා සමව දිවි ගෙවීමට ඇය දරනා අසාමාන්‍ය උත්සාහය හේතුවෙනි. සමාජ මාධ්‍ය තුළද ඇය ඉතා ජනප්‍රිය චරිතයකි. තම අගමැති සිහිනය බොඳවීම සම්බන්ධයෙන්ද සිය ඉන්ස්ටග්‍රම් ගිණුමෙහි සටහනක් තබමින් ඇය ප්‍රකාශ කොට තිබුණේ ඉදිරියට යන්න ලෙසයි. කෙසේ වෙතත් මෙය මුලින් කීවාක් මෙන් ප්‍රජාතන්ත්‍රවාදයේත්, සම්ප්‍රදායේත් අරගලයක් බවට පත්විය හැකි බවට ඉඟි පළ කළ හැක්කේ ‍පොදු මහජනතාවට සේම අගමැති සටනට පිවිසීමේ අයිතිය තමාටද ඇති බවත් එය තමා භාවිත කරනු ලබන බවටත් වන රජ කුමරියගේ ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ඇය තවමත් රාජකීය පවු‍ලේ සාමාජිකයකු බවට රාජකීය මාලිගාව විසින් කරන ලද ප්‍රකාශයන්ද අදාළ කර ගනිමිනි.

එරංගි ප්‍රමෝදා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.