lakbima.lk

අනතුරට පත් ඉන්දුනීසියානු ගුවන් යානයේ කාර්මික දෝෂයක් ගැන අලුත් හෙළිදරව්වක්

පුද්ගලයන් 189 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය 29 වෙනි දින ඉන්දුනීසියාවේ සිදු වූ ගුවන් අනතුරට හේතුව කුමක්ද යන්න තවමත් අබිරහසකි. එදින පෙරවරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා හි සුකර්නෝ හාතා ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අහසට නැගුණු 'බොයිං 737 මැක්ස්'' වර්ගයට අයත් මෙම යානය එයට සුළු වේලාවකට පසුව අනතුරට පත්ව ඒ ආසන්න මුහුදට කඩා වැටිණි. යානය කිසියම් කාර්මික දෝෂයකට මුහුණ දුන් බවක් පෙනුණු බව ද, නියමුවා එය ආපසු ගුවන් තොටුපළ වෙත හරවාගෙන ඒම සඳහා විමසා ඇති බව ද පසුව වාර්තා විය. කෙසේ වෙතත් මෙම කාර්මික දෝෂය කුමක්ද යන්න ගැන තවමත් නිශ්චිතව කිසිවක් ප්‍රකාශයට පත්ව නැත. නමුත් ඒ සම්බන්ධයෙන් සැක කළ හැකි කාරණයක් ගැන ඉන්දුනීසියානු බලධාරීන් වෙතින් අදහස් පළ වී තිබේ. ඔවුන් මේ ආකාරයෙන් අදහස් දක්වා ඇත්තේ මුහුදු පත්ලෙහි තිබූ යානයෙහි එක් කළු පෙට්ටියක් සොයා ගැනීමත් සමගය.

බලධාරීන් මෙහිදී සඳහන් කර ඇත්තේ යානයේ පියාසර වේගය මනින උපකරණ සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් පැවැති බැව් පෙනී යන බවයි. මෙයට අදාළ ඉතා බැරෑරුම් කාරණයක් වී තිබෙන්නේ මෙම දෝෂය යානයේ අවසන් ගුවන් ගමන් හතර තුළම තිබි ඇති බවක් පෙනී යාමයි. එවැනි තත්ත්වයක් තිබියදීත් එම ගැටලුව යථා තත්ත්වයට පත්කිරීමට නිසි ආකාරයෙන් කටයුතු කර තිබේද යන්න සම්බන්ධයෙන් පවතින සැකසංකා ද ඉහළ යමින් ඇති ආකාරයක් මේ වනවිට දැකිය හැකි වෙයි. වේගය මනින උපකරණවල තිබූ බව පැවසෙන මෙම දෝෂ සහගත තත්ත්වය නිසා ගුවන් නියමුවාට සිය යානයේ වේගය පිළිබඳව නිවැරදි දත්ත නොලැබි යාමේ අනතුරක් තිබෙන බව සඳහන් වේ. මෙය ඇතැම් අවස්ථාවක ලොකු අනතුරකට වුව ද මගපෑදිය හැකි තත්ත්වයක් බව පැවැසේ.

ගුවන් යානයක් අහසේ පියාසර කරන අවස්ථාවේ එහි වේගය මැනීම සඳහා උපයෝගී කරගන්නේ වායු පීඩනය පිළිබඳ තත්ත්වයකි. ගුවන් යානයේ තටුවල හෝ එහි ඉදිරිපස මුහුණතෙහි හෝ සවි කර ඇති සංවේදක (ඵඥදඵධපඵ) පද්ධතියක් මගින් ඒ ආශ්‍රිතව පවතින වායු පීඩනය ගැන තොරතුරු පරිගණක පද්ධතියකට ලබා දෙයි. මේ සමගම යානයේ වෙනත්, වඩාත් ස්ථාවර තැනක පීඩනය ද මෙම පරිගණක පද්ධතිය වෙත ලබා දෙනු ලැබේ. අවසානයේ යානයේ වේගය මනිනු ලබන්නේ මෙම පීඩනයන් අතර වෙනස ගණනය කර තවත් අදාළ ගණනයන් කිහිපයක් කිරීමෙන් අනතුරුව ය. ගුවන් යානයක තටු මත හෝ ඉදිරිපස හෝ  පීඩනය මැනීමේ දී යොදාගන්නා උපකරණ හැඳින්වෙන්නේ නියමු නල වශයෙනි. යම් හෙයකින් මේවායින් ලැබෙන දත්ත නිවැරදි නොවුවහොත් ගුවන් යානයේ වේගය පිළිබඳ නිවැරදි අදහසක් ඇති කර ගැනීම අසීරු වෙයි. ඇතැම් අවස්ථාවල අයිස් තැන්පත් වීම වැනි හේතු නිසා නියමු නලවල ක්‍රියාකාරිත්වය අඩපණ විය හැකි බව සඳහන් වේ. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් නියමුවාට ලැබෙන්නේ නිවැරදි වේගය නොව වැරදි එකකි. මෙම වැරදි තොරතුර මත පදනම් වෙමින් යානය පැදවීම භයානක කටයුත්තක් වන අතර අනතුරක් වීමට ලොකු ඉඩක් මේ නිසා විවර වෙයි. ඉන්දුනීසියානු ලයන් එයාර් ගුවන් යානයේ අනතුරට හේතුවත් මෙයද යන්න ගැන මේ වනවිට සැක මතුවෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. යානය මෙවර  පියාසර කරවා ඇත්තේ දිගින් දිගටම පැවති බව පෙනෙන ඉහත කී දෝෂය මුළුමනින් නිවැරදි කිරීමෙන් පසුවද නැද්ද යන්න සම්බන්ධයෙන්ද සැක පළවෙමින් ඇත. යානය අනතුරට පත්  අවසන් ගුවන් ගමන තුළද එහි වේගය සම්බන්ධ ඉහත කී දෝෂය පෙන්නුම් කර ඇති බව අනාවරණය වී ඇතැයි වාර්තා වෙයි.

මෙවැනි දෝෂයක් ඇති වූයේ යානය නිෂ්පාදනයේ දී වූ වරදක් නිසාද නැතහොත් එහි නඩත්තු කටයුතු නිසියාකාරයෙන් නොකිරීම නිසාද යන්න සම්බන්ධයෙන්ද තවමත් ඇත්තේ අවිනිශ්චිතභාවයකි. කෙසේ වෙතත් අනතුර සම්බන්ධ විමර්ශන කටයුතු තවමත් සිදුවෙමින් ඇති අතර අවසන් නිගමනයකට පැමිණිය හැක්කේ තව බොහෝ කාරණා ගැන අධ්‍යයනය කිරීමෙන් පසුව පමණක් බව ප්‍රකාශයට පත්ව තිබේ.

අනතුරෙන් මිය ගිය ගුවන් මගීන්ගේ ඥාතීන් මේ වනවිට දැඩි කෝපයෙන් සහ අසහනයෙන් පසුවන බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. විමර්ශන සම්බන්ධයෙන් ඔවුන් දැඩි අවධානයෙන් සිටින බවද පැහැදිලිව දැකිය හැකි වෙයි. යානයේ දෝෂ තත්ත්වයක් තිබෙන බව පෙනෙද්දීත් එය සේවයෙහි යොදවා ඇත්තේ මන්ද යන්න සම්බන්ධයෙන් ඔවුහු දැඩි ලෙස ප්‍රශ්න කරමින් සිටිති. පසුගියදා පැවැති සාකච්ඡාවක් අතරතුර මෙම ඥාතීන්ගෙන් බලධාරීන්ට දැඩි දෝෂාරෝපණ එල්ල වී ඇති බව ද මාධ්‍ය අනාවරණය කර තිබිණි. යානයේ ප්‍රධාන බඳ කොටස සහ මළ සිරුරු බොහොමයක් තවමත් සොයාගෙන නොතිබිම ගැන ද ඔවුන්ගේ අප්‍රසාදය එල්ල වී තිබේ. තවමත් නිශ්චිත වශයෙන් හඳුනාගෙන ඇත්තේ මළ සිරුරු 14 ක් පමණි. තවත් මළ සිරුරු බොහොමයක් ඉහත කී බඳ කොටස තුළ සිරවී තිබෙන්නට බොහෝ දුරට ඉඩ තිබේ. මේ අතර යානයේ කළු පෙට්ටි දෙක අතරින් දවෛනි කළු පෙට්ටිය ද තවමත් සොයා ගෙන නැත. සාමාන්‍යයෙන් ගුවන් යානයක කළුපෙට්ටි දෙකක් තිබෙන අතර යානයේ ගුවන් ගමන් පිළිබඳ තාක්ෂණික විස්තර එකක ද, නියමුවන් අතර සිදු වූ කතා බහ අනෙකෙහි ද ගබඩා වෙයි. මේ අතරින් දැනට සොයාගෙන ඇත්තේ පළමුව කී කළු පෙට්ටිය පමණි. නමුත් නියමුවන් අතර සිදු වූ කතාබහ අඩංගු කළු පෙට්ටිය මෙම විමර්ශනවලදී ඉතාම වැදගත් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. මේ අතර මෙම උපකරණ සහ මළසිරුරු සොයා ගැනීමේ කටයුතු කිසි ලෙසකින් හෝ ලිහිල් නොකරන ලෙස ද මගීන්ගේ ඥාතීහු දැඩි ලෙස අවධාරණය කරමින් සිටිති.

මේ අතර රජයේ උපදෙස් අනුව ලයන් එයාර් ගුවන් සමාගමේ තාක්ෂණික කටයුතු භාරව සිටි අධ්‍යක්ෂවරයෙකු ඇතුළු ඉංජිනේරුවන් කිහිප දෙනෙකු සේවයෙන් ඉවත් කිරීමට එම සමාගම පසුගියදා කටයුතු කළේය.

කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.