lakbima.lk

ඇමෙරිකාවට එරෙහි යුද අපරාධ චෝදනාවලට ආරක්ෂක උපදේශක විරෝධය දක්වයි

විවිධ රටවල යුද අපරාධ ආදිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජාත්‍යන්තර අපරාධ අධිකරණය පසුගිය කාලයේ ලංකාව තුළ ද නිතර කතාබහට ලක් වූ ආයතනයක් විය. ශ්‍රී ලංකාව ද මෙම අධිකරණය හමුවට ගෙන යා යුතු බවට නොයෙක් පාර්ශ්ව වෙතින් එල්ල වූ චෝදනා එයට හේතු විය. නමුත්  මෙම අධිකරණය පිහිටුවීමේ දී එයට පදනම් වූ රෝම ප්‍රඥප්තියට ලංකාව අත්සන් තබා නැති නිසා ලංකාවට එරෙහිව එවැනි පියවරක් ගත නොහැකි බවට ද අදහස් පල විය. කෙසේ හෝ වේවා, මේ දිනවල මෙම ජාත්‍යන්තර අපරාධ අධිකරණය සම්බන්ධයෙන් ලොකු අවධානයක් යොමු වීමට පටන් ගෙන ඇත්තේ ඇමෙරිකාව එයට එරෙහිව 'යුද්ධ' ප්‍රකාශ කර තිබෙන තත්ත්වයක් තුළය.
ඇමෙරිකාව සහ මෙම අපරාධ අධිකරණය අතර දැන් කාලයක සිටම යම් යම් ගැටලු පවතින බව රහසක් නොවේ.  පසුගිය දිනෙක මෙම තත්ත්වය නැවතත් පුපුරා ගියේ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් විසින් කරන ලද ප්‍රකාශයක් සමගිනි. ඔහු පවසා සිටියේ ඇමෙරිකානු හමුදා නිලධාරීන්ට එරෙහිව ක්‍රියා කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය කටයුතු කළහොත් ඇමෙරිකාව මෙම අධිකරණයට එරෙහිව සම්බාධක පැනවීම වැනි දැඩි පියවර ගන්නා බවයි. මෙම අධිකරණයට එරෙහිව කරන ලද ලොකු තර්ජනයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ඇමෙරිකාව මේ ආකාරයෙන් හැසිරීමට බලපෑ ආසන්න හේතුව වන්නේ ඔවුන්ගේ හමුදාව ඇෆ්ගනිස්තානයේ දී සිදු කළ බවට චෝදනා නැගෙන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට මෙම ජාත්‍යන්තර අපරාධ අධිකරණය සූදානම් වෙමින් සිටීමයි. එමෙන්ම මැද පෙරදිග කලාපයේ සිටින ඇමෙරිකාවේ ලොකුම මිතුරෙකු වන ඊශ්‍රායලයට එරෙහිව ද මෙවැනි පරීක්ෂණයක් සිදු කළ යුතු බව පලස්තීනය ප්‍රකාශ කරමින් සිටියි. මේ නිසා පසුගිය දා ඇමෙරිකාව එරට තිබූ පලස්තීන විමුක්ති සංවිධානයේ කාර්යාලය ද වසා දැමීමට පියවර ගත්තේය.
'මෙම නීති විරෝධී අධිකරණය අපේ පුරවැසියන් හෝ අපේ මිතුරු රටවල පුරවැසියන් හෝ අසාධාරණ ලෙස පරීක්ෂණයට ලක් කිරීමට එරෙහිව කළ හැකි හැම දෙයක්ම කරනවා' යයි බෝල්ටන් පසුගිය සඳුදා ප්‍රකාශ කර තිබිණි. මෙහිදී මෙම අධිකරණයට එරෙහිව සම්බාධක පැනවීමක් ගැනද සඳහන් කර තිබේ. අධිකරණයේ විනිසුරුවරුන් ඇමෙරිකාවට පැමිණීම තහනම් කිරීම, ඇමෙරිකාව තුළ ඇති අධිකරණයේ අරමුදල්වලට බලපෑම් කිරීම ආදිය මෙයට ඇතුළත් විය හැකි බව සඳහන් වේ. එමෙන්ම ඇමෙරිකානුවන්ට එරෙහිව මේ ආකාරයෙන් කෙරෙන පරීක්ෂණ සඳහා සහය දක්වන ආයතන හෝ රටවල් සම්බන්ධයෙන් ද කටයුතු කරන බව ඇමෙරිකානු ආරක්ෂක උපදේශකවරයා පවසා තිබිණි. 'මෙම අධිකරණය අපේ පස්සෙන් හෝ ඊශ්‍රායලය පස්සෙන් හෝ අපේ වෙනත් මිතුරෙකු පස්සෙන් හෝ පැමිණියහොත් අපි නිහඬව බලා සිටින්නේ නැහැ' යයි ද ඔහු සඳහන් කර තිබේ. ඇමෙරිකාවට එරෙහිව කෙරෙන පරීක්ෂණයකට  සහය දක්වන්නේ නැති බවත්, මෙම අධිකරණයට  ඇමෙරිකාවෙන් කිසිදු උපකාරයක් නොලැබෙනු ඇති බවත්, එයට නිරායාසයෙන්ම මිය යාමට ඉඩ හරින බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.
2001 වසරේ ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ඇමෙරිකාව ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය. ඉහත කී ප්‍රහාරය එකල ඔසාමා බින් ලාඩ්න් නායකත්වය දැරූ අල් කයිඩා සංවිධානයේ ක්‍රියාවක් බවට චෝදනා නැගුණු අතර ඇෆ්ගනිස්තානය එම සංවිධානයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකිණි. ඇමෙරිකාවට වුවමනා වූයේ ඒ වනවිට ඇෆ්ගනිස්තානයේ බලය හොබවමින් සිටි ත‍ලේබාන් සංවිධානය අඩපණ කර ඇමෙරිකාවට හිතවත් පාලනයක් එහි ඇති කර ගැනීමටය. මෙම ආක්‍රමණයේ දී බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් කිහිපයක සහයෝගය ද ඇමෙරිකාවට ලැබිණි. දැන් යුද අපරාධ සම්බන්ධයෙන් ඇමෙරිකාවට චෝදනා එල්ල වන්නේ ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල යෙදී සිටි කාලයේ සිදු වූ බව කියන ඇතැම් සිදුවීම්වලට අදාළව ය.  සී.අයි.ඒ සංවිධානය ඇෆ්ගනිස්තානයේ පවත්වා ගෙන ගිය ඇතැම් රහස් කඳවුරු තුළදී ඇමෙරිකානු හමුදාව  රැඳවියන් වධහිංසාවන්ට ලක් කළ බව විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇතැයි 2016 වසරේ අපරාධ අධිකරණය නිකුත් කළ වාර්තාවක සඳහන් විය. ඇමෙරිකානු හමුදා පමණක් නොව ත‍ලේබාන් සංවිධානය ද යුද අපරාධවල නිරතව ඇති බවට ද මෙම වාර්තාව චෝදනා කර තිබිණි.
කෙසේ හෝ වේවා, ඇමෙරිකානු ආරක්ෂක උපදේශකවරයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ද ප්‍රතිචාර දක්වා තිබේ. ඔවුන් පවසා ඇත්තේ නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම වෙනුවෙන් තමුන් දිගටම කටයුතු කරන බවයි. ඇමෙරිකාව පැත්තෙන් බලපෑම්  එල්ල වුවත් ඔවුන් සිය කටයුතු දිගටම කරගෙන යනු ඇති බව ඔවුන්ගේ ප්‍රකාශ තුළින් ගම්‍ය වෙයි. අපරාධ අධිකරණය යනු රෝම ප්‍රඥප්තියේ නීතිමය රාමුව තුළ පිහිටා කටයුතු කරන ආයතනයක් බවත්, අපක්ෂපාතීව සහ ස්වාධීනව සිය වරම ක්‍රියාත්මක කිරීම සඳහා කැපවී සිටින බවත් ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර ඇත. ඇමෙරිකානු ආරක්ෂක උපදේශකවරයාගේ ප්‍රකාශ හියුමන් රයිට්ස් වොච් වැනි මානව හිමිකම් සංවිධාන විසින් ද විවේචනය කරනු ලැබ තිබෙනු දැකිය හැකි විය.
නෙදර්ලන්තයේ හේග් නුවර මූලස්ථානය පිහිටා ඇති ජාත්‍යන්තර අපරාධ අධිකරණය ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ 2002 වසරේ පටන්ය. ජන සංහාර  යුද අපරාධ, මානුෂිකත්වයට එරෙහි අපරාධ ආදියට එරෙහිව නීතිමය පියවර ගැනීමට එයට හැකියාව තිබේ. කිසියම් රටක් තම රටේ චුදිතයන්ට එරෙහිව එල්ල වන මෙවැනි චෝදනා සම්බන්ධයෙන් කටයුතු නොකරන බව පෙනෙන විට හෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි පාර්ශ්ව යම් යම් අපරාධ සම්බන්ධයෙන් මෙම අධිකරණයට පැමිණිලි කළ විට හෝ ඒ පිළිබඳ පියවර ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බලය ඇත. මේ වනවිට රටවල් 123 ක් මෙම අධිකරණයට පදනම් වන රෝම ප්‍රඥප්තිය පිළිගෙන තිබේ. එමෙන්ම තව රටවල් බොහොමයක් තවමත් එයට අත්සන් තබා නැති බවද සඳහන් කළ යුතුය. චීනය, රුසියාව, ඉන්දියාව වැනි රටවල් පවා අයත් වන්නේ මෙයට අත්සන් නොකළ රටවලටය. මෙම අධිකරණයේ කටයුතු පක්ෂපාතී බවට ද විවිධ චෝදනා එල්ල වන අතර දැනට රෝම ප්‍රඥප්තියට අත්සන් තබා ඇති සමහර රටවල් එයින් ඉවත් වීමට සැරසෙන බව ද රහසක් නොවේ. තමුන් ජාත්‍යන්තර වගවීම පිළිබඳ කාරණය දැඩිව පිළිගන්නා නමුත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පදනම් වන රෝම ප්‍රඥප්තියෙහි අඩුපාඩු රැසක් ඇති බවත්, ඒවා නිවැරදි විය යුතු බවත් ඇමෙරිකාව ප්‍රකාශ කර තිබේ.
කෙසේ හෝ වේවා, ඇමෙරිකානු හමුදාව විසින් කරන ලද බවට චෝදනා නැගෙන ඉහත කී යුද අපරාධ සම්බන්ධයෙන් මෙම අධිකරණය ඉදිරියේදී පියවර ගනු ඇත්ද, එහිදී ඔවුන් සහ ඇමෙරිකාව අතර කවර තත්ත්වයක් පැන නගිනු ඇත්ද යන්න පිළිබඳව බොහෝ පාර්ශ්ව අවධානයෙන් සිටිනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.