lakbima.lk

ස්වීඩන ජනතාවගේ ගැටලු කරළියට ගෙන ආ මහා මැතිවරණය

ස්වීඩනය වැනි රටවල් කාලයක් තිස්සේම සැලකුණේ ඉතා දියුණු දේශපාලන, ආර්ථික, සංස්කෘතික පරිසරයන්ගෙන් යුතු, සමානාත්මතාව, මානව හිමිකම් වැනි කාරණා අතින් ‍පොහොසත්, ලිබරල් වටිනාකම් මත පදනම් වූ සමාජයන්ගෙන් සමන්විත රටවල් වශයෙනි. නමුත් මේ වනවිට මෙම රටවල කාලයක් තිස්සේ සැඟවී පැවැති අර්බුද කමෛන් එළියට එමින් ඇති තත්ත්වයක් දැකිය හැකි වෙයි. පසුගිය දා පැවැති ස්වීඩන මහා මැතිවරණයද මෙම ගැටලු පිළිබිඹු කළ තීරණාත්මක අවස්ථාවක් ලෙස සැලකිය හැකි වෙයි. 9 වෙනි ඉරිදා පැවැති මෙම මැතිවරණය කෙරේ විශාල ජාත්‍යන්තර අවධානයක් යොමු වූ බවද රහසක් නොවේ.
ස්වීඩන මැතිවරණය මේ ආකාරයෙන් අවධානයට ලක්වීමට ප්‍රධාන හේතුවක් වූයේ නාසිවාදී අදහස්වලට බර අතීතයක් සහිත, ජාතිකවාදී පක්ෂයක් මෙවර මැතිවරණයේ දී විශාල වශයෙන් ජයග්‍රහණ හිමි කරගනු ඇතැයි යන හැඟීමක් බොහෝ දෙනෙකු තුළ පැවැතීමයි. මෙම පක්ෂය හැඳින්වුණේ 'ස්වීඩන් ප්‍රජාතන්ත්‍රවාදීන්' යන නමිනි. මෙම පක්ෂය මැතිවරණයේදී ලොකු ඉදිරි පිම්මක් තැබුවහොත් එය මේ වනවිට යුරෝපයේ බොහෝ රටවල හිස ඔසවමින් සිටින ජාතිකවාදී ප්‍රවණතාව නැවත වරක් තහවුරු කරන්නක් වනු ඇතැයි යන්න දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහස විය. පසුගිය කාලය තුළ එරට පාලනය කළ 'සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්'   නමැති පක්ෂය ලිබරල් අදහස් මත පදනම් වූ, ගෝලීයකරණය වැනි කාරණා සම්බන්ධයෙන් පක්ෂපාතිත්වයක් දැක් වූ පක්ෂයක් විය. මෙවැනි පසුබිමක් සහිත ස්වීඩනය තුළ, බොහෝ අංශවලින් ලිබරල්වාදයට පසමිතුරු බවක් දක්වන ජාතිකවාදී අදහස් පදනම් කරගත් පක්ෂයක් හිස ඔසවමින් සිටීම බොහෝ දෙනාගේ අවධානයට හසු වූ කාරණයක් බවට පත්ව තිබිණි. මෙම ජාතිකවාදී ස්වීඩන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආණ්ඩු බලය හිමි කර ගැනීමට සමත් වනු ඇතැයි විශ්වාසයක් නොවූවත් ඔවුන් පාර්ලිමේන්තුව තුළ බලවත් පාර්ශ්වයක් බවට පත් වුවහොත් ස්වීඩනය මතෛක් අනුගමනය කළ ප්‍රතිපත්තිවල යම් වෙනස්කම් ඇති කිරීමට එය හේතුවක් වනු ඇතැයි සැලකිණි.
මේ වනවිට මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී අවසන්ය. ඒ අනුව 'ස්වීඩන් ප්‍රජාතන්ත්‍රවාදීන්' සියයට 18ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගැනීමට සමත්ව තිබේ. එය ඔවුන් පසුගිය මැතිවරණයේදී දිනාගත් ඡන්ද ප්‍රතිශතයට වඩා සියයට 5ක වැඩි වීමක් පෙන්නුම් කරයි. 2014 පැවැති මැතිවරණයේ දී ඔවුන් දිනාගත්තේ සියයට 12.9 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. බොහෝ නිරීක්ෂකයන් කල්පනා කරන බව පෙනෙන්නේ ස්වීඩන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ ආකාරයෙන් වඩාත් ප්‍රබල තත්ත්වයකට පත්වෙමින් සිටීම එරට දේශපාලන ක්‍ෂේත්‍රය තුළ ඉදිරියේදී ඇති විය හැකි වෙනස්කම් පිළිබඳ බොහෝ දේ පෙන්නුම් කරන දර්ශකයක් බවයි. පසුගිය කාලයේ ස්වීඩනය පාලනය කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානය මැතිවරණයේ දී සියයට 40.6ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබේ. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන 'අලායන්ස්' නමැති සන්ධානය ද සියයට 40.3 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන සිටියි. මේ අනුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දැඩි සටනක් දීමට අනෙක් ප්‍රධාන පක්ෂය සමත්ව සිටින ආකාරයක්ද දැකිය හැකි වෙයි. කෙසේ නමුත් ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් සියයට 50 ඉක්මවා ඡන්ද ගැනීමට නොහැකි වීම තුළ ඔවුන් දෙගොල්ලන්ටම තනිව ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව අහිමි වී තිබේ. මේ නිසා  ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් පාර්ශ්වයක් සමග එක් වීමට ඔවුන් දෙපාර්ශ්වයටම සිදු වනු ඇත. කෙසේ නමුත් ජාතිකවාදී පදනමක් සහිත ස්වීඩන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග එක්ව ආණ්ඩු කිරීමට කැමැති නැති බව මෙම ප්‍රධාන සන්ධාන දෙකම මැතිවරණයට පෙර සඳහන් කර තිබිණි. නමුත් ජාතිකවාදී 'ස්වීඩන ප්‍රජාතන්ත්‍රවාදීන්'' නම් එවැනි ප්‍රකාශයක් කර තිබුණේ නැත. කෙසේ නමුත් දැන් ඇති වී තිබෙන තත්ත්වය හමුවේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කල් ඇදෙන, උණුසුම් සහ සංකීර්ණ සාකච්ඡා ක්‍රියාදාමයක් අරම්භ වනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය බව පෙනේ.
මැතිවරණයත් සමග සංවාදයට ලක් වූ ප්‍රධානම කාරණයක් වූයේ ස්වීඩනය වැනි රටක් තුළ පවා ජාතිකවාදී පක්ෂයක් හිස එසවීමට සමත් වීම විසින් මතු කරනු ලබන අභියෝගයයි. ජාතිකවාදී පක්ෂ මේ ආකාරයෙන් නැග ඒම පසුගිය කාලයේ යුරෝපය තුළ එතරම් අලුත් තත්ත්වයක් නොවුවද ලිබරල් අදහස්, වටිනාකම් ඉතා ශක්තිමත් ලෙස මුල් අල්ලා තිබූ ස්වීඩනය වැනි රටක එවැන්නක් සිදුවීම බොහෝ දෙනා තුළ තරමක විමතියක් ඇති කරන්නට සමත්ව ඇති බවක් පෙනිණි. ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඉතාලිය, ඔස්ට්‍රියාව වැනි යුරෝපයේ අන් රටවල් තුළ මෙන්ම මෙහි ද මෙම ජාතිකවාදී ප්‍රවණතාවට වලංගුභාවයක් ලබා දී ඇත්තේ වෙනත් රටවල සිට එරටට පැමිණ පදිංචි ව සිටින සංක්‍රමණිකයන් නිසා ඇතිව තිබෙන ව්‍යාකූලත්වයයි. ස්වීඩනය සිය වැසියන්ට විශාල වශයෙන් සමාජ සුබසාධන සපයන රටකි. නමුත් සංක්‍රමණිකයන් වැඩි වීමත් සමග මෙම සුබසාධන වැඩසටහන්වලට විශාල පීඩනයක් එල්ල වී ඇති බවට ප්‍රබල මතයක් රට තුළ ඇති වී තිබේ. 2015 වසරේ යුරෝපයට සිරියාව, ඇෆ්ගනිස්තානය වැනි රටවලින් ඇදී ආ සංක්‍රමණිකයන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වූ අතර ස්වීඩනය වැඩිම සංක්‍රමණිකයන් පිරිසක් ඇතුල් කරගත් රටක් ලෙස ද සැලකිය හැකිය. මේ ආකාරයෙන් සංක්‍රමණිකයන් වැඩි වීමත් සමග එම තත්ත්වය විසින් එරට සුබසාධන වැඩසටහන් මත අමතර පීඩනයක් ඇති කළ බවට පිළිගැනීමක් තිබේ. විශේෂයෙන් සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය වැනි ක්‍ෂේත්‍ර තුළ මෙම තත්ත්වය දැකිය හැකි බව සඳහන් වේ. මෙය ස්වීඩන ජාතිකයන් විශාල පිරිසක් තුළ රජයට එරෙහිව කිසියම් ආකාරයක විරෝධයක් ජනිත කිරීමට හේතු වූ බව දක්නට ලැබිණි. ලිබරල් වටිනාකම් මත පදනම් වූ (එකල පාලන බලය හෙබ වූ)  'සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය' ප්‍රමුඛ සන්ධානය සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව රහසක් නොවේ.
සංක්‍රමණිකයන් බහුලව වාසය කරන ප්‍රදේශවල අපරාධ ඉහළ යාමේ ප්‍රවණතාවක් තිබූ බවට ද පසුගිය කාලයේ චෝදනා එල්ල විය. ස්ත්‍රී දූෂණ  ඉහළ යාම වැනි කාරණා සම්බන්ධයෙන් ද ස්වීඩන ජාතිකයන් තුළ විශාල කණස්සල්ලක් පැවැති බව දක්නට ලැබිණි. කෙසේ හෝ වේවා, යුරෝපයේ තවත් බොහෝ රටවල මෙන්ම ස්වීඩනයේ ද මෙම තත්ත්වය නිසා සංක්‍රමණික විරෝධී මතයක් ජනතාව තුළ තහවුරු වන්නට පටන් ගත්තේය. ස්වීඩන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි ජාතිකවාදී පක්ෂයක නැගීමට උදව් සැපයූවේ මෙම පදනමයි. මෙම පක්ෂය සංක්‍රමණිකයන් රටට ඇතුල් කර ගැනීම සම්බන්ධයෙන් විරෝධය දක්වන පක්ෂයකි. එමෙන්ම බ්‍රිතාන්‍යය කළ ආකාරයටම ස්වීඩනය ද යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා  ජනමත විචාරණයක් පැවැත්විය යුතුය යන්න ද ඔවුන්ගේ තව අදහසකි. යුරෝපා සංගමය තුළ සිටින රටවල් දේශසීමා සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ලිහිල් ප්‍රතිපත්තියකි. රටවල් අතර සංක්‍රමණිකයන් වැඩි වශයෙන් එහා මෙහා යාමට  මෙම තත්ත්වය ද උදව්වක් වී ඇතැයි යන්න ඒ රටවල පවතින පිළිගැනීමයි.
ස්වීඩනය දියුණු ආර්ථිකයක් හිමි රටක් වුවද නාගරික කලාපවලට සාපේක්ෂව එයින් බැහැර ප්‍රදේශවල බොහෝ ගැටලු පවතින බවද වාර්තා වෙයි. ග්‍රාමීය ජනතාව තුළ විශාල අසහනයක් පවතින බව සඳහන් වෙයි. මෙම අසමානතා ද වත්මන් පාලනය කෙරේ ජනතාවගේ විරෝධය උත්සන්න කිරීමට හේතු වන්නට ඇතැයි සැලකිය හැකිය. ස්වීඩනය සැලකුණේ ලෝකයේ ආදායම් විෂමතා අඩුම රටවල් අතර ඉහළින්ම සිටි රටක් වශයෙනි. නමුත් මේ වනවිට රට තුළ ඇති-නැති පරතරය ද වේගයෙන් ඉහළ යමින් ඇති බව නිතර කතාබහට ලක්වන කාරණයක් බවට පත්ව තිබේ.  පවතින දේශපාලන රටාව පිළිබඳව ජනතාව තුළ කණස්සල්ල සහ කලකිරීම වැඩි කිරීමට මෙවැනි බොහෝ සාධක බලපා ඇති ආකාරය පෙනී යයි. මෙම පසුබිම තුළ ස්වීඩනය ද කමෛන් දේශපාලන, සමාජ සංස්කෘතික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින ආකාරයක් දිස්වන අතර ඉදිරියේදී කවර තත්ත්වයන් වර්ධනය වනු ඇත්ද යන්න සම්බන්ධයෙන්  දේශපාලන නිරීක්ෂකයන් ඇතුළු බොහෝ පාර්ශ්ව ලොකු අවධානයකින් සිටින ආකාරය දැකිය හැකි වෙයි.

නිහාල් පීරිස්

Comments  

0 #1 rathna 2018-09-11 19:19
aththa . samajavadi kandayama manthri dura 144, konsevetive kandayama 142, anek kandayama 63k manthri dura. badada vanavita pitarasitinnange chanda valin venasak vei sithanava. math sankramikayek. namuth matath hhthuna Sweden demokratik valata chande denna.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.