lakbima.lk

ඉම්රාන් දේශපාලනඥයන්ගේ සුපිරි වියදම් කපා හරියි

ඉම්රාන් ඛාන් මේ දිනවල දකුණු ආසියානු දේශපාලනය තුළ ලොකුම පුවත් මවන්නෙකු බව රහසක් නොවේ. පසුගිය දා පාකිස්තානයේ අගමැති ලෙස පත්වෙමින් විශාල වශයෙන් කතාබහට ලක් වූ ඔහු දැන් අලුතෙන්ම අවධානයට ලක් වෙමින් සිටින්නේ රටේ වියදම් අඩු කිරීමට ගනිමින් ඇති විවිධ පියවර නිසාය. මේ සම්බන්ධයෙන් පසුගිය දිනෙක පාකිස්තාන මාධ්‍ය තුළ පළ වූ පුවතකින් පැවසුණේ ඔහු ගේ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද අලුත්ම තීරණයක් ගැනය. මෙම තීරණයට අනුව රජයේ ඉහළම මට්ටමේ තනතුරු දරන්නන්ට පවා, විදෙස් ගමන්වලදී ගුවන් යානාවල සුපිරි පළමු පන්තියේ ගමන් කිරීම තහනම් කර ඇත. පළමු පන්තිය යනු අනෙක් පන්තිවලට වඩා බෙහෙවින් සුඛෝපභෝගී පහසුකම් හිමි වන පන්තියකි. සමහර විට වෙනම සුපිරි කාමර පවා මෙම පන්තියට අයත් වේ. වඩාත් ඉඩකඩ සහිත, වඩා හොඳ සේවයක් සහිත, තම පෙද්ගලික නිදහස රැක දෙන ආකාරයෙන් මෙම සුපිරි පන්තිය සකස් වී ඇති අතර එහි ගමන් කිරීම සඳහා ලොකු මුදලක් ද ගෙවීමට සිදු වේ. ඉහත කී කැබිනට් තීරණයට අනුව ඉදිරියේදී පාකිස්තාන රජයේ ඉහළම තනතුරු දරන්නන්ටද සිය විදෙස් ගමන් වලදී මෙම පන්තිය භාවිත කිරීම තහනම් වනු ඇත. ඒ වෙනුවට ඊට වඩා වියදම් අඩු ව්‍යාපාරික පන්තියේ හෝ පිරිමැසුම් පන්තියේ ගමන් කිරීමට ඔවුන්ට සිදුවෙයි. මෙම තීරණය පාකිස්තාන ජනාධිපති, අගමැති, කථානායක, අගවිනිසුරු, මහ ඇමැතිවරුන් ඇතුළු බොහෝ දෙනෙකුට අදාළ වනු ඇත.
ඉම්රාන්ගේ කැබිනට්ටුවේ මෙම තීරණය එරට රජයේ වියදම් අඩු කිරීම සඳහා ඉම්රාන් ඛාන් ගේ නායකත්වය යටතේ මේ වනවිට ගනිමින් ඇති පියවර රැසකින් එකකි. මෙවැනි පියවර ගැනීමට පාකිස්තාන පාලකයින්ට සිදුව ඇත්තේ මේ වනවිට එරට ආර්ථිකය මුහුණ දී ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය හේතුවෙනි. විශාල ණය බරකින් පාකිස්තානය පීඩා විඳිමින් සිටින අතර ගෙවුම් ශේෂ හිඟය ද ඉහළ යමින් තිබේ. පාකිස්තාන රුපිය‍ලේ අගය පහත වැටීම, කොටස් වෙළෙඳ ‍පොළ කඩා වැටීම වැනි කාරණාද පසුගිය කාලය තුළ විශේෂයෙන් කැපී පෙනුණු බව රහසක් නොවේ. මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පාකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලින් වහා ආධාර ගැනීමට  සිදුවනු ඇති බව සඳහන් වෙයි. ඉම්රාන් බලයට පැමිණීමත් සමග චීනයද ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක පමණ ණයක් ලබා දීමට ‍පොරොන්දු වී ඇත. කෙසේ හෝ වේවා මෙම බරපතළ තත්ත්වය තුළ  රජයේ වියදම් හැකි තාක් අඩු කිරීම රටේ ක්ෂණික අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. ජනතාවට පටි තද කර ගන්න යයි කියන්නට පෙර පාලකයින් ඒ සඳහා ආදර්ශයක් සැපයීම සුදුසු බව ඉම්රාන් කල්පනා කර ඇති බව පෙනී යයි.
වියදම් අධික අගමැති නිවස වෙනුවට වෙනත් නිවසක් තෝරා ගැනීම, නිල නිවසේ සේවක සංඛ්‍යාව අඩු කිරීම, තමාට වෙන් කර ඇති වෙඩි නොවදින වාහන විකුණා දැමීම වැනි කාරණා ගැන  ඉම්රාන් පැවැසූ කතාද පසුගිය දිනවල මාධ්‍ය තුළ කතාබහට ලක් විය. සාමාන්‍යයෙන් පාකිස්තානයේ අගමැතිවරයා ගේ නිල නිවස වන්නේ ඉස්ලාමාබාද් හි විශාල ඉඩමක පිහිටා ඇති, කාමර විශාල සංඛ්‍යාවකින් සමන්විත, දැවැන්ත, සුඛෝපභෝගී ගොඩනැගිල්ලකි. එහි සේවකයින් 520 කට අධික පිරිසක් සේවයට සිටින බවද සඳහන් වේ. ඉම්රාන් අගමැති ධුරයට පත් වූ පසු ඔහු පවසා සිටියේ රටේ ජනතාවගෙන් බහුතරයක්  ඉතා අඩු ජීවන තත්ත්වයක පසුවෙද්දී තමාට මෙවැනි නිවසක ජීවත්වීම ලැජ්ජාවක් ඇති කරන බවයි. මෙවැනි නිවසක් සහ එහි කටයුතු නඩත්තු කිරීම සඳහා වියදම් වන්නේ මහජනතාවගේ බදු මුදල් බව රහසක් නොවේ. මෙම සුවිසල් නිවස වෙනුවට තමා කාමර තුනක් පමණක් සහිත කුඩා නිවසක් සිය නිල නිවස ලෙස තෝරාගන්නා බැව් ඔහු සඳහන් කළේය. එය කලින් හමුදා නිලධාරියෙකු වෙනුවෙන් වෙන්ව තිබූ නිවසක් බවද සඳහන් වෙයි. ඒ අතර ඉහත කී විශාල නිවසේ සේවයට සිටි සේවකයින් 524 දෙනා අතුරින් තමා රඳවා ගන්නේ සේවකයින් දෙදෙනෙකු පමණක් බවද ඔහු ප්‍රකාශ කර තිබිණි. ඉතා සරළ ජීවිතයක් ගත කිරීමට තමුන්ට බැරිකමක් නැති බව ද ඉම්රාන් මෙහි දී පවසා තිබේ.
ඔහුට මුලින් අවශ්‍ය වූයේ බනිගලා නැමැති ප්‍රදේශයේ පිහිටි ඔහුගේම නිවස නිල නිවස ලෙස යොදා ගැනීමට බවද පැවැසේ. නමුත් එයට  ඉඩ නොලැබි ඇත්තේ එය ඔහුගේ ආරක්ෂාව සම්බන්ධ ගැටළු මතු කරනු ඇති බව පෙනී ගිය හෙයිනි. කලින් අගමැති නිල නිවස ලෙස පාවිච්චි වූ ඉස්ලාමාබාද් හි සුවිසල් ගොඩනැගිල්ල ඉදිරියේ දී ජනතාවට ප්‍රයෝජනවත් වන අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම වැනි කටයුත්තක් සඳහා යොදා ගැනෙනු ඇති බව ද ඉම්රාන් පවසා තිබේ.
මේ අතර අගමැතිවරයා ගේ ගමන් බිමන් වෙනුවෙන් වෙන් කර ඇති වෙඩි නොවදින වාහන සංඛ්‍යාව අඩු කිරීමටද නව අගමැතිවරයා  තීරණය කර ඇත. මෙවැනි වෙඩි නොවදින වාහන 33 ක් තිබෙන බව පසුගිය දිනෙක ඔහු අනාවරණය කර තිබිණි. තමා එයින් 2 ක් පමණක් තබා ගන්නා බවත්, ඉතිරි ඒවා වෙන්දේසියක විකුණා දමන බවත්, එයින් ලැබෙන මුදල් මහා භාණ්ඩාගාරයට ලබා දෙන බවත් ඔහු සඳහන් කර ඇත. රජයේ ඉහළ තනතුරු දරන්නන්ගේ විදෙස් සංචාර ආදිය සඳහා වෙන් කරන මුදල් ප්‍රමාණයන් ද අඩු කිරීමට ඔහුගේ රජය තීරණය කර ඇති බව සඳහන් වෙයි.
'මේ රටේ අගමැතිවරයාට, ඒ කියන්නෙ මට වෙඩි නොවදින වාහන 33 ක් තියෙනව. අපිව ගෙනියන්න හෙලිකොප්ටර් තියෙනව, ගුවන් යානා තියෙනව. අපේ වෙනත් නිලධාරීන්ටත් විශාල නිල නිවාස තියෙනව. හැම සැප පහසුකමක්ම අපිට තියෙනව.' ඉම්රාන් පසුගිය දිනෙක සඳහන් කර තිබිණි. 'එක පැත්තකින් අපිට ජනතාව වෙනුවෙන් වැය කරන්න මුදල් නැහැ කියනව. අනෙක් පැත්තෙන් අපේ කට්ටියක් අපේ අධිරාජ්‍යවාදී හාම්පුතුන් ඒ කාලෙ ජීවත් වුණා වගේ සුඛෝපභෝගී විදියට ජීවත් වෙනව. බලන්න අපි ජීවත් වෙන හැටි. අගමැති කෙනෙක් පිටරට සවාරි වලට කොච්චර නං වියදම් කරනවද? ඔහුට වෙන් කර ඇති රුපියල් මිලියන 650 ක් මොනව වෙනුවෙන් ද වියදම් කරන්නෙ? කතානායකවරයාට වෙන් කරල තියෙනව මිලියන 160 ක්. මොනවටද ඔච්චර වියදමක් යන්නෙ? ඔවුන් පිටරට යන්නෙ රටවල් අල්ලන්නද?' ඉම්රාන් සරදම් සහගත ලෙස ප්‍රශ්න කර තිබිණි. තමුන් මතෛක් පැවති මෙම වියදම් අධික ප්‍රභූ සංස්කෘතිය අවසන් කිරීමට කටයුතු කරන බවට ඔහු ‍පොරොන්දු වී තිබේ.
මේ අතර රටේ මෙවැනි අනවශ්‍ය වියදම් අඩු කළ හැකි ආකාරයන් ගැන තවදුරටත් සොයා බලා වාර්තා කිරීම සඳහා තමා විශේෂ කමිටුවක් පිහිටුවන බවද ඔහු පවසා තිබිණි. මේ ආකාරයෙන් ප්‍රභූන්ගේ සුඛ විහරණය වෙනුවෙන් වියදම් කරන්නේ රජය විසින් අත්හැර දමනු ලැබ, අමතක කර දමනු ලැබ සිටින ජන කොටස් වෙනුවෙන් වෙන් කළ හැකි මුදල් නොවේදැයි ඔහු ප්‍රශ්න කරයි. පාකිස්තානයට නව චින්තනයක් අවශ්‍යව ඇති බවත්, මතෛක් කලක් අමතක කර දමා සිටි ජන කොටස් පිළිබඳව සිතන්නට සිදුව ඇති බවත් ඔහු අවධාරණය කර ඇත.
මෙවැනි ක්‍රියාකාරකම් සහ අදහස් නිසා ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ යනු ඇති බව රහසක් නොවේ. ඉදිරියේදී ඔහුට මුහුණ දෙන්නට වන ආර්ථික අභියෝග ජය ගැනීමට නම් ඔහුට එතරම් ජනප්‍රිය නොවන ක්‍රියාමාර්ගද ගැනීමට සිදුවනු නොඅනුමානය. එහි දී ජනතාව තුළ ඇති විය හැකි විරෝධයන්, අප්‍රසාදයන් සමනය කිරීමේදී දේශපාලන ප්‍රභූ තලයේ කෙරෙන මෙවැනි වෙනස්කම් ඔහුට ප්‍රයෝජනවත් වනු ඇත. එහෙත් බොහෝ දේශපාලන නායකයන් බලයට පැමිණි ආසන්නයේ මෙවැනි කතා පවසන නමුත් ටික කලක් යන විට ඒවා අමතකව යාම බොහෝ විට සිදුවන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉම්රාන් එම සම්ප්‍රදායද වෙනස් කිරීමට සමත් වන්නේ නම් එය ඔහුටද, රටටද හිතකර වනු ඇතැයි පැවැසිය හැකිය.

නිහාල් පීරිස්

Comments  

+1 #1 Saththaya 2018-08-31 07:14
මෙතුමා මේවා කරන්නේ ලංකාව ආදර්ශයට අරගෙන .
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.