lakbima.lk

කාන්තාවන් නිසා ට්‍රම්ප් ට දෝෂාභියෝගයක් එල්ල වේවි ද

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල වේවි ද යන්න මේ දිනවල විශාල වශයෙන් කතාබහට ලක්වෙමින් ඇති කාරණයක් වී තිබේ. ට්‍රම්ප් කොහොමටත් නිතර බොහෝ ආන්දෝලනයන්ට මුහුණ දෙන චරිතයක් වුව ද මෙවර පැන නැගී ඇති තත්ත්වය මතෛක් ඔහු මුහුණ දුන් බරපතළම තත්ත්වය බව බොහෝ නිරීක්ෂකයන්ගේ අදහසයි.
මෙම තත්ත්වය උද්ගත වූයේ ඔහුගේ නීතිඥයෙකු ලෙස කටයුතු කළ මයිකල් කෝහන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ නඩු විභාගයකට අදාළවය. මෙහිදී නැගුණු එක් චෝදනාවක් වූයේ ට්‍රම්ප් කලකට පෙර හාදකම් පැවැත් වූ බව පැවැසුණු කාන්තාවන් දෙදෙනෙකුට කෝහන් මුදල් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධ එකකි. මෙම කාන්තාවන් දෙදෙනා වූයේ, කාම චිත්‍රපට නිළියක වූ ස්ටෝමි ඩැනියෙල්ස් සහ ප්‍ලේබෝයි සඟරාවට සම්බන්ධ නිරූපිකාවක වූ කැරන් මැක්ඩෝගල්ය. ට්‍රම්ප් 2016 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වෙමින් සිටි කාලයේ, එවකට ට්‍රම්ප්ගේ නීතිඥයෙකු වූ කෝහන් මොවුන් දෙදෙනාට මුදල් ගෙවා තිබුණු බව පැවසුණේ ට්‍රම්ප්ට අවාසිදායක විය හැකි තොරතුරු ප්‍රසිද්ධ කිරීම වැළැක්වීම සඳහාය. (තමා සහ ට්‍රම්ප් ලිංගිකව හැසිරුණු ආකාරය ගැන පවා ඩැනියෙල්ස් පසු කාලයේ සම්මුඛ සාකච්ඡාවක දී විස්තර කර තිබිණි). ඔවුන්ගේ සම්බන්ධය පිළිබඳව හෙළි නොකරන ලෙස පවසමින් ඩැනියෙල්ස් ට මුදල් ගෙවා ඇතැයි සඳහන් වූයේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේය. (ජනාධිපතිවරණය පැවැත්වුණේ නොවැම්බර් මාසයේ යි). මෙහිදී කෝහන් ඇමෙරිකානු ඩොලර් 130,000 ක් ගෙවා ඇති බව ද සඳහන් විය. එය ලංකා මුදලින් රුපියල් කෝටි 2 කට ආසන්න ය. මැක්ඩෝගල්ට ගෙවා ඇතැයි පැවසුණු මුදල ඇමෙරිකානු ඩොලර් 150,000කි. (ලංකා රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න මුදලකි).
කෙසේ නමුත් ජනාධිපති අපේක්ෂකයෙකු හෝ අපේක්ෂිකාවක තමුන් පිළිබඳ මෙවැනි තොරතුරු හෙළි වීම වැළැක්වීම සඳහා මෙලෙස රහසිගත ආකාරයෙන්  (ජනාධිපතිවරණ ව්‍යාපාරයේ)මුදල් ගෙවීම ඇමෙරිකානු ජනාධිපතිවරණවලට අදාළ නීතියට අනුව තහනම් කටයුත්තකි.  නමුත් ඉහත කී මුදල ගෙවා ඇත්තේ කෝහන් බවත් එය ට්‍රම්ප් නොදැන සිටි බවත් මුලින්  පැවැසීම නිසා එය ට්‍රම්ප්ට අදාළ වූයේ නැත. නමුත් පසුගිය 22 වෙනි දින කෝහන් අධිකරණයේදී පවසා සිටියේ මේ ආකාරයෙන් මුදල් ගෙවීම සඳහා ‘අපේක්ෂකයා’ තමුන්ට උපදෙස් දුන් බවයි. ඔහු ට්‍රම්ප් නමින් හැඳින්වූයේ නැතත් කෝහන් ඇඟවූයේ ට්‍රම්ප් පිළිබඳව බව පැහැදිලිය. ට්‍රම්ප්ගේ හිටපු නීතිඥයා කියන මෙම කාරණය සත්‍යයක් බව ඔප්පු වුවහොත් එය ජනාධිපතිවරයා බරපතළ අර්බුදයක හෙලන්නක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙය ඔප්පු වුවහොත් එයින් පැවැසෙනු ඇත්තේ ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරණයට අදාළ නීතිය බිඳ ඇති බවයි.
කෙසේ නමුත් ජනාධිපති පදවියේ සිටියදී ඔහුට එරෙහිව අපරාධ නඩුවක් පැවැරීමට හැකියාවක් නැති බව ද සඳහන් වේ. නමුත් ඔහු ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝගයක් ගෙන ඒමේ හැකියාව මෙහිදී ඇමෙරිකානු කොංග්‍රසයට හිමි වෙයි. ඇමෙරිකානු කොංග්‍රසයේ ද මේ වනවිට වැඩි බලයක් තිබෙන්නේ ට්‍රම්ප් අයත් වන රිපබ්ලිකන් පක්ෂයට නිසා එවැනි දෝෂාභියෝගයක් සම්මත කර ගැනීම පහසු නොවනු ඇති බව ද පෙනේ. නමුත් ලබන නොවැම්බරයේ අලුතෙන් කොංග්‍රස් සභිකයින් පත් කර ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වෙන අතර එහි දී විරුද්ධ පක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයින් වැඩි පිරිසක් ජයගෙන කොංග්‍රසයට ඇතුළත් වුවහොත් තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබේ.
කෙසේ නමුත් මෙහිදී තමුන් වරදක් කළ බව ට්‍රම්ප් දිගින්දිගටම ප්‍රතික්‍ෂේප කරමින් සිටිනු දැකිය හැකි වෙයි.
මේ අතර ජනාධිපතිවරණය කාලයේ ට්‍රම්ප්ට වාසිදායක තත්ත්වයක් ඇති කිරීම සඳහා රුසියාව ජනාධිපතිවරණ ක්‍රියාවලියට මැදිහත් වූවාද යන්න ද දැන් කාලයක සිටම ආන්දෝලනයට ලක්ව ඇති කාරණයකි. මෙහිදී විශේෂයෙන් හිලරි ක්ලින්ටන් අයත් ඩිමොක්‍රටික් පක්ෂයේ සහ ඇයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සම්බන්ධව සිටි අයගේ ඊමේල් ගිණුම්වලට රහසේ ඇතුල්ව යම් යම් තොරතුරු සොරාගෙන ප්‍රසිද්ධ කිරීම සම්න්ධයෙන් එකල චෝදනා එල්ල විය. ට්‍රම්ප් රුසියාවේ ඉත්තෙකු බවට ද එකල කතා පැතිරුණු බව රහසක් නොවේ. මෙම රුසියානු මැදිහත් වීම සම්බන්ධයෙන් සෙවීම සඳහා ද මේ වනවිට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙම  කාරණය සම්බන්ධයෙන් ද කෝහන් බොහෝ දේ දන්නා බව තමාගේ අදහස  යයි  ඔහු ගේ නීතිඥයෙකු පසුගිය දා ප්‍රකාශ කර තිබිණි.  මෙම තොරතුරු ඉහත කී විමර්ශනය පවත්වන පාර්ශ්ව සමග පැවැසීමට ඔහු කැමති වනු ඇති බව ද මෙම නීතිඥයා පවසා ඇත. කෝහන්ට මෙම රුසියානු මැදිහත් වීම් සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ මොනවාද යන්න පිළිබඳව ද මේ වනවිට විශාල කුතුහලයක් මතු වෙමින් තිබෙන බව පෙනේ. මෙවැනි මැදිහත් වීම් ගැන ට්‍රම්ප් කලින් දැන සිටියාද වැනි කාරණා සම්බන්ධයෙන් මෙම විමර්ශකයින්ට වැදගත් විය හැකි බොහෝ දේ කෝහන් දන්නා බව තමාගේ අදහස යයි නීතිඥයා සඳහන් කර තිබිණි. මේ සියල්ල නිසා දැන් ඇති වී තිබෙන්නේ දෙබරයකට ගල් ගැසුවාක් වැනි තත්ත්වයකි. මෙම තත්ත්වය තුළ ජනාධිපතිවරයා ඉදිරියේ දී බොහෝ අභියෝගයන්ට මුහුණ දෙනු ඇතැයි බලා‍පොරොත්තු විය හැකි බව පෙනේ.
මේ අතර මයිකල් කෝහන් ට එරෙහිව තවත් චෝදනා රැසක් එල්ල වී තිබූ අතර එයින් චෝදනා 8 ක් සම්බන්ධයෙන් ඔහු අවසානයේ වරද පිළිගත්තේය. මේ ආකාරයෙන් වරද පිළිගැනීම නිසා ඔහුට නියම වීමට තිබූ වසර 65 ක පමණ සිර දඬුවම වසර පහක් පමණ දක්වා අඩු වීමට ඉඩ ඇතැයි ද වාර්තා වෙයි. මේ පිළිබඳ දඬුවම් ප්‍රකාශ කිරීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් 12 වෙනිදාය. බදු වංචා, මූල්‍ය ආයතන හා සම්බන්ධ වංචා ඇතුළු චෝදනා රැසක් ඔහුට එරෙහිව එල්ල වී තිබිණි. විනිසුරුවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙද්දී ඔහුගේ කට හඬ පවා වෙව්ලූ බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඔහු පසුගිය වසර කිහිපයක් තුළ තමාට ලැබුණු සමහර ආදායම් හෙළිදරව් කර නැතැයිද, ඒ ඔස්සේ බදු වංචා සිදු කර ඇතැයි ද චෝදනා නැගිණි. කුලී රථ සේවාවකින් උපයා ගත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13ක්, බ්‍රෝකර් ගාස්තු ලෙස ලැබුණු ඩොලර් 100,000 ක්, උපදේශන ගාස්තු ලෙස ඉපයූ ඩොලර් 200,000 ක් මේ ආකාරයෙන් හෙළි නොකර ඇතැයි පැවසිණි.
මේ අතර ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධව සිටි ප්‍රධානියෙකු වූ ‍පෝල් මැනෆෝට් සම්බන්ධයෙන් ද අධිකරණ තීන්දුවක් මෙදිනම නිකුත් වූ අතර ඔහු ද වංචාවන් කිහිපයක් සම්බන්ධයෙන් වරදකරු බවට අධිකරණය තීන්දු කළේය. බදු වංචා සහ බැංකුවලට සම්බන්ධ වංචා ආදිය ඔහුට එරෙහිව එල්ල වූ චෝදනා අතර  විය. එමෙන්ම ඔහු විසින් පවත්වාගෙන යන ලද විදේශ ගිණුම් කිහිපයක් පිළිබඳව තොරතුරු අනාවරණය කර නොතිබිම සම්බන්ධයෙන් ද මැනෆෝට් චෝදනා ලබා සිටියේය. කෙසේ නමුත් මෙම චෝදනා එල්ල වූයේ මැනෆෝට් ට්‍රම්ප්ගේ  ජනාධිපතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වීමට පෙර සිදු වූ වංචාවන් සම්බන්ධයෙනි. එහෙත් කෝහන් සම්බන්ධ සිද්ධිය මෙන්ම මෙය ද ඉදිරියේදී ජනාධිපතිවරයාට යම් බලපෑමක් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.