lakbima.lk

ඉතාලියේ දැවැන්ත පාලමක් කඩා වැටීමෙන් බිහිසුණු ඛිෙදවාචකයක්

ඉතාලියේ ජෙනෝආ නැමැති නගරයේ දැවැන්ත පාලමක් කඩා වැටීමෙන් සිදු වූ බිහිසුණු ඛිෙදවාචකය පසුගියදා ලොව පුරා මහත් කම්පනයක් ඇති කළ සිදුවීමක් විය. මෙම සිද්ධිය සිදු වූයේ ඉතාලියේ වේලාවෙන් පසුගිය අඟහරුවාදා (14 දා) පෙරවරු 11.30 ට පමණ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. මීටර 80 ක (අඩි 260 ක) පමණ දිගින් යුතු කොටසක් මේ ආකාරයෙන් කඩා වැටී ඇති අතර පාලම ‍පොළොව මට්ටමේ සිට මීටර 45 ක් (අඩි 150 ක්) පමණ උසින් පිහිටි එකක් බවද සඳහන් විය. සිද්ධිය සිදුවන අවස්ථාවෙහි එය මත ගමන් කරමින් තිබූ සාමාන්‍ය මෝටර් රථ 35 ක් සහ බර වාහන තුනක් පමණ පාලම යට වූ දුම්රිය මාර්ග මත සහ ගොඩනැගිලි මතද, ගංගාවටද වැටී තිබිණි. මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇති තොරතුරුවලට අනුව සිද්ධියෙන් 39 දෙනෙක් මියගොස් තවත්  පිරිසක් තුවාල ලබා සිටිති. සිය වාහනයට ඉදිරියෙන් තිබූ වාහනයක් පාලමත් සමග පහළට වැටෙනු දුටු එක් රියැදුරෙකු පවසා තිබුණේ තමා වහාම මෝටර් රිය නතර කර එය අගුළු දමා පණ බේරා ගෙන දිව ගිය බවයි.
පාලමෙන් කැඩී වැටුණු දැවැන්ත කොන්ක්‍රීට් කුට්ටි යට තවත් අය සිර වී සිටිය හැකි බවද ගලවා ගැනීමේ කණ්ඩායම් සඳහන් කර තිබිණි. මිය ගිය පිරිස අතර කුඩා දරුවන්ද සිටින බව සඳහන් වෙයි. පාලමේ ඉතිරි කොටස්ද කඩා වැටෙනු ඇතැයි යන බිය නිසා ඒ අවට ගොඩනැගිලිවල සිටි ජනයා පවා ඒවායින් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
ඉතාලිය වැනි දියුණු රටක ඉතා ජනාකීර්ණ නගරයක පිහිටි මෙවැනි ප්‍රධාන පෙළේ පාලමක් මේ ආකාරයෙන් කඩා වැටීම බොහෝ දෙනකු තුළ විමතියක් ඇති කිරීමට සමත්ව ඇති අතර මෙවැන්නක් සිදුවීමට හේතුව සම්බන්ධයෙන් තවමත් නිශ්චිතව කිසිවක් ප්‍රකාශයට පත්ව නැත. මෙය සිදුවන අවස්ථාවේ ධාරානිපාත වර්ෂාවක් වැටෙමින් තිබූ බවත්, පාලමේ එක් යෝධ කුලුනක් කඩා වැටීමෙන් මෙය සිදුව ඇති බවත් මේ වනවිට දැනගන්නට තිබේ. සිද්ධිය ඇසින් දුටු එක් අයෙකු පවසා තිබුණේ දරුණු ආකාරයේ අකුණක් පාලමට වදිනු දුටු බව සහ ඒ සමගම වාගේ පාලම කඩා වැටුණු බවයි. නමුත් අකුණු පහරක් හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවක් සිතිය නොහැකි බව ඇතැම් ඉංජිනේරුවන් මාධ්‍ය වෙත පවසා තිබිණි. කෙසේ නමුත් මෙයට වගකිව යුතු අය පිළිබඳ සොයා බලා දැඩි පියවර ගන්නා බව එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය මැතියෝ සල්විනි පවසයි. මෙම පාලම තමාද නිතර දෙවේ‍ලේ ගමන් කරන පාලමක් බව  සඳහන් කර ඇති ඔහු ඉතාලියේ දී මෙවැනි සිද්ධියකින් මරණයට පත්වීමට සිදුවන්නේ නම් එය ඇදහිය නොහැක්කක් බවද පවසා ඇත.
පාලම කඩා වැටෙන අවස්ථාවෙහි ඒ ආසන්නයේ සිටි පුද්ගලයන් පවසා ඇත්තේ කන් බිහිරි කරවන තරමේ මහා ශබ්දයක් ඇසුණු බවයි. එය අහස ගොරවන හඬක් විය යුතු යයි මුලින් සිතු බවද, එයින් මහත් බියට පත් වූ බව ද ඔවුන් පවසා තිබිණි. පාලම කඩා වැටීමත් සමග මාර්ගයෙහි වූ රථවාහන පිස්සුවෙන් මෙන් ආපසු හරවාගෙන යාමට පටන්ගත් බවද, මුළු නගරයේම කටයුතු අවුල් වූ ආකාරයක් දිස් වූ බවද තවත් සමහරුන් මාධ්‍යයට කියා තිබිණි. මිය ගිය අය මෙන්ම තවමත් පණ පිටින් සිටින අයද කඩා වැටුණු කොන්ක්‍රීට් කුට්ටි අතර සිරවී සිටින්නට ඉඩ ඇති බව ගලවා ගැනීමේ කණ්ඩායම්වල අදහස විය. නමුත් මෙම දැවැන්ත කුට්ටි ඉවත් කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් නිසා ගලවා ගැනීමේ කටයුතුවලදී ලොකු අභියෝගයකට මුහුණ දීමට ඔවුන්ට සිදුව තිබේ. පාලම යට ඉදි කර තිබූ ගොඩනැගිලිද පාලමේ සුන්බුන්වලට යට වී තිබිම නිසා ඒවා තුළද  පුද්ගලයන් සිර වී සිටීමට ඉඩ ඇති බව සඳහන් විය.
1967 දී පමණ ඉදි කරන ලද්දක් වන මෙම පාලම හැඳින්වෙන්නේ මොරාන්දි පාලම යනුවෙනි. ඉතාලියේ වැදගත් ප්‍රදේශ රැසක් සම්බන්ධ කරන ප්‍රධාන පෙළේ මාර්ගයක පිහිටි මෙම පාලම බිඳී යාම ජෙනොආ ප්‍රදේශයට පමණක් නොව මුළු රටටම බලපාන්නක් බවද පැවැසේ. වරායන් කිහිපයක් ඔස්සේ වැටුණු මාර්ගද මේ හරහා සම්බන්ධ වන බව සඳහන් වෙයි. මේ නිසා මෙම වරායවල සිට සහ ඒවා වෙත භාණ්ඩ ප්‍රවාහනයටද, සංචාරකයන්ගේ ගමන් බිමන් වලටද මේ නිසා විශාල බලපෑමක් සිදුව තිබේ. ඒ හේතුවෙන්  ඉතා ඉක්මනින් මෙම තත්ත්වයට විසඳුමක් දීමට බලධාරීන්ට සිදුවනු ඇති බවට විවිධ පාර්ශ්ව අදහස් පළ කර තිබිණි. මෙම පාලම ඉදි කර මේ වනවිට වසර 50 කට ආසන්න කාලයක් ගත වී ඇත. කල් ගත වීමේ දී කොන්ක්‍රීට්වල සිදුවන එක්තරා වෙනස්කමක් සම්බන්ධයෙන් මෙම පාලම සැලසුම් කිරීමේදී අවධානය යොමු කර නැති බවටද එක් ඉංජිනේරුවෙකු අදහසක් පළ කර තිබිණි.
මොරාන්දි පාලම පිහිටි මහා මාර්ගයේ කළමනාකරණ කටයුතු බාර ආයතනයක නිලධාරියෙකු පවසා තිබුණේ පාලමෙහි දෝෂයක් පිළිබඳ කිසිදු ලකුණක් පසුගිය කාලය තුළ දක්නට නොලැබුණු බවයි. එමෙන්ම පාලම සම්බන්ධයෙන් නිතර සෝදිසි කිරීම් සහ පරීක්ෂාවන් සිදු කෙරුණු බවද මෙම ආයතනය සඳහන් කර තිබේ. කෙසේ නමුත් පසුගිය දිනවල එහි අඩිතාලම ශක්තිමත් කිරීමේ කටයුතු වාගයක් සිදුවෙමින් තිබූ බවටද තොරතුරු පළ වී තිබිණි. 2016 වසරේ පවා පාලමෙහි අලුත්වැඩියා කටයුතු රැසක් සිදු කර ඇති බව සඳහන් වෙයි.

කිත්සිරි මල්වත්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.