lakbima.lk

දේශපාලනයේත්, සිනමාවේත් දැවැන්තයකු වූ කරුණානිධි සමුගනියි

තමිල්නාඩු දේශපාලනයේ දැවැන්තයකු වන මුතුවෙල් කරුණානිධිගේ අභාවය මෙම කලාපයේ දේශපාලන ක්‍ෂේත්‍රය තුළ විශාල අවධානයක් දිනාගත් සිදුවීමකි. ඔහු විශේෂයෙන් මෙරට යුද්ධය පැවැති කාලයේ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළද නිතරම කතාබහට ලක් වූ චරිතයක් බව රහසක් නොවේ. 94 වෙනි වියෙහි පසුවූ කරුණානිධි පසුගිය 7 වෙනි දින අභාවප්‍රාප්ත වන විට තමිල්නාඩුවේ අගනුවර වන චෙන්නායි නගරයේ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියේය. ඔහුගේ මරණයට හේතුව විශේෂ රෝගී තත්ත්වයක් නොවන බවත්, වියපත් බව හා බැඳුණු සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙමින් සිටි බවත් පැවැසිණි. යම් යම් ආසාදන තත්ත්වයන්  සම්බන්ධයෙන්ද අවසන් දිනවල වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනු දැකිය හැකි විය. පසුගිය ජූලි 28 වෙනි දින ඔහු රෝහල්ගත කර තිබුණේ රුධිර පීඩනයේ ඇතිවූ අක්‍රමවත් බව හේතුවෙනි.   සිය නායකයාගේ තත්ත්වය බරපතළ බව දැනගත් ඔහුගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ සාමාජිකයින් විසි ගණනක් එම කම්පනය දරාගත නොහැකිව මියගොස් ඇති බවද පසුගිය දිනෙක පක්ෂය ප්‍රකාශ කර තිබිණි. කරුණානිධි යනු තමිල්නාඩු දේශපාලනය තුළ සිටි ජනප්‍රියම, බලවත්ම නායකයන් කිහිප දෙනා අතරින් කෙනෙකු වූ බව අමුතුවෙන් මතක් කළ යුත්තක් නොවේ. එමෙන්ම ඔහු බොහෝ කලක් එහි සිනමාව තුළද කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ කලාකරුවෙකු  විය. එහිදී කරුණානිධි වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ චිත්‍රපට තිරකතා රචකයෙකු ලෙසිනි. ඔහු විසින් ලියන ලද තිරකතා ඇතුළත් චිත්‍රපට බෙහෙවින් ජනප්‍රිය වූ බව රහසක් නොවේ. 1924 උපන් ඔහු පාසල් කාලයේ පටන්ම නාට්‍ය, සාහිත්‍යය වැනි කලාවන් කෙරේ විශාල උනන්දුවක් දැක්වූවකු විය. (කරුණානිධි ගේ පියාද දක්ෂ සංගීත වාදන ශිල්පියෙකු බව පැවසේ).  ලාබාල වයසේ දීම කරුණානිධි විවිධ සමාජ ව්‍යාපාර හා සම්බන්ධ වෙමින් කටයුතු කළ කෙනෙකි. දකුණු ඉන්දියානු ද්‍රවිඩ සමාජය මත උතුරු ඉන්දියානු ආධිපත්‍යයට එරෙහිව ගොඩ නැගුණු ද්‍රවිඩවාදී ව්‍යාපාරය තුළ ඔහු තරුණ වියේ සිටම පෙරමුණ ගෙන කටයුතු කළ චරිතයක් විය. හින්දි භාෂා ආධිපත්‍යයට එරෙහිව කළ සටන්ද මෙම ව්‍යාපාරයෙහි ප්‍රධාන අංගයක් වූයේය. කරුණානිධි අතරමැදදී පාසල් ගමන අත්හැර දැමූ කෙනෙකු ලෙසද සැලකේ. 1949 දී ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය දියත් කෙරුණු අවස්ථාවේ  ඔහු එහි ආරම්භක සාමාජිකයකුද  විය. එමෙන්ම වසර 50 ක කාලයක් ඔහු පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීමද තවත් විශේෂත්වයකි.
1957 වසරේ පැවැති ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගෙන මුල් වරට මදුරාසි ප්‍රාන්ත සභාවේ ආසනයක් දිනාගන්නා විට ඔහුගේ වයස අවුරුදු 33 කි. (ඒ වනවිට තමිල්නාඩුව හැඳින්වුණේ මදුරාසිය නමිනි. එය තමිල්නාඩුව ලෙස නම් කෙරුණේ 1968 වසරේය). ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ඩී.එම්.කේ.) පක්ෂයෙන් කරුණානිධි 1957 මැතිවරණයට ඉදිරිපත් වූයේ කුලිතලායි නැමැති ආසනයෙනි. 1962 වසරේදී එම ප්‍රාන්ත සභාවේ නියෝජ්‍ය විපක්ෂ නායක පදවියට පත්වීමටද ඔහු සමත් වූයේය. ඉන්පසු 1967 වසරේ ප්‍රාන්ත මැතිවරණයෙන් ජය ගැනීමට ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයට හැකිවූ අතර එවර ප්‍රාන්ත රජයේ ඇමැති ධුරයක්ද කරුණානිධිට හිමි විය. ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළේ සී. එන්. අන්නදුරෙයිය.  1969 වසරේ අන්නදුරෙයි පිළිකා රෝගයට ගොදුරුව මරණයට පත්වූ අතර එයින් හිස්වූ මහ ඇමැති ධුරයට කරුණානිධි පත් කරනු ලැබිණි. ඔහු මුල පටන්ම ඉදිරිපත් වූ එකදු මැතිවරණයකින් හෝ පරාජය නොවී තිබිමද විශේෂත්වයකි. ඒ අතර පස් වතාවක්ම තමිල්නාඩු මහ ඇමැතිවරයා ලෙස ඔහු කටයුතු කර තිබේ. දේශපාලනයේදී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදීන් වූයේ එම්. ජී. රාමචන්ද්‍රන් (එම්.ජී.ආර්.)  ජයලලිතා ජයරාම් වැනි අයයි. ඔවුන් අයත් වූයේ තමිල්නාඩුවේ අනෙක් ප්‍රධාන
පක්ෂය වන අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයටය. කරුණානිධි අවසන් වරට මහ ඇමැති ධුරයට පත් වූයේ 2006 වසරේය. එවර ඔහු 2011 දක්වා එම ධුරය දැරූ අතර අනතුරුව මහ ඇමැතිකමට පත්වූයේ 2011 පැවැති මැතිවරණයෙන් ජයගත් ජයලලිතාය. වයස අවුරුදු 92 ක්ව සිටියදී පවා ඔහු 2016 වසරේ පැවැති ප්‍රාන්ත මැතිවරණයටද තරග කිරීම කැපී පෙනුණු අවස්ථාවක් විය. නමුත් එවරද මැතිවරණයෙන් ජයගත්තේ ජයලලිතා නායකත්වය දුන් අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයයි.
කරුණානිධි ප්‍රාන්තය තුළ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍රවීමට තවත් හේතුවක් වන්නේ ප්‍රාන්ත අයිතීන් දිනාගැනීම සඳහා ඔහු සහ ඔහුගේ පක්ෂය කළ අරගලයි. එමෙන්ම තමිල්නාඩුව තුළ විවිධ ආර්ථික ප්‍රතිසංස්කරණ ආදිය සිදු කිරීම සඳහාද ඔහු පෙරමුණ ගෙන ක්‍රියා කළ කෙනෙකි. ඉඩම් ප්‍රතිසංස්කරණ ආදිය එහිදී වඩාත් කැපී පෙනෙන බව සඳහන් කළ හැකිය.
කරුණානිධිගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු ප්‍රධාන පෙළේ නායකයන් රැසක් ශෝක පණිවුඩ නිකුත් කර තිබේ. එමෙන්ම සිනමා ක්‍ෂේත්‍රයේ දැවැන්තයෝද මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨයාගේ නික්ම යාම පිළිබඳව සිය ශෝකය පළ කරමින් සිටිති. සමහර චිත්‍රපටවල රූගත කිරීම් පවා නතර කර ඇති බවද වාර්තා වෙයි. කමල් හසන්, රජිනිකාන්ත්, ධනුෂ්, සූරියා, විජේ වැනි තමිල්නාඩු සිනමාවේ ජනප්‍රිය ශිල්පීන් රැසක් මේ වනවිටත් ඔහුගේ දේහයට අවසන් ගෞරව දක්වා ඇතැයි මාධ්‍ය සඳහන් කර තිබිණි.
කරුණානිධිගේ ජීවිතයෙහි අවසන් කාලයේ ඔහුගේ පක්ෂයේ වගකීම් රැසක් පැවැරී තිබුණේ ඔහුගේ පුත්‍රයා වන එම්. කේ. ස්ටාලින් වෙතය. ඔහු පක්ෂයෙහි ක්‍රියාකාරී සභාපතිවරයා ලෙස කටයුතු කළේය. දැන් පියාගේ අභාවයෙන් පසු ස්ටාලින් පක්ෂ නායකත්වයට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ. ජනතාව අතර ඉතා ජනප්‍රිය නායකයෙකු ලෙස මෙන්ම ප්‍රබල අදහස් දැරූ අයෙකු ලෙසත්, ශූර, උපායශීලී දේශපාලනඥයෙකු ලෙසත් කරුණානිධි ඉටු කළ මෙහෙය ඔහුගේ පුත් ස්ටාලින්ටද ඉදිරියට ගෙන යාමට හැකි වේවිද යන්න බොහෝ දෙනා කුතුහලයෙන් බලා සිටින කාරණයකි. කමල් හසන්, රජිනිකාන්ත් වැනි ජනප්‍රිය චරිතද තමිල්නාඩු දේශපාලනයට ප්‍රවේශ වෙමින් සිටින පසුබිමක් තුළ ස්ටාලින්ට අලුත් අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවද සඳහන් කළ හැකිය.

නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.