lakbima.lk

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ දේශපාලන අර්බුදයක

බ්‍රිතාන්‍යයේ අගමැතිනි තෙරේසා මේ කිසියම් ආකාරයක දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටින අතර ඇය අයත් කොන්සර්වේටිව් පක්ෂය තුළ පසුගිය කාලයේ වර්ධනය වෙමින් තිබූ ගැටුම් සහ පිල් බෙදීම් පුපුරා යාමට පටන්ගෙන ඇති ආකාරයක් පෙනේ. සමහර විට ඇයට පක්ෂ නායකත්වය අහිමි වීමේ අවදානමක් ඇති බවට ද ඇතැම්හු අදහස් දක්වති. මෙම අර්බුදය උත්සන්න වී ආණ්ඩුව කඩා වැටීමට වුවද ඉඩ ඇති බව සමහරු පවසමින් සිටිති. පසුගිය දිනවල මෙම ව්‍යාකූලත්වය කරළියට පැමිණියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ (Brexit) ක්‍රියාවලිය පසුබිම් කරගනිමිනි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුද යන්න පිළිබඳව ජනතාවගෙන් විමසමින් 2016 ජුනි මාසයේ ජනමත විචාරණයක් පැවැති අතර එහිදී බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් බහුතරයක් ඡන්දය දුන්නේ ඉවත් විය යුතුය යන මතය වෙනුවෙනි. මෙම ජනමත විචාරණයේ දී ඡන්දය පාවිච්චි කළ පිරිස අතරින් සියයට 52ක් වෙන් වීමේ මතය වෙනුවෙන් ඡන්දය දුන්හ. මෙම තීන්දුව අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ මූලික ක්‍රියාවලිය ආරම්භ වූ අතර 2019 වසරේ මාර්තු මාසය වනවිට මෙම ක්‍රියාවලිය අවසන් කර, ඊට අදාළ ගිවිසුම් අත්සන් කරමින් බ්‍රිතාන්‍යය එම සංගමයෙන් නිල වශයෙන් ඉවත් විය යුතුව ඇත. මේ ආකාරයෙන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු ඔවුන් දෙපාර්ශ්වය අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු, සංක්‍රමණිකයින් පිළිබඳ කටයුතු, ආරක්ෂාව පිළිබඳ කටයුතු ආදිය සිදුවන ආකාරය පිළිබඳව ගිවිසුම්වලට එළඹීමට සිදුවෙයි. මේ දිනවල මෙම ගිවිසුම්වල කොන්දේසි සකස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව දෙපාර්ශ්වය අතර මෙන්ම බ්‍රිතාන්‍යයේ පාර්ශ්ව අතර ද සාකච්ඡා පැවැත්වෙමින් තිබේ. තෙරේසා මේගේ පක්ෂය තුළ ගැටුම් ඇති වීමට පටන් ගත්තේ මෙම කොන්දේසි කේන්ද්‍ර කරගනිමිනි.

යුරෝපා සංගමය තමුන්ගේ සාමාජික රටවල් මෙම සංගමයෙන් කැඩී වෙන් වනවාට කැමැත්තක් දක්වන්නේ නැත. එයින් යුරෝපය දේශපාලන, ආර්ථික, ආරක්ෂක යනාදී අංශවලින් දුර්වල වන බව ඔවුන්ගේ පිළිගැනීමයි. මේ නිසා ඔවුන් නිතරම උත්සාහ කරන බව පෙනෙන්නේ සාමාජික රටවල් වෙන්ව යාම අධෛර්යයට පත්කිරීමටය. වෙන්ව ගියත් යුරෝපා සංගමය සමග ඇති බැඳීම උපරිම තත්ත්වයෙන් පවත්වා ගැනීමට ය. මෙහිදී එසේ වෙන්ව යාමට සැරසෙන රටවල් වෙත ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි සකස් වන්නේ මෙම පසුබිම තුළය. නමුත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව කියන බ්‍රෙක්සිට්වාදීන් අතර සිටින  දැඩි මතධාරී කණ්ඩායම් යුරෝපා සංගමයේ ඇතැම් කොන්දේසිවලට එකඟ නැත. එම කොන්දේසි නිසා අනාගතයේ බ්‍රිතාන්‍යයේ නිදහස සීමා වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසය බව පෙනේ. මේ අතර කොන්සර්වේටිව් පක්ෂය තුළ සිටින තවත් සමහර බ්‍රෙක්සිට්වාදීන් ඉහත කී දැඩි මතධාරීන් තරම්ම අනම්‍ය බවක් පෙන්වන්නේ නැත. ඔවුන් කිසියම් දුරකට යුරෝපා සංගමයේ කොන්දේසි සමග එකඟ වෙමින් ගිවිසුම්වලට ඇතුළත් වීමට කැමැති බව පෙනේ. පක්ෂය තුළ පිල් බෙදීමක් ඇති වී තිබෙන්නේ මෙම දැඩි මතධාරීන් සහ මෘදු මතධාරීන් අතරය.

අගමැතිනි තෙරේසා මේ අයත් වන්නේ මෘදු මතධාරීන්ගේ කණ්ඩායමටයි. යුරෝපා සංගමයෙන් වුවමනාවට වඩා දැඩි ලෙස කැඩී වෙන්වීම බ්‍රිතාන්‍යයේ අනාගතයට හිතකර නොවන බව ඇගේ අදහස බව පෙනේ. නමුත් දැඩි මතධාරීන් පවසන්නේ ඇය වුවමනාවට වඩා යුරෝපා සංගමයේ වුවමනාවන්ට යටත් වෙමින් සිටින බවකි. ඔවුන් සමහරුන්ට අනුව ඇය “කොන්ද පණ නැති” නායිකාවකි. මෙම තත්ත්වය තුළ  පසුගිය දා ඇයගේ ප්‍රධානත්වයෙන් සකස් කෙරුණු බ්‍රෙක්සිට් යෝජනාවලියකට එරෙහි වෙමින් ඇගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයන් දෙදෙනෙකු ඉල්ලා අස් වීමත් සමග පක්ෂය තුළ අර්බුදය වඩාත් දරුණු අතට හැරිණි. මේ ආකාරයෙන් ඉල්ලා අස්වූයේ ඇගේ විදේශ ‍ලේකම්වරයා වූ බොරිස් ජොන්සන් සහ බ්‍රෙක්සිට් ක්‍රියාදාමය පිළිබඳ ‍ලේකම්වරයා වූ ඩේවිඩ් ඩේවිස් ය. මේ දෙදෙනාම තෙරේසා මේ ගේ කැබිනෙට්ටුවේ සිටි ඉතා ප්‍රබල සාමාජිකයින් දෙදෙනෙකි.

දැන් මේ දෙදෙනා වෙනුවට වෙනත් දෙදෙනෙකු පත් කර ගෙන ඇති අතර මේ නිසා තෙරේසා මේට ඇයගේ අදහස් අනුව කටයුතු කිරීම වඩා පහසු වී ඇති ආකාරයක් පෙනේ. නමුත් පක්ෂය තුළ ඇයට විරුද්ධ මතවාදය ප්‍රබල වුවහොත් එය ඇයගේ දේශපාලන අනාගතයට විශාල බලපෑමක් කරනු ඇත. සමහර විට ඇයගේ පක්ෂ නායකත්වය අහිමි වීමට ඉඩ ඇති බවටද මේ වනවිට අදහස් පළවෙමින් ඇත්තේ මේ නිසාය.  ඇයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇතැම් මන්ත්‍රීවරුන් සූදානම් වෙමින් සිටින බව මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට දැනගන්නට තිබිණි. යම් හෙයකින් තෙරේසා මේ පක්ෂ නායකත්වයෙන් ඉවත් කෙරුණහොත් ඇය වෙනුවට බොරිස් ජොන්සන් පත් වීමට ඉඩ ඇති බවටද අදහස් පළවෙමින් තිබේ. බ්‍රිතාන්‍යයේ වැසියන් අතර සිදු කළ  ඇතැම් මත විමසුම්වලින් පෙනී යන්නේ රට තුළ ද ඇය කෙරේ වන විශ්වාසය බිඳ වැටෙමින් ඇති බවකි. බ්‍රිතාන්‍යයට වැඩි නිදහසක් හිමි කරදෙන ගිවිසුමකට යුරෝපා සංගමය සමග එළැඹීමට ඇය සමත් නොවනු ඇති බව සිතන බ්‍රිතාන්‍ය වැසියන් සංඛ්‍යාව ඉහළ යමින් ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

මේ අතර බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් ද තෙරේසා මේ ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටියි. ඇයගේ නායකත්වය යටතේ යුරෝපා සංගමය සමග සාර්ථක ගිවිසුමකට එළැඹීමට බ්‍රිතාන්‍යයට නොහැකි වනු ඇතැයි ඔහු චෝදනා කරමින් සිටියි. තම පක්ෂය තුළවත් එකඟතාවක් ඇති කර ගැනීමට අසමත්ව සිටියදී බ්‍රෙක්සිට් ක්‍රියාදාමය සාර්ථක කර ගැනීමට ඇය කෙසේවත් සමත් නොවනු ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

මෙම තත්ත්වය තුළ අගමැතිනි තෙරේසා මේ සිටින්නේ දැඩි පීඩනයකට සහ අස්ථාවර බවකට මුහුණ දී බව පැහැදිලිය. ඉදිරියේදී ඇය නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා පක්ෂය ගැනීමට ඉඩ ඇති පියවර සහ ඒවාට මුහුණ දීමට ඇය ගන්නා උපායමාර්ග ගැන මේ වනවිට විශාල ජාත්‍යන්තර අවධානයක් යොමු වෙමින් තිබේ. යම් හෙයකින් ඇය කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට ඇගේ විරුද්ධවාදීන් කටයුතු කළහොත් සහ වෙනත් කෙනෙකු එහි නායකත්වයට පත් කර ගතහොත් එම නායකත්වය රටේ ජනතාවගෙන්ද අනුමත කර ගැනීම සඳහා නැවත මහා මැතිවරණයක් පැවැත්විය යුතුය යන අදහස ද මතු වෙමින් ඇති බව පෙනේ. මේ සම්බන්ධයෙන් විමසමින් පසුගිය දිනෙක පවත්වන ලද ජනමත සමීක්ෂණයකට සහභාගි වූවන් අතරින් බහුතරයක් මෙම අදහසෙහි පිහිටා සිටි බව අනාවරණය වී තිබේ.

නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.