lakbima.lk

වසර 50කට පසුව පිටපිට දෙවරක් දිනු එකම නායකයා

ඉන්දීය දේශපාලනයේ ගෙවී ගිය වසර 50ක කාලය තුළ දී කිසියම් දේශපාලන පක්ෂයක් පිට පිට ‍මැතිවරණ දෙකක දී පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බහුතරයක් දිනා ගත් එකම අවස්ථාව සනිටුහන් කරමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය අතිවිශිෂ්ට ජයග‍්‍රහණයක් වාර්තා කළේ ඉන්දියාව තවත් වසර 5ක කාලයක් සඳහා නරේන්ද්‍ර මෝදි වෙත බාර කරමිනි.

මෙම ලිපිය ලියන විට නිකුත් කෙරී ඇති ප‍්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්ෂය ප‍්‍රමුඛ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය මන්ත‍්‍රී ආසන 350ක්, ඉන්දීය ජාතික කොංග‍්‍රසය ආසන 85ක් සහ වෙනත් පක්ෂ ආසන 107ක් ලබා ගෙන සිටියේය.

කිසියම් දේශපාලන පක්ෂයක් ‍ඉන්දීය ලෝක් සභාවේ ආණ්ඩු බලය පිහිටුවීමට නම් මුළු ආසන සංඛ්‍යාව වන 543න් 272ක     බලය හිමි කර ගත යුතුය. ඒ අනුව නරේන්ද්‍ර මෝදිට මෙවර හිමි වී ඇත්තේ අතිවිශිෂ්ට ජයකි.  
සති හයක් ක‍්‍රියාත්මක වූ ඉන්දීය මහ මැතිවරණය පසුගිය 19 වන දා අවසන් විය.

ඡන්ද ගණන් කිරීම සිදු වූයේ 23 වැනිදායි. මෙම මහ මැතිවරණය සත්‍ය වශයෙන්ම අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලනය සම්බන්ධයෙන් පැවැති ජනමත විචාරණයක් ලෙස සැලකීමට පුළුවන. 2014 මහ මැතිවරණයේ දී ඉන්දියාවේ පැවැති දූෂණය, නාස්තිය, රැකියා වියුක්තිය ආදී කරුණු මෝදිගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපෘතියේ කේන්ද්‍රීය මාතෘකා වූ නමුත් මෙවර ඔහු සම්පූර්ණයෙන් හින්දුත්වවාදී ස්වරූපයකින් සිය ප‍්‍රචාරක ව්‍යාපාරය ගෙන ගියේය.


ඉන්දීය මැතිවරණයේ දී ඝට්ටනයට ලක් වූ ප‍්‍රධාන මාතෘකා දෙකක් විය එකක් නම් ආර්ථිකයයි. අනෙක නම් ජාතික ආරක්ෂාවයි. මෝදිගේ මැතිවරණ ජයග‍්‍රහණය තුළින් පෙනී යන්නේ ඉන්දියානු ඡන්ද දායකයා ජාතික ආරක්ෂාව ආර්ථිකයට වඩා වැඩි තැනක තබා කටයුතු කර ඇති බවයි. ඇත්ත වශයෙන්ම 2014 වසරේ සිට 2019 වසර දක්වා වූ මෝදිගේ පළමු පාලන කාලය තුළ දී ඉන්දියාව අපේක්ෂා කළ ආකාරයේ පැහැදිලි ආර්ථික ජයග‍්‍රහණ කිසිවක් ලබා ගත්තේ නැත.

2014 මහ මැතිවරණයේ දී ඉන්දීය තරුණ ප‍්‍රජාව විශාල වශයෙන් මෝදි සමග සිට ගත්තේය. ඊට හේතු වූයේ දූෂණය නැති කර රැකියා අවස්ථා වැඩි කරන බවට දුන් පොරොන්දුවයි. එහෙත්, පොරොන්දු වූ ආකාරයෙන් දූෂණ නැති කිරීමට මෝදිට නොහැකි විය. ස්විස් බැංකුවල ඇති කළු සල්ලි ආපසු ඉන්දියාවට ගෙනවිත් දෙන බවට පොරොන්දු වුව ද ඒවා ද ඉටු කර ගැනීමට නොහැකි විය.

කළු සල්ලි ජාවාරම් අවම කිරීමේ අරමුණින් විශාල වටිනාකමක් ඇති මුදල් නෝට්ටු ‍අහෝසි කිරීමට කටයුතු කෙරුණ ද එයින් පහර වැදුණේ වීථියේ වෙළෙඳාම් කරන වෙළෙඳුන්, ගොවීන් කම්කරුවන්, ධීවරයන් වැනි පහළ ස්ථරවලටය.
මෝදිගේ පාලන කාලය තුළ දී විරැකියාව වාර්තා ගත ලෙස ඉහළ ගියේය. ගොවීන් වෙත ලබා දෙන බවට පොරොන්දු වූ සහන කිසිවක් ලබා දීමට නොහැකි විය.

මේ සියල්ල මධ්‍යයේ නරේන්ද්‍ර මෝදි ජයග‍්‍රහණය කළේ ඔහු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ‍ගිය ප‍්‍රචාරක වැඩපිළිවෙළ හේතුවෙනි. සිය මැතිවරණ ප‍්‍රචාරක වැඩසටහන්වල දී දිගින් දිගට ඔහු සඳහන් කළේ සිය පාලන සමය තුළ දී ඉන්දියාවට කිසිදු ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල නොවූ බවයි. නරේන්ද්‍ර මෝදි පාලනයට පැමිණෙන්නට පෙර ලක්ෂාර් ඊ තායිබා ත‍්‍රස්ත සංවිධානය මුම්බායි ප‍්‍රහාරය එල්ල කළ නමුත් ඉන්පසු කිසිදු ප‍්‍රහාරයක් එල්ල කිරීමට ත‍්‍රස්තවාදීන්ට නොහැකි විය. මෙම අදහස ජනගත කිරීමට මෝදිගේ ප‍්‍රචාරක යන්ත‍්‍රයට හොඳින් හැකි විය.


ඊට අමතරව පාකිස්තානය සමඟ ඇති වූ කාෂ්මීර අර්බුදය ද ඔහුගේ වාසියට හේතු විය. මෙම අවස්ථාවේ දී ඉන්දියාව පැහැදිලි ජයග‍්‍රහණයක් නොලැබුව ද ඉන්දීය ජනතාව තුළ  මතයක් ඇති වූයේ මෝදි වැනි ශක්තිමත් නායකයෙකු තමන්ට සිටිය යුතු බවයි. රාහුල් ගාන්ධි ඒ සඳහා නොගැ‍ළපෙන බව ‍ඉන්දීය ජනතාව තුළ තහවුරු වූ බව පෙනී යන්නේ මෙවර මැතිවරණ ප‍්‍රතිඵලවලිනි.


උත්තර ප‍්‍රදේශ්හි අමෙති නම් ඡන්ද කොට්ඨාසය ගාන්ධි පවුලේ බළකොටුවකි. ඉන්දීය කොංග‍්‍රස් පක්ෂය දීර්ඝ කාලයක් මුළුල්ලේ අමෙති අසුන ජයගත් නමුත් මෙවර ගාන්ධි පවුලට එය අහිමි විය. එයින් රාහුල් ගාන්ධිගේ ඉදිරි දේශපාලනික පැවැත්ම පිළිබඳවද දැඩි අභියෝගයක් එල්ල වී තිබේ.


මෝදි ගුජරාටයේ මහ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ දී ගුජරාටය කාර්මිකකරණයෙන් ඉහළ ස්ථානයකට ගෙන ඒමට මෝදිට හැකි විය. එහෙත් අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේ දී ඔහුට එම සාර්ථකත්වය අත් කර ගැනීමට නොහැකි වූයේ ඉන්දියාව යනු සත්‍ය වශයෙන් ම දැඩි විවිධත්වයකින් යුතු රාජ්‍යයක් වන බැවිනි. 

මිලියන 1300ක ජනගහනයෙන් යුතු ඉන්දීය ජනතාව තවමත් වැඩි වශයෙන් රඳා පවතින්නේ කෘෂිකාර්මික ආර්ථිකයක් මතයි. කෙසේ වෙතත්, මෝදි සිය දෙවන ධුර කාලය මුල් වසර පහට වඩා සම්පූර්ණයෙන් වෙනස් වූ ප‍්‍රතිපත්ති මාලාවක් මත පිහිටා පවත්වා ගෙන යනු ඇති බව විචාරකයන්ගේ අදහසයි. එහි දී ඔහු ඉන්දියාව තුළ පුළුල් කාර්මිකකරණ ප‍්‍රතිපත්තියක් හඳුන්වා දීමට බොහෝ දුරට ඉඩ ඇත.


තමිල්නාඩුවේ දේශපාලනය තුළ ද උඩු යටිකුරු වීමක් සිදු විය. පාලක  ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත‍්‍ර කළහම් හෙවත් ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. දේශපාලන පක්ෂය පරදවමින් ද්‍රවිඩ මුන්නේත‍්‍ර කළහම් පක්ෂය විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබීමට සමත් විය. ද්‍රවිඩ මුන්නේත‍්‍ර කළහම් පක්ෂය කටයුතු ‍කළේ රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග‍්‍රසයට පක්ෂවයි.

ඒ අනුව තමිල්නාඩුවේ බලය මෝදිට අහිමි වී යයි. මෙම ඡන්ද ප‍්‍රතිඵලයට හේතු වූයේ නරේන්ද්‍ර මෝදිගේ මධ්‍යයේ දේශපාලනය සම්බන්ධයෙන් තිබූ විරෝධය මෙන් ම පාලක ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂය අභ්‍යන්තරයේ තිබූ ‍ගැටුම්ය.  2014 මහ මැතිවරණයේ දී ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂය  තමිල්නාඩුවේ ආසන 39න් 37ක් දිනූවද මෙවර දිනා ගැනීමට හැකි වී ඇත්තේ එක් අසුනක් පමණි.


ඉන්දීය දේශපාලන පද්ධතිය තුළ මුස්ලිම් දේශපාලනඥයන් බහිෂ්කරණය වීම ද ගැටලූ‍වක් ලෙස පවතී. භාරතීය ජනතා පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයන් 437න් මුස්ලිම් දේශපාලනඥයන් 07 දෙනෙකු පමණක් සිටි අතර කොංග‍්‍රස් පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන්ගෙන් මුස්ලිම් දේශපාලකයන් සිටියේ 32 දෙනෙකු පමණි. එහෙත් ලෝකයේ දෙවැනි විශාලතම මුස්ලිම් ජනගහනය සිටින රට වන්නේ ඉන්දියාවයි.


මෙවර නරේන්ද්‍ර මෝදිට ලැබී ඇත්තේ නිදහසින් පසු ඉන්දියාවේ ශක්තිමත් ම ආණ්ඩුව බව ඇතැම් විචාරකයන්ගේ අදහසයි. ඉන්දියාවේ පළමු අග‍්‍රාමාත්‍ය  ජවහර් ලාල් නේරුට හෝ මෙවැනි බලයක් නොතිබිණ.

දර්ශන අශෝක කුමාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.