lakbima.lk

චීනය අභ්‍යාවකාශයේ විදුලි බලාගාරයක් හදයි

දිනෙන් දින ලෝකය බලශක්ති අර්බුදයක් කරා කමෛන් පියවර ඔසවන්නේය. ඒ ඊට සමගාමීවම එය පාලනය උදෙසා විද්‍යාඥයන් සිය දැනුම මුවහත් කරන්නේය. එකී පාලනය සඳහා වන විද්‍යාත්මක උත්සාහයන්ට ලොව බොහෝ රාජ්‍යයන් නොමසුරුව අතහිත දෙන්නේය.

සූර්ය පැනල නිෂ්පාදනයේ ලෝක බලවතා ලෙස කිරුළු පලන් චීනයද එම ක්ෂේත්‍රය තුළ තවත් පියවරක් ඉදිරියට තබන්නට සූදානම්ය. ඒ අභ්‍යාවකාශය තුළ සූර්ය බල ශක්තිකාගාරයක් පිහිටුවීමට පිඹුරුපත් සකසමිනි.

එම සැලසුම යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා චීනය මේ වන විටත් සියලු කටයුතු ආරම්භ කර ඇත. එමගින් යම් දිනෙක පෘථිවි නගරයක් ආලෝකමත් කළ හැකි බව චීනයේ විශ්වාසයයි. එසේම ඒ මගින් දැනටමත් පෘථිවියට අහිතකර ලෙස බලපා ඇති දූෂිත බල ප්‍රභවයන් ඉවත දැමීමටද හැකි වනු ඇත. ඒ අනුව මෙම අභ්‍යාවකාශ පදනම්ගත සූර්ය බලාගාරය පැවැතීම බල ප්‍රභවයන්ට විකල්පයක්ද වනු ඇත.

යෝජිත සූර්යශක්ති බලාගාරය අභ්‍යාවකාශය තුළ පිහිටුවනු ලබන අතර එහි ගබඩා කරනු ලබන ශක්තිය පෘථිවියට  එවනු ලබයි. එම පෘථීවි මධ්‍යස්ථානය විසින් එකී ශක්තිය ‍ලේසර් හෝ මයික්‍රෝ කිරණ යන දෙආකාරයෙන් එක ක්‍රමයකට පරිවර්තනය කරනු ලබයි.

ඉන් අනතුරුව අවශ්‍ය ස්ථානයන් වෙත විදුලිය ලෙස බෙදා හැරීම මෙම සංකල්පයේ සමස්ත ක්‍රියාව වෙයි. විශේෂඥ මතය අනුව වර්ග කිලෝමීටර් 02ක අවම වර්ග ප්‍රමාණයක් මගින් ගිගාවොට් එකක ධාරාවක ශක්තිය  නිපදවිය හැකිය. මෙම ව්‍යාපෘතිය එතරම් සරල එකක්ද නොවේ. රොබෝ තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම ව්‍යාපෘතියෙහි මූලික අදියර නිර්මාණය වීමද විශේෂත්වයකි.

මෙම ව්‍යාපෘතියට සමගාමීවම 2021 වසර වන විට කුඩාම සූර්ය බල සැටලයිට් අභ්‍යාවකාශය කරා දියත් කිරීමටද චීන අභ්‍යවකාශ විද්‍යාත්මක සහ තාක්ෂණික සංගමය සැලසුම් කොට ඇත. එසේම අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට සමගාමීව ඉදි කෙරෙන පෘථිවි මධ්‍යස්ථානයද චීනයේ සියෑන් නගරයේ ඉදි කිරීමටද නියමිතය.

චීන රජය මෙම ව්‍යාපෘතිය කෙරෙහි කෙතරම් සංවේදීදයත් යෝජිත සූර්ය පැනලයන්ගේ පරිපූරක නිර්මාණය වසර 2025 වන විට වෙළෙඳපළටද නිකුත් කිරීමට අපේක්ෂා කොට ඇත.

“චීන විද්‍යා හා තාක්ෂණික දිනපතා පුවත්පත” උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේද සූර්යය බල අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සහිත ප්‍රථම රට බවට මේ අනුව චීනය පත්වනු ඇති බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් යම් යම් විච්ෙචන නැත්තේද නැත. චීන අභ්‍යවකාශ තාක්ෂණ විද්‍යාලයේ පරීක්ෂකයකු වන ෂැන්ග් සිහිකාවෝ ප්‍රකාශ කොට ඇත්තේ මයිකේ‍රාවේව් සහ ‍ලේසර් යනාදී ලෙස පරිවර්තිත ශක්තිය මිනිසාට හානිකර වනු ඇති බවයි.

ඔහු අනතුරු අඟවමින් කියා සිටියේ ශාක සත්ව කොටස්වලටද මෙම හානිකර තත්ත්වයට මුහුණ පෑමට සිදු වන නිසා එය පරීක්ෂණයට ලක් කළ යුතු තත්ත්වයක් වන බවයි.
අනෙක් අතට විචාරක මතයට අනුවද මෙම ව්‍යාපෘතිය මගින් පරිවර්තිත ‍ලේසර් කිරණ චීනය  හමුදාමය උපකරණ සඳහද යොදා ගත හැකි වීම මෙහි සෘනාත්මක පැතිකඩයි.

මෙකී සියලු විවේචන අබිමුව චීනය තවමත් නොසැලී තම නිමාණය පිළිබඳව අපේක්ෂාවේ දෑස් අයා සිටින්නීය. ඇමෙරිකා එක්සත් ජනපදයද මෙම අභ්‍යාවකාශ සූර්ය බලාගාරය පිළිබඳ 2003 වසර වනතෙක් උනන්දුවක් දක්වා ඇත. යම් හෙයකින්  චීනය මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගතහොත් ඇමෙරිකා එක්සත් ජනපදයද නැවතත් සිය අවධානය ඒ දෙසට යොමු කරනු ඇත.

විචාරක මතය අනුවද චීන, ඇමෙරිකා සුසංයෝගයන් තුළ සාර්ථකත්වයට ළඟා වීම ඉතා පහසු එකක් වනු ඇත. නමුත් ගැටලුව නම් පවතින නීතියට අනුව චීන අභ්‍යවකාශ තාක්ෂණය සමග සුසංයෝගී වීම ව්ඒඉඒ  ආයතනයට තහනම් වීමය.

කෙසේ වෙතත් කාබන් දහනය වැඩිවීමත් සමග පෘථීවියට එල්ල වී ඇති තර්ජනය හමුවේ මෙවන් විකල්ප පැන නැගිය යුතුය. ප්‍රායෝගික විය යුතුය. පවතින පාරිසරික ගැටලුත් ආමන්ත්‍රණය කළ යුතුයි. කාබන්වලින් නිදහස් ශක්ති ප්‍රභවයක් සඳහා වන පරීක්ෂණ ක්‍රමවත් කළ යුතුය. මන්දයත් එවන් තාක්ෂණයක් අනාවරණය කර ගැනීමට අත්‍යවශ්‍යම මොහොත මෙය වන නිසාය.

එරංගි ප්‍රමෝධා
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.