lakbima.lk

ඉම්රාන් අත දිගු කරද්දී මෝදි ඇඟිල්ල දිගු කරයි

 

 

පාකිස්තානය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ගුවන් හමුදා නියමුවා හෙට (01) දිනයේදී නිදහස් කිරීමට තීරණය කර ඇත. දෙරටේ සාමය සඳහා පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර සිටින්නේ.

පාකිස්තාන ගුවන් හමුදා ප්‍රහාරක යානා සමග උඩු ගුවනේදී ඇතිවූ ගැටුමකදී ඉන්දීය ගුවන් හමුදාවට අයත් මිග් 21 වර්ගයේ ප්‍රහාරක යානයක් පකිස්තාන දේශසීමාවට කඩා වැටුනු අත, එහි සිටි වින්ග් කමාන්ඩර් අභිමන්දන් පාකිස්ථාන ආරක්ෂක හමුදාවන් විසින් සිය අත්අඩංගුවට ගනු ලැබීය. සිය ගුවන් නියමුවා ආරක්ෂා සහිතව තමන් වෙත යළි බාරදීමට පියවර ගන්නා ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඉන්දියාවේ පිහිටි පාකිස්තානු නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට ඊයේ සවස දැනුම් දුන්නේය.

 

එසේ කාශ්මීර් දේශසී‍මාවේ යුද උණුසුම වැඩි වෙමින් පවතින අතරතුර පාකිස්තානු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සාකච්ඡා සඳහා එකතු වන්නැයි ඉන්දීය ආණ්ඩුවට ආරාධනා කර සිටියේය. ඔහු රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඊයේ (27)දා සඳහන් කළේ ඉන්දියාවට පාකිස්තානු ගුවන් සීමාවට ඇතුලුවීමට හැකි නම් පකිස්තානයට ද ඊට පිළිතුරු ලබාදිය හැකි බවයි.

ඉතිහාසය පුරා යුද්ධ ඇතිවූයේ වැරදි ගණනය කිරීම් හේතුවෙන් බව පෙන්වා දෙන ඉම්රාන් ඛාන් පවසන්නේ මෙම යුද උණුසුම තවදුරටත් උත්සන්න වුවහොත් එය තමාගේ හෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ පාලනයට යටත් නොවනු ඇති බවයි. දෙරටම න්‍යෂ්ටික බලයෙන් යුක්ත බැවින් නැවතත් යුද්ධයක් ඇති වුවහොත් ඇතිවන තත්වය සමනය කිරීම පහසු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පාකිස්තානු නායකයා පවසන්නේ පුල්වාමා ත්‍රස්ත ප්‍රහාරය සමග පකිස්තානයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තම රජය හෝ තම රට කිසිදු උත්සාහයක් නොගන්නා බව අවධාරණය කරන ඔහු වැඩිදුරටත් පවසන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියානු රජය සිදුකරන පරීක්ෂණ සඳහා ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවයි.වසර ගණනාවක් පුරා ඉන්දියාව හා පාකිස්තානය යුද්ධයෙන් බැට කෑ අතර තවදුරටත් එවැනි තත්වයක් ඇති නොවීම සඳහා සාකච්ඡා මාර්ගයට පැමිණීමේ වැදගත්කම පාකිස්තානු නායකයා අවධාරණය කරයි.  

එබැවින් ඉන්දීය රජයට සාකච්ඡා සඳහා ආරාධනා කරන බවත් ඒ සඳහා මෝදිගේ පාර්ශ්වයන් යහපත් පිළිතුරක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඉම්රාන් ඛාන් පවසයි.

දෙරට අතර යුද උණුසුම උත්සන්න වීමත් සමග පාකිස්තානු නායකයාගේ මේ ප්‍රකාශය ලොව බොහෝ දෙනාගේ ප්‍රසාදයට හේතු වී තිබේ. ඔහුගේ මෙම ප්‍රකාශය ඇතිවීමට හැකි මහා ව්‍යසනයක් වලක්වා ගැනීම සඳහා මූලික පියවරක් වනු ඇති බවයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් සඳහන් පෙන්වා දෙන්නේ.

 

" මම ඊයේ දිනයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී දුරකථනයෙන් ඇමතීමට උත්සහ කළා. ඒ අපට සටනකට යාමේ අවශ්‍යතාවයක් නොමැති බව දැනුම් දීමටයි. එලෙස අප ක්‍රියා කරන්නේ බියට පත් වීමෙන් නොවන බවද අවධාරණය කළ යුතු යැයි" පාකිස්ථාන අගමැතිවරයා අද පැවසීය.

 

භාරතීය ජනතා පක්ෂයේ විශේෂ රැස්වීමක් අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අද (28) මෙසේ පැවසීය.

"සතුරාට අවශ්‍යව ඇත්තේ අපගේ දියුණුව අඩාල කිරීමටයි. ඒ සඳහා ඔවුන් අප වෙත ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනු ලබනවා. අප අපගේ හමුදාව කෙරෙහි විශ්වාස කරනවා. ඔවුන්ගේ චිත්ත ශක්තිය හීන වන කිසිදු දෙයක් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ හේතුවෙන් එකම රටක් ලෙස අප ඉදිරියට සටන් කොට ජයග්‍රහණය අත්පත් කර ගැනීමට එකා වන්ව කටයුතු කරමු යැයි".

 

 

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.