lakbima.lk

ඉන්දුනීසියාවේ මැතිවරණ තුනක් එකට

ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් මැතිවරණය එකම දිනයක දී පසුගියදා පැවැත්විණ. මිලියන 192 ක ජනතාවක් මෙහි දී ඡන්දය ප‍්‍රකාශ කළහ. මෙම මැතිවරණ තුන ම එක ම දිනයක දී පැවැත්වුණේ ඉන්දුනීසියා ඉතිහාසයේ පළමු වරටයි.

දෙලක්ෂ හතළිස්පන්දහසක පමණ අපේක්ෂකයන් පිරිසක් මෙහි දී තරග වැදුණු අතර ඉන්දුනීසියාවට අයත් දූපත් 18,000ක ඡන්ද විමසීම ක‍්‍රියාත්මක කෙරිණ. ඉන්දුනීසියාව යනු ලෝකයේ තුන්වැනි විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයයි. ඡන්දය පැවත්වීම කොතරම් දුෂ්කර වූ කාර්යයක් වී ද යතොත් මිලියන හයක පමණ පිරිසක් ඒ සඳහා සේවයේ යෙදවීමට සිදු විය. විවිධ දූපත්වල අඩු පහසුකම් යටතේ මැතිවරණ සේවාවේ නිරත වීම හේතුවෙන් මැතිවරණ රාජකාරීවල නිරත වී සිටි පුද්ගලයන් 311 දෙනෙකු මිය ගිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. තවත් 2232 දෙනෙකු විවිධ රෝගාබාධවලට ගොදුරු වී ඇත.

නිකුත් කෙරී ඇති ඡන්ද ප‍්‍රතිඵල අනුව බලයේ සිටි ජනාධිපති ජොකො විඩොඩෝ මහතා සඳහන් කළේ තමන් ජයග‍්‍රහණය කළ බවයි. එහෙත් ඔහුගේ ප‍්‍රතිවාදියා වූ හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වන ප‍්‍රබොවෝ සුබයින්තෝ ද සඳහන් කරන්නේ තමන් ජයග‍්‍රහණය කර ඇති බවයි.

කෙසේ වෙතත්, අවසන් ප‍්‍රතිඵලය ප‍්‍රකාශට පත් කෙරෙන්නේ මැයි මාසයේ අග භාගයේ දී ය. ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ඇති රාජ්‍යය වන්නේ ඉන්දුනීසියාවයි. එහි සමස්ත ජනගහනය මිලියන 260කි. ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් ඇති රට වශයෙන් ඉන්දුනීසියාව සැලකුව ද එරටට රාජ්‍ය ආගමක් නොමැත. ඉන්දුනීසියා ව්‍යවස්ථාව මගින් සෙසු සියලූ‍ ආගම් ඇදහීමේ අයිතිය ආරක්ෂා කර තිබේ.

ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් විඩොඩෝ සඳහන් කළේ තමන් වෙත සියයට 54.5ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමි වී ඇති බවයි. ප‍්‍රතිවාදී තරගකරුවා  වන ප‍්‍රබොවෝ කියා සිටින්නේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල දී විශාල ඡන්ද කොල්ල කෑමක් සිදු වූ බවයි. ඔහු පවසන්නේ තමන් වෙත සියයට 62ක ඡන්ද ප‍්‍රතිශතයක් ඇති බවයි. 2014 වසරේ පැවති ඡන්ද විමසීමේ දී ද මෙම තරගකරුවන් දෙදෙනා ම තරග වැදුණු අතර ප‍්‍ර‍බෝවෝ එවර ද කියා සිටියේ ඡන්ද වංචාවක් සිදු වූ බවයි. පසුව මේ සම්බන්ධයෙන් ව්‍යවස්ථා අධිකරණයට යෑමට ඔහුට සිදු වූ අතර එහි දී ඡන්ද ප‍්‍රතිඵලය නිවැරදි බවට ප‍්‍රකාශයට පත් කෙරිණ.

මෙම ඡන්ද විමසීම පැවැත්වීම ඉතා දුෂ්කර වන්නේ දූපත් 18,000ක පමණ ඡන්දය පැවැත්වීමට සිදු වීම හේතුවෙනි. එම දූපත්වල ඡන්ද මධ්‍යස්ථාන අට ලක්ෂ දස දහසක් පමණ ක‍්‍රියාත්මක විය.
ජනාධිපතිවරයා වන විඩොඩෝ මහජනතාවගේ නායකයෙකු ලෙස කීර්තියක් දිනා ගෙන සිටින අයෙකි. ඔහු 57 හැවිරිදි වියේ පසු වන අතර ලී බඩු වෙළෙන්දෙකු ලෙස සිය ජීවිකාවක ඇරඹුවෙකි. ඔහුගේ නායකත්වය යටතේ ඉන්දුනීසියාවේ ශීඝ‍්‍ර ආර්ථික වර්ධනයක් සිදු විය. ඔහු ආගමික වශයෙන් මැදිහත්භාවයකින් යුතු පුද්ගලයෙකු වශයෙන් ද සලකනු ලැබේ.

ඉන්දුනීසියා මැතිවරණයේ දී කවුරුන් ජයග‍්‍රහණය කළ ද චීනය සමඟ ඉදිරියේ දී පවත්වා ගන්නා සම්බන්ධතා ඉතා වැදගත් භූමිකාවක් හිමි කර ගනී. ඉන්දුනීසියාව පසුගිය කාලය තුළ දී ලැබූ ආර්ථික වර්ධනයේ ප‍්‍රධාන වාහකයක් බවට පත් වූයේ චීන බලපෑමයි. දැන් මේ වන විට අග්නිදිග ආසියාවේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රාජ්‍යය වන්නේ ඉන්දුනීසියාවයි. වාර්ෂික ආර්ථික වර්ධන වේගය සියයට 5කි.

මෙම ආර්ථික වේගය අඛණ්ඩව පවත්වා ගෙන යෑමට හැකි වුවහොත් ඉන්දුනීසියාවට 2050 වසර වන විට ලෝකයේ සිව්වැනි විශාලතම ආර්ථිකය බවට පත් වීමට හැකි වන බවට පුරෝකථනය කිරීම් සිදු කර තිබේ. පළමු ආර්ථිකයන් තුන බවට චීනය ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය පත් වනු ඇත.

එහෙත්, ඉන්දුනීසියාව පෙළෙන ප‍්‍රධානතම ගැටලූ‍ව නම් දූෂණයයි. එසේම, ඉන්දුනීසියාව තුළ ප‍්‍රමාණවත් තරම් යටිතල පහසුකම් වර්ධනය නොවීම ද එහි ආර්ථික වර්ධනය දුර්වල කිරීමට හේතුවක් වනු ඇත. පසුගිය කාලය මුළුල්ලේ ඉන්දුනීසියාවේ යටිතල පහසුකම් ව්‍යාපෘති වෙනුවෙන් ආයෝජන සිදු කළේ චීනයයි. එක තීරයක් එක් මාවතක් යන ව්‍යාපෘතිය යටතේ ඉන්දුනීසියාවට චීනයෙන් අති විශාල ආයෝජන ප‍්‍රමාණයක් හිමි විය. දීර්ඝ කාලයක් ඉන්දුනීසියාවේ ප‍්‍රධාන ආයෝජකයන් බවට පත් වූ ජපානය සහ කොරියාව ඉක්මවමින් චීනය එම ස්ථානය දිනා ගෙන තිබේ.

උදාහරණයක් ලෙස චීන ආධාර යටතේ ජකර්තා සහ බන්දුන් යා කරමින් ඇෙිමරිකා ඩොලර් මිලියන 5,900ක දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් ඉන්දුනීසියාව තුළ නිම කෙරමින් පවතී. මේ වන විටත් ඉදිකිරීම්වලින් සියයට 75ක් පමණ අවසන් වී තිබේ. මෙය අග්නිදිග ආසියාවේ ප‍්‍රථම අධිවේගී දුම්රිය මාර්ග පද්ධතිය වේ.

ජනාධිපති ජොකෝ විඩොඩෝ ඉන්දුනීසියාවේ අගනුවර වෙනස් කිරීමේ අදහසක් ද පසුගියදා ඉදිරිපත් කළ අතර ජකර්තා නගරය වෙනුවට අලූ‍තින් පිහිටුවා ගන්නා අගනුවර කුමක්ද යන්න මේ වන තෙක් ප‍්‍රකාශයට පත් කර නොමැත.

පසුගිය මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ දී ජනාධිපති විඩෝඩෝගේ ප‍්‍රතිවාදියා වූ ප‍්‍රබෝවෝ පැවසුවේ මෙම චීන ආයෝජනවල පාරදෘශ්‍යභාවයක් නොමැති අතර තමන් බලයට පත් වූ පසු ඒ ගැන පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවයි. බොහෝ ඉන්දුනීසියානුවන් තුළ ද චීන ආයෝජන සම්බන්ධයෙන් සැකයක් ඉස්මතු වී තිබේ.

කෙසේවෙතත්, දැන් පවතින තත්ත්වය අනුව ඉන්දුනීසියාවේ ආර්ථික වර්ධන වේගය ඒ ආකාරයෙන් ම පවත්වා ගෙන යෑමට නම් චීන සහාය අත්‍යවශ්‍ය වේ.

දර්ශන අශෝක කුමාර
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.