lakbima.lk

ඉන්දීය මහ මැතිවරණයේදී මුස්ලිම්වරු හේදිලාම ගියේ කොහොමද?

ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත් වන රට වන්නේ ඉන්දුනීසියාවයි. දෙවැනි තැනට වැඩිම මුස්ලිම් ජනගහනයක් ජීවත් වන රට අරාබිකරයේ ඇතැයි බොහෝ දෙනෙකුට සිතිය හැකි වුව ද සත්‍යය වන්නේ ලොව දෙවැනි විශාලතම මුස්ලිම් ජනගහනය ඇත්තේ ඉන්දියාවේ වීමයි. ඉන්දියාවේ ජනගහනයෙන් සියයට 14.2ක් මුස්ලිම් ජනතාව වෙති. ඉන්දියාවේ වෙසෙන මුස්ලිම් ජනගහනය මිලියන 200කි.

එහෙත්, මෙවර මහ මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදි නැවත වරක් අග‍්‍රාමාත්‍ය ධුරයට පත් වීමත් සමග ඉන්දීය මුස්ලිම්වරුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශාල සංවාදයක් ඇති වී තිබේ. ඊට හේතුව වන්නේ හින්දුත්වවාදී ප‍්‍රතිපත්තියක් මත ක‍්‍රියාත්මක වන නරේන්ද්‍ර මෝදි ගුජරාටයේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිට මුස්ලිම් විරෝධයකින් කටයුතු කළ බවට චෝදනා එල්ල වන බැවිනි.

සභිකයන් 543කින් සමන්විත ඉන්දීය ලෝක් සභාවට පසුගිය මහ මැතිවරණයේ දී තේරී පත් වූයේ මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 27 දෙනෙකු පමණි. එහි විශේෂත්වය වන්නේ හින්දුත්වවාදී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් කිසිදු මුස්ලිම් මන්ත‍්‍රීවරයකු තේරී පත් වී නොතිබීමයි. කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් ගත් විට 2014 වසරේ පත් වූ 16 වැනි ලෝක් සභාවට සාපේක්ෂ ලෙස 17 වැනි ලෝක් සභාවේ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව 4කින් වර්ධනය වී තිබේ. 2014 මහ මැතිවරණයෙන් ද තේරී පත් වූයේ මුස්ලිම් මන්ත‍්‍රීවරුන් 23 දෙනෙකු පමණි.

භාරතීය ජනතා පක්ෂය විසින් මුස්ලිම් අපේක්ෂකයන් හය දෙනෙකු ඉදිරිපත් කර තිබිණ. එයින් තුන් දෙනෙකු ඉදිරිපත් කර තිබුණේ කාෂ්මීරයටයි. දෙදෙනෙකු බටහිර බෙංගාලයට ද තවත් මුස්ලිම් අපේක්ෂකයකු ලක්ෂද්වීපය වෙත ද භාරතීය ජනතා පක්ෂය ඉදිරිපත් කර තිබූ අතර ඒ සියලූ‍ දෙනා ම මැතිවරණයෙන් පරාජයට පත් වූහ.


විචාරකයන් පෙන්වා දෙන්නේ භාරතීය ජනතා පක්ෂය විසින් මුස්ලිම් දේශපාලන නියෝජනය ආන්තිකකරණයකට  ලක් කරමින් සිටින බවයි. ඉන්දියාවේ ප‍්‍රධානතම ජනවාර්ගික සුළුතරය මුස්ලිම්වරුන් වන අතර ඔවුන්ගේ නියෝජනය නිසි ආකාරයෙන් ලෝක් සභාව තුළ නොපෙනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයේ බරපතළ ගැටලූ‍වකි.


මුස්ලිම්වරුන් ගවමස් කෑමට එරෙහිව ඉන්දියාව තුළ  භීෂණකාරී ක‍්‍රියාමාර්ගය ඉතා සහාසිකය. ගව මස් ළඟ තබා ගැනීම නිසා හින්දූන් කළ පහර දීම් නිසා මුස්ලිම්  ජීවිත ගණනාවක් පසුගිය කාල සීමාව තුළ අහිමි වූ අතර ඒ සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක‍්‍රියාත්මක වූ බවක් ද පෙනෙන්නට නැත. මෝදිගේ පසුගිය පස් වසරක කාලය තුළ දී එසේ ඝාතනය කෙරුණු මුස්ලිම් මිනිසුන්ගේ සංඛ්‍යාව 44කි.


භාරතීය ජනතා පක්ෂය විසින් දේශපාලනික ධ‍්‍රැවීකරණය ඉතා වැරදි ආකාරයෙන් භාවිත කරමින් සිටින අතර නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය සිය බලය තහවුරු කර ගැනීම සඳහා සූක්ෂ්ම ලෙසින් යොදා ගනිමින් සිටී. ඉන්දියාව නිරාගමික රාජ්‍යයකි. එහෙත් ඉන්දියාව සහ පාකිස්ථානය වෙන් වූ අවදියේ සිට හින්දු ඉන්දියාවක් පිළිබඳ ව්‍යාපෘතිය කුළු ගැන්වෙමින් තිබූ අතර මෝදි යටතේ එහි කූටප‍්‍රාප්තියක් ඇති වී තිබේ.

පසුගිය පෙබරවාරි මාසයේ දී ඉන්දීය යුද සෙබළුන් 40 දෙනෙකු ඝාතනය කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වීමෙන් පසු මෝදි පාලනයේ මීළඟ ඡුන්ද ප‍්‍රචාරක ව්‍යාපාරය සකස් වූයේ ජාතික ආරක්ෂාව පදනම් කර ගනිමිනි. අසෑම් ප‍්‍රාන්තයේ දී භාරතීය ජනතා පක්ෂය ගෙන ප‍්‍රචාරක ව්‍යාපාරය වූයේ පුරවැසිභාවය නොමැති සියලූ‍ මුස්ලිම් සංක‍්‍රමණිකයන් පිහිටුවහල් කරන බවයි. එම සංක‍්‍රමණිකයෝ බංග්ලාදේශයෙන් පැමිණි අය වෙති. එහෙත් භාරතීය ජනතා පක්ෂයේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් ම ඉන්දීය නිරාගමික ව්‍යවස්ථාව :ිැජමක්ර ජදබිඑසඑමඑසදබ*  උල්ලංඝනය කරන්නකි.

භාරතීය ජනතා පක්ෂයේ සභාපති අමිත් ෂා ඡුන්ද රැස්වීම්වල දී දැඩි වෛරී ප‍්‍රකාශන භාවිත කළ අතර බංග්ලාදේශයෙන් පැමිණි සංක‍්‍රමණිකයන් හැඳින්වූයේ රට කා දමන වේයන් කොටසක් ලෙසිනි. මෙම ප‍්‍රකාශය පසු අවස්ථාවක දී මාධ්‍ය හමුවේ ද භාරතීය ජනතා පක්ෂය පිළිගත්තේය. ශිෂ්ට සම්පන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ අනුමත නොකෙරෙන ආකාරයේ වෛරීත්වයක් ඇතැම් ප‍්‍රාන්තවල දී භාරතීය ජනතා පක්ෂය අතින් විහිදෙන්නට විය.
භාරතීය ජනතා පක්ෂයේ දෙවන ආණ්ඩුව තුළ දී සුළු ජාතික නියෝජනය පමණක් නොව කුල නියෝජනය ද අර්බුදයකට ගොස් තිබේ.

භාරතීය ජනතා පක්ෂ නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර 25න් 9ක් හිමි වී ඇත්තේ ඉහළ ම කුලය ලෙස සැලකෙන බ‍්‍රාහ්මණයන්ටයි. එහෙත් ඉන්දීය ව්‍යවස්ථාව තුළින් පහත් කුලවල නියෝජනය අනිවාර්ය කර තිබේ. උදාහරණයක් ලෙස ලෝක් සභාවේ අසුන් 543න් 131ක් පහත් කුලවලට හිමි විය යුතුය. 

එහෙත් මෙවර සියලූ‍ පහළ කුලවලට කැබිනට්ටුවේ හිමි වී ඇත්තේ ඇමැති ධුර ඉතා සුළු සංඛ්‍යාවකි. දකුණු ඉන්දියාවේ ප‍්‍රාන්ත 5 වෙනුවෙන් ම කැබිනට් අමාත්‍ය ධුර හිමි වී ඇත්තේ තුනකි. ඒ සීතාරාමන්, ජෙයශන්කර් සහ සදානන්ද් ගෞදා යන අයට පමණි. එහෙත් මෙම ප‍්‍රාන්ත 5න් මන්ත‍්‍රීවරුන් 119ක් ලෝක් සභාවට පත් වී තිබේ. මේ අනුව මෝදිගේ ආණ්ඩුව උතුරු ඉන්දීය හින්දුත්ව ඉහළ කුලවල පාලනය මැනැවින් ප‍්‍රකට කරයි.


ලෝකයේ දෙවැනි විශාලතම මුස්ලිම් ජනගහනය ඇති  සමස්ත ඉන්දියාවට ම සිටින්නේ එක ම මුස්ලිම් කැබිනට් ඇමතිවරයෙකු පමණි. මුක්තර් අබ්බාස් නඛ්වි නමැති එම අමාත්‍යවරයා ද මහජන ඡුන්දයෙන් තේරී පත් වූ අයෙකු නොවේ. ඔහු ඉන්දියාවේ ඉහළ මන්ත‍්‍රී මණ්ඩලය හෙවත් රාජ්‍ය සභාවට ඡන්දයකින් තොරව පත් වන මන්ත‍්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දුන් අයෙකි. දීර්ඝ කාලයක් භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇති ඔහු පසුගිය රජයේ ද අමාත්‍යවරයෙකු වුව ද කැබිනට් අමාත්‍යධුරයක් ලැබූ පළමු අවස්ථාව මෙයයි.


ඉන්දියාවේ මුස්ලිම් දේශපාලනඥයන්ගේ නියෝජනය ඉතා ගුප්ත ආකාරයක සංචලනයක් පෙන්නුම් කරයි. 1981 වසරේ සිට 2011 වසර වන විට ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය දෙගුණ වුව ද ඊට සාපේක්ෂ ලෙස මුස්ලිම් දේශපාලනඥයන්ගේ නියෝජනය වර්ධනය වී නැත. 1981 දී ඉන්දියාවේ මුස්ලිම් ජනගහනය මිලියන 68ක් වූ අතර ඒ වන විට පාර්ලිමේන්තුව තුළ මුස්ලිම් මන්ත‍්‍රීවරුන් 49 දෙනෙකු සිටි අතර 2011 වසර වන විට ජනගහනය මිලියන 172 දක්වා වර්ධනය වුව ද 2014 මහ මැතිවරණයේ දී මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට හිමි වූයේ අසුන් 22ක් පමණි.


මේ පිළිබඳ පර්යේෂණ පැවැත් වූ ක‍්‍රිස්ටෝපර් ජැ‍ෆ්රෙලොට් සහ ගිල්ස් වර්නියර් වැනි පර්යේෂකයන් පවසන්නේ මුස්ලිම් නියෝජනයේ පහළ වැටීමට හේතුව භාරතීය ජනතා පක්ෂයේ නැඟීම බවයි. අද වන විට අසුන් 353ක් දිනා ගැනීමට සමත් වුව ද 1984 වසරේ දී භාරතීය ජනතා පක්ෂය ප‍්‍රථම වරට මහ මැතිවරණයකට ඉදිරිපත් වූ අතර එහි දී ජයග‍්‍රහණය කළේ අසුන් දෙකක් පමණි.

1998 වන විට භාරතීය ජනතා පක්ෂයට සභාග ආණ්ඩුවක් පාලනය කිරීමට හැකි වූ අතර 2014 වසරේ දී අතිවිශිෂ්ට ජයක් ලබා ගැනීමට හැකි විය. භාරතීය ජනතා පක්ෂය ප‍්‍රධාන දේශපාලන පක්ෂයක් ලෙස නැඟී සිටීමත් සමඟ ඔවුන්ගේ හින්දුත්වවාදී දේශපාලන වැඩපිළිවෙළ තුළ අඩු මුස්ලිම් අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් කෙරිණ.

එහි ප‍්‍රතිඵලය වූයේ ජාතික දේශපාලනයෙන් මුස්ලිම් නියෝජනය බරපතළ ලෙස කඩා වැටීමයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.