lakbima.lk

ඇත්තටම ඇමෙරිකන් හමුදාව ලංකාවට එන්න හදනවාද?

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු හමුදාව ගෙන්වීමට සූදානමක් ඇති බවට මතයක් පළ වීමත් සමග සමාජය තුළ ඒ සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් හටගත්තේය. බොහෝ දෙනා පැවැසුවේ, ඉන්දීය හමුදාවන් මෙරටට ගෙන්වීමෙන් වූ ව්‍යසනයටත් වැඩි ව්‍යසනයක් එමඟින් සිදු වනු ඇති බවයි. මේ හේතුවෙන් මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් හා අගරදගුරුතුමාද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් විදෙස් හමුදා ලංකාවට ගෙන්වීමෙන් වැළකෙන ලෙසද අවධාරණය කළහ.

කෙසේ නමුදු පිටස්තර කිසිවෙකුට මෙරට ආරක්ෂක කටයුතුවලට ඇඟිලි ගැසීමට තමන් ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරන ලද්දේ මේ අතරේය. මේ  සියල්ල අතරේ  දැන්  සමාජය   පුරා දැඩි කතාබහකට ලක්වී ඇත්තේ, ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර ඇති කරගෙන තිබේ යැයි කියන පවරා ගැනීමේ සහ දෙපාර්ශ්වය අතර සේවා සපයා ගැනීමේ ගිවිසුම නොහොත් ACSA ගිවිසුම පිළිබඳව ය.

මෙම  ගිවිසුමත් සමග  ඇමෙරිකානු  හමුදා ව්‍යුහයන්ට  ශ්‍රී ලංකාවට පිවිසීමට සහ මෙරට ගුවන්තොටුපළ හා වරාය භාවිත කිරීමට  ඇමෙරිකාවට අවස්ථාව උදාවෙන බවට බොහෝ දෙනා අදහස් පළ කරති. ඇත්ත වශයෙන් ම මෙම ගිවිසුමෙන් සිදු වෙන්නේ කුමක්ද, ඉන් අපේ රටට ඇතිවන බලපෑම කෙබඳුද යන්න සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය නීති පීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ මේනක හරන්කහගේ විග්‍රහයක් ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

මෑතකදී රජය අත්සන් කරන ලද ඒඛිඉඒ  ගිවිසුම පිළිබඳව ලංකාව පුරා කතාබහට ලක්වී ඇත. ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේදී පෙනී යන මූලික කාරණය වෙන්නේ මෙහි ආරම්භය මීට වසර දොළහකට පමණ ඈතකට යන බවයි. මෙම ගිවිසුම මුලින් අත්සන් තබා ඇත්තේ, දෙදහස් හතේදීය. ඒ, එවකට මෙරට ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. 

ඊටත්   පෙර  කාලයේදී  එනම්  දෙදහස්  දෙකේදී  රනිල්   වික්‍රමසිංහ -  චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව පැවැති කාලයේදී ද  ඇමෙරිකානු බලධාරීන් විසින් මෙම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතත්, එය ක්‍රියාවට නැංවීමට එකල අවස්ථාවක් උදා වී නැත. දෙදහස් හතේදී එම ගිවිසුමට අත්සන් තැබෙන්නේ ඉන් අනතුරුව ය.


ඒ කාලයේදී මෙවැනි ගිවිසුමකට එළැඹීමට බලපෑ ප්‍රධාන හේතුව එකල මෙරට පැවැති යුදමය වාතාවරණයයි. මෙය මූලික වශයෙන් ම ආරක්ෂක ගිවිසුමක් නොවුණත්, එකල පැවැති යුද වාතාවරණයට මෙමඟින් යම් සහනයක් අත්පත් කරගැනීමට හැකිවෙතැයි තිබූ විශ්වාසය මත එම ගිවිසුමට එළැඹුණ බවක් දක්නට ලැබෙයි.

විශේෂයෙන්ම බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියේදී මෙම ගිවිසුම ඉතා ප්‍රයෝජනවත් වූ බවට ද අප අතර මතයක් පවතී. එම ගිවිසුම වසර දහයකින් අවසන් වන බවට පැහැදිලිව දක්වා තිබිම හේතුවෙන් ඉකුත් දෙදහස් දහහතේදී එම ගිවිසුම අවලංගු විණි. එම ගිවිසුම නැවත අත්සන් කර ගැනීමේ අවශ්‍යතාවක් මතුවෙන්නේ ඒ අනුව ය.


මෙම ගිවිසුමෙන් රටට වන බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර, මූලික වශයෙන් මෙම ගිවිසුමේ ස්වභාවය අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ. සාමාන්‍යයෙන් රාජ්‍යයන් දෙකක් අතර අන්තර්ජාතික  වශයෙන්  ගිවිසුම්  අත්සන්  කර ගැනීමේ හැකියාව ලෝකයේ වර්තමාන ප්‍රවණතාව තුළ දැකිය හැකි කාරණාවකි. රටේ ආර්ථික ක්‍රියාවලියේදී මෙන් ම ආරක්ෂක කටයුතුවලදීත්, සිරකරුවන් හෝ වැරදිකරුවන් හුවමාරු කර ගැනීමේ කාර්යයන්හිදී වැනි කාර්යයන්වලදීත් රාජ්‍යයන් දෙකක් අතර මෙවැනි ගිවිසුම් ඇතිකර ගැනීමේ ප්‍රවණතාවක් වර්තමානයේදී දැකිය හැකියි.


එහෙත් මෙම  ගිවිසුම්  සම්බන්ධයෙන්  මතුවන ගැටලුව වෙන්නේ මෙවැනි ගිවිසුම් රටේ ආරක්ෂාවට, රටේ ස්වාධිපත්‍යයට,  බලපෑමක් නොවන ආකාරයෙන් අදාළ රාජ්‍යයන් මේවාට අත්සන් තබනවාද යන්නයි. ඒ නිසා බොහෝ අවස්ථාවලදී මෙවැනි ගිවිසුම් අත්සන් කරද්දී සුපරීක්ෂාකාරී  වන්නට  රාජ්‍යයන්  දෙකම වග බලා ගනී. විශේෂයෙන්ම මෙවැනි ගිවිසුමක් අත්සන්  කැබිනට්  මණ්ඩලයේ අනුමැතිය  මෙන්ම පාර්ලිමේන්තු අනුමැතිය ද ලබා ගැනීම දක්නට ලැබෙයි. එවිට රටේ ස්වාධිපත්‍යයට එමඟින් බලපෑමක් ඇතිවේද යන සැකය මතු නොවේ.


එමෙන් ම යම්  අවස්ථාවක  මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමේදී ඒ ගිවිසුමේ අන්තර්ගතය, කොන්දේසි, ආදිය හරහා ඒවා අත්සන් තබන රටවලට විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට එහි වන වාසි අවාසි පිළිබඳව සැළකිලිමත් විය යුතු වේ. ඇමෙරිකාව වැනි රාජ්‍යයක් සමග අත්සන් තබන මෙවැනි ද්විපාර්ශ්වික ගිවිසුම් ලංකාවට අලුත් අත්දැකීම් නොවේ. උදාහරණයක් ලෙස මීට කාලයකට පෙර ඇමෙරිකාව සමඟ ශ්‍රී ලංකාව අත්සන් තැබූ බුද්ධිමය දේපළ සම්බන්ධ ද්විපාර්ශ්වික ගිවිසුම පෙන්වා දිය හැකිය.

එහි අරමුණ වූයේ ඇමෙරිකාව වැනි රටක් නිෂ්පාදනය කරන විවිධ නිෂ්පාදනවල බුද්ධිමය දේපළ සොරකම් කරන අවස්ථාවලදී එවැනි දෑ සිදුවීම වළක්වාලීමය. එමගින් පැහැදිලි වෙන්නේ සංවර්ධිත දියුණු රාජ්‍යයක් සහ දියුණු වෙමින් පවතින අප වැනි රාජ්‍යයක් අතර එවැනි ගිවිසුමක් ඇති වූ විට එහි යම් යම් දුබලතාවන් පවතින බවයි. එනම්, මූලික වශයෙන් ම දුබල රාජ්‍යයට අත්වෙන වාසිවල සාපේක්ෂ වශයෙන් යම් අඩුවක් පැවතීමයි.

ඒ අනුව භාණ්ඩ හුවමාරුව වැනි කාරණාවක් ගතහොත් එහිදී වැඩි වාසියක් අත්වෙන්නේ දෙපාර්ශ්වයෙන් බලවත් පුද්ගලයාටයි. එමෙන් ම එම ගිවිසුමේ කොන්දේසිවලින් බලවත් රාජ්‍යයේ අවශ්‍යතාවන් ඉටු වෙනවා මිස දුබල රාජ්‍යයේ සාමාන්‍ය මිනිසාගේ අවශ්‍යතාවන් ඉෂ්ට වීමක්  බොහෝ විට දක්නට නොලැබෙයි.

එමනිසා මෙවැනි ගිවිසුම්වලදී එකසමාන බලයක් සහිත රාජ්‍යයන් අතර එම ගිවිසුම් ඇති කර ගැනීම වඩාත් ඵලදායක බව පවතින මතයයි. එසේ නොවන අවස්ථාවලදී අනිවාර්යයෙන් ම සිදුවෙන්නේ ඉහත කී ආකාරයෙන් බලයෙන් හීන රාජ්‍යයට වැඩි අවාසියක් සිදුවීමයි.


එබැවින් මෙම ගිවිසුම  මගින්ද ශ්‍රී ලංකාවට ඉහත කී ආකාරයෙන් වැඩි අවාසියක් සිදුවේද යන්න සොයා බැලිය යුතුවේ. මෙහිදී රජයේ පාර්ශ්වයෙන් මතු වෙන තර්කය වෙන්නේ මෙම ගිවිසුම ආරක්ෂක ගිවිසුමක් නොවන බවයි. එය බැලූ බැල්මට පැහැදිලි කාරණාවකි.

මන්ද යත් මෙම ගිවිසුම හමුදා කටයුතුවලට යොදා ගැණුනද, ආයුධසම්පන්න ක්‍රියාකාරිත්වයක් සහිත හමුදා ක්‍රියාදාමයන් සඳහා මෙම ගිවිසුම අදාළ නොවන බව එහි දක්වා ඇත. මෙම ගිවිසුම මූලික වශයෙන් අදාළ වෙන්නේ හමුදා සේවයට අයත් පුද්ගලයන්ගේ යටිතල පහසුකම් ඇතුළු අනෙකුත් සේවා සැපයීම, වැනි කටයුතු සඳහා ය.

සේවාවන් සැපයීම යන කාරණාව යටතේ එහි දැක්වෙන්නේ ආහාර, ජලය, ප්‍රවාහනය, ඇඳුම්පැලඳුම්, වෛද්‍ය පහසුකම්, සන්නිවේදන පහසුකම්, අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සඳහා පහසුකම්, වරාය පහසුකම්, පුහුණු කටයුතු සඳහා පහසුකම් ආදියේදී අදාළ රාජ්‍යයන් දෙකේ භූමිය, අහස, සහ වරාය යන ඒවා භාවිත කිරීමේ හැකියාව ගිවිසුමට අදාළ රාජ්‍යයන් දෙකටම ඇති බවයි.


එහෙත් මේ සම්බන්ධයෙන් ඇති පැහැදිලි විවේචනය වෙන්නේ මෙම කාරණාවලින් පැහැදිලි වශයෙන් ම  වැඩි  වාසිය ඇත්තේ  ශ්‍රී  ලංකාවට නොව ඇමෙරිකාවට  බවයි. මෙහිදී  පැහැදිලිව දැක්වෙන්නේ මෙම සේවාවන් මුදලට හෝ හුවමාරුවට ලබා ගත හැකි බවයි. එනම් ඇමෙරිකානු හමුදාවන්ට අප ලබා දෙන සේවාවන් සියල්ල මුදලට හෝ හුවමාරුවට දිය හැකි බවයි. එවිට එරට හමුදාවන් මෙහි පැමිණ පුහුණුවීම් කරන අවස්ථාවන්හිදී අපේ හමුදාවන්ට එරට පුහුණුවීම් ලබා ගැනීමේ හැකියාවක් ඇත.

ඔවුන් සිය ගුවන් යානා හෝ නෞකාවලට ඉන්ධන මෙරටින් ඉන්ධන ලබා ගැනීමේදී අපේ රටට ද එරටින් ඒවා ලබා ගැනීමේ හැකියාව ඇත. නමුත් ගැටලුව වෙන්නේ පුහුණුව යන කාරණාවේදී හැරුණු කොට අපට ඇමෙරිකාවෙන් හුවමාරුවට ලබා ගන්නට දෙයක් නැති වීමය. අනෙක් අතට අපේ රටේ හමුදාවන් විදේශයකදී දක්නට ලැබෙන්නේ සාමසාධක හමුදාවේ පමණි. එමෙන්ම වෙනත් රාජ්‍යයන්වල හෝ කලාපවල ගමන් කරන යුද නැව් අපට නැත.

ඒ නිසා එවැනි තත්ත්වයක් තුළදී මෙම ගිවිසුම හරහා හුවමාරුමය වශයෙන් ඇමෙරිකාවෙන් ලබා ගන්නට දෙයක් නොමැත. එහිදී සිදුවෙන්නේ ඇමෙරිකාව තමන්ට අවශ්‍ය පහසුකම් ඒකපාර්ශ්වීය වශයෙන් ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමක් පමණි. ඒ හැර අපට හුවමාරුමය වශයෙන් ඇමෙරිකාවෙන් ලබා ගැනීමට දෙයක් නැති වන්නට පුළුවන.
එමෙන් ම මෙම ගිවිසුමේදී වන තවත් කාරණාවක් වන්නේ ඇමෙරිකාව මෙම ගිවිසුම ඇති කරගෙන ඇත්තේ ශ්‍රී ලංකාව සමග පමණක් නොවේ.

තවත් රටවල් ගණනාවක් සමග ඔවුන් මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. එමඟින් ඔවුන් බලා‍පොරොත්තු වුණේ මුහුදු සීමාවන්වල සිටින ඔවුන්ගේ යුද නැව් සහ හමුදාවන් අඩු කර ගැනීමට විකල්පයක් ලෙස මෙවැනි ගිවිසුම් හරහා ඒ රාජ්‍යයන්ගෙන් මෙවැනි පහසුකම් ලබා ගැනීමයි. ශ්‍රී ලංකාව ද පසුගිය දෙදහස් හතේදී මෙම ගිවිසුමට අත්සන් තැබූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එමගින් ඔවුන් බලා‍පොරොත්තු වෙන්නේ යුදමය තත්ත්වයක් ඇති අවස්ථාවකදීත්, නැති අවස්ථාවකදීත්, තමන්ට අවශ්‍ය පහසුකම් එම රටවලින් ලබා ගැනීමයි.


ඊට අමතරව වර්තමානයේ දී ඇමෙරිකාව සිය විදේශ කටයුතුවලදී උපාය මාර්ගික වැදගත්කමක් ඇති රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සැලකිල්ලට ගෙන තිබිම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු ය. එනම් ආසියා පැසිෆික් මුහුදු කලාපය මර්මස්ථානයක් ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් ඔවුන්ට පැන නැඟී ඇත. චීනයේ බලපෑමට එරෙහිව නැඟි සිටීමේ උවමනාවක පසුවෙන් ඇමෙරිකාවට මෙවැනි ගිවිසුම් හරහා අපේ රටේ හම්බන්තොට වරාය කෙසේ වෙතත් අනෙක් වරායන් භාවිත කිරීමේ හැකියාව පවතී.

ඒ පැත්තෙන් බලන කල මෙම ගිවිසුම ආරක්ෂක කටයුතු පැත්තෙන් වන මූලික ගිවිසුමක් නොවන නමුත්, අනාගත ලෝකයේදී යුදමය වශයෙන් ආසියා පැසිෆික් කලාපයට මැදිහත් වීමේ අවශ්‍යතාවක් ඇමෙරිකාවට මතුවුවහොත්, මෙම ගිවිසුම උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව තමන්ගේ මධ්‍යස්ථානයක් බවට පත් කරගැනීමටත්, ඒ තුළින් තමන්ට අවශ්‍ය පහසුකම් මෙරටින් ලබා ගැනීමටත්, ඔවුන්ට හැකියාව තිබේ.


අනෙක් අතට දෙදහස් හතේ ගිවිසුමේ අවලංගු වෙන කාලසීමාවක් පැහැදිලිව දක්වා තිබුණ ද මෙම ගිවිසුමේ එවැනි කාලසීමාවක් දක්වා නොමැත. එමනිසා ඕනෑම කාලයක් සඳහා මෙම ගිවිසුම භාවිත කළ හැකි ද යන්න දැන් බොහෝ දෙනා නගන තර්කයයි. එහෙත් එහි සඳහන් වන වගන්ති අනුව, මෙම ගිවිසුම ඕනෑම අවස්ථාවකදී දෙපාර්ශ්වයේ අනේ‍යාන්‍ය අනුමැතිය ඇතිව අවසන් කර ගැනීමේ හැකියාවක් ඇත.

එහෙත් ඒ සඳහා එක් පාර්ශ්වයක් පමණක් අනුමැතිය දීමෙන් ඵලක් නොවේ. එහෙත් එක් පාර්ශ්වයකට පමණක් මෙම ගිවිසුම අවලංගු කර ගැනීමට අවශ්‍ය අවස්ථාවකදී දින එකසිය අසූවකට පෙර අනෙක් පාර්ශ්වයට ඒ සම්බන්ධයෙන් කරන ලිඛිත දැනුම් දීමක් තුළින් එම ගිවිසුමෙන් ඉවත් වීමට අදාළ පාර්ශ්වයට අවස්ථාව ලබා දී තිබේ.


එමනිසා මෙවැනි ගිවිසුම් රාජ්‍යයන් අතර පවත්වා ගැනීමේදී වාසි මෙන් ම ඉහත කී ආකාරයේ අවාසි ද පවතින බව පැහැදිලි ය. එමනිසා මෙවැනි ගිවිසුම්වලට එළැඹීමට පෙර ඒවා පිළිබඳව හොඳින් අධ්‍යයනය කිරීම වැදගත්ය.

 ගයාත්‍රි ගීගනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.