lakbima.lk

අයිසිස් මදිවාට අල්ඛයිඩාවත් යළිත් හිස ඔසවයි

ඉස්ලාමීය අන්තවාදය සහ මූලධර්මවාදය පිළිබඳ කරන සාකච්ඡුාවේ දී පසුගිය දශකයේ දී වැඩි වශයෙන් සාකච්ඡුාවට බඳුන් වූ සංවිධානයක් වූයේ අල්ඛයිඩා සංවිධානයයි. එහි නායකත්වය දැරූ ඔසාමා බින්ලාඩන්ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත්තේය. එහෙත් පසුගිය වසර කිහිපය තුළදී අයිසිස් සංවිධානය කරළියට පැමිණීමත් සමග අල්ඛයිඩා සංවිධානය පිළිබඳ කතිකාව අඩු වූ අතර ඊට කුමක් වී දැයි බොහෝ දෙනෙක් විමසන්නට වූහ.

අල්ඛයිඩා නායකයා වූ ඔසාමා බින්ලාඩන් ඇමෙරිකා හමුදා විසින් ඝාතනය කොට මේ වන විට වසර 8ක් සම්පූර්ණ වී තිබේ. ඒ පාකිස්තානයේ අබ්බෝට්ටාබාද්හි දීය. එය එතෙක් මෙතෙක් ලෝකයේ තිබූ වඩාත් කෲරතර ම ජිහාඞ් සංවිධානයක් වශයෙන් සලකනු ලැබේ.

අයිසිස් සංවිධානයේ වර්ධනය සමග එය බොහෝ මාධ්‍ය ආයතනවල කතා බහට ලක් වුව ද අල්ඛයිඩා සංවිධානය මෙතෙක් මිය ගොස් නැත. ත‍්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයන්ගේ අදහස නම් අල්ඛයිඩා සංවිධානය මේ වන විට නිහඬව සිය ශක්තිය වර්ධනය කර ගැනීමේ උත්සාහයක නිරත වී සිටින බවයි. විශේෂයෙන් තවත් ත‍්‍රස්ත කණ්ඩායම් සමග සම්මුතීන් ඇති කර ගැනීම අල්ඛයිඩා සංවිධානයේ මූලික ඉලක්කයක් වී තිබේ.

අල්ඛයිඩා සංවිධානය අප‍්‍රිකාව, මැද‍පෙරදිග සහ දකුණු ආසියාවේ සිය ශක්තිය වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ එම කලාපවල ක‍්‍රියාත්මක ප‍්‍රාදේශීය ත‍්‍රස්ත කණ්ඩායම් සමග එකඟතාවලට පැමිණීමෙනි. අල්ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු ඔවුන්ගේ උපාය මාර්ගික වැඩපිළිවෙළ ද වෙනස් වී තිබේ.

ජීහාද් සඳහා පොදු උපදෙස් මාලාවක්  මැයෙන්  ලේඛනයක් ද අල්ඛයිඩා සංවිධානය එළි දක්වා තිබේ. එහි දී ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ ප‍්‍රාදේශීය වශයෙන් ක‍්‍රියාත්මක ත‍්‍රස්ත සංවිධාන ඔස්සේ එම කලාපවල ජනතාවගේ විශ්වාසය තමන් වෙත නතු කර ගැනීමයි.

පොදු ජනතාවගේ වෛරයට පාත‍්‍රවන කිසිවකුත් නොකරන මෙන් මෙම උපදෙස් මාලාව මගින් ජිහාඞ් සාමාජිකයන් වෙත දැනුම් දී තිබේ. ප‍්‍රාදේශීය ජනතාවගේ විමුක්තිදායකයා වීමේ භූමිකාව හිමි කර ගැනීම  සංවිධානයේ මීළඟ අරමුණ වී තිබේ. ඒ සඳහා අල්ඛයිඩා සංවිධානය රහසින් හා නිහඬ ව සංවිධානය වෙමින් පවතී.

අල්ඛයිඩා සංවිධානයේ මෙම උපාය මාර්ගික වැඩපිළිවෙළ එක අතකින් අයිසිස් සටන්කාමීන්ට විරුද්ධ ව ගොඩනැගූ වැඩපිළිවෙළක් වශයෙන්ද පෙන්වා දීමට පුළුවන. අයිසිස් සටන්කාමීන්ගේ ඇති කෲරතර බව වෙනුවට අල්ඛයිඩා යනු විමුක්ති සටන් ව්‍යාපාරයක් බව පෙන්වීම නව සැලැස්ම වී ඇති බව ත‍්‍රස්ත විශේෂඥයන්ගේ අදහසයි.

ත‍්‍රස්ත විශේෂඥයන්ගේ අදහස අනුව මෙම උපායමාර්ගික වැඩපිළිවෙළ බොහෝ දුරට සාර්ථක කර ගැනීමට අල්ඛයිඩා සංවිධානයට හැකි වී තිබේ. එම වැඩපිළිවෙළ ඔස්සේ අල්ඛයිඩා සංවිධානය 2018 වසරේ දී ප‍්‍රහාර 316ක් ක‍්‍රියාත්මක කර ඇත.

මේ සඳහා ප‍්‍රාදේශීය වශයෙන් ක‍්‍රියාත්මක ත‍්‍රස්ත සංවිධාන ගණනාවක සහය ලැබී ඇත.
අල්ඛයිඩා සංවිධානය සතු ප‍්‍රධානතම ශාඛා වශයෙන් සැලකිය හැක්කේ ඇල්ජීරියාව පාදක කර ගත්
ඒ. කිව්. අයි. එම්. සංවිධානය, අරාබි අර්ධද්වීපය පාදක කර ගත් අල්ඛයිඩා සංවිධානය, ඉන්දියානු උප මහද්වීපය තුළ ක‍්‍රියාත්මක ඒ.කිව්.අයි.එස්. සංවිධානය, මාලි සහ බටහිර අප‍්‍රිකාවේ  ක‍්‍රියාත්මක ජමාත් නුස්රත් අල් ඉස්ලාම් වල් මුස්ලිමින් සංවිධානය සහ අල් ෂබාබ් සංවිධානය ආදියයි.

අල්ඛයිඩා සංවිධානය වර්තමානයේ මෙහෙයවනු ලබන්නේ අයිමාන් අල්-සවාහිරි විසිනි. ඒ අතර ඔසාමා බින් ලාඩන්ගේ පුත‍්‍රයෙකු ද අල්ඛයිඩා සංවිධානයේ අනාගත නායකත්වය සඳහා සූදානම් වෙමින් සිටී.

ඒ හම්සා බින්ලාඩන්ය. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් හම්සා බින් ලාඩන් මේ වන විටත් ගෝලීය ත‍්‍රස්තවාදියකු ලෙස නම් කර ඇති අතර ඔහු සිටින තැනක් පිළිබඳ නිශ්චිත තොරතුරක් ලබා දෙන  ඕනෑම අයෙකුට ඇමෙරිකා ඩොලර් මිලියනයක තෑග්ගක් ලබා දීමට ද පොරොන්දු වී ඇත.

හම්සා බින් ලාඩන් තවමත් තිස්හැවිරිදි වියේ පසු වන අතර අන්තර්ජාලය ඔස්සේ වරින් වර වීඩියෝ සහ හඬ පට එළි දක්වයි. ඔහුගේ හඬපටවලින් නිතර අල්ඛයිඩා අනුගාමිකයන් වෙතින් ඉල්ලා සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයට සහ බටහිර රටවලට එරෙහිව ප‍්‍රහාර එල්ල කරන ලෙසයි.

පසුගිය වසරේ මාර්තු මාසයේ දී නිකුත් කළ හඩ පටයක් මගින් ඔහු සෞදි ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞදි රජ පවුලට හා රජයට එරෙහිව ජිහාද් යුද්ධයක් ආරම්භ කිරීම සඳහා පෙළ ගැසෙන ලෙසයි.

2001 වසරේ සැප්තැම්බර් මස 11 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන වෙත අල්ඛයිඩා සංවිධානය ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසු ලෝක දේශපාලනය සම්පූර්ණයෙන් උඩු යටිකුරු විය. එය ඇතැම් විට දෙවැනි ලෝක යුද්ධයට පමණක් දෙවැනි වන ප‍්‍රපංචයක් ලෙස හඳුනාගැනීමට පුළුවන.

ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයට වශයෙන් ක‍්‍රියාත්මක වූයේ එයයි. එදා බුෂ් පාලනය ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානයටත් පසුව ඉරාකයටත් පහර දීම සඳහා මෙම වැඩපිළිවෙළ භාවිත කළේය. රටවල අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් වීමේ අලූ‍ත් ක‍්‍රමවේදයක් නිර්මාණය විය.

අල්ඛයිඩා සංවිධානය මුලිනුපුටා දැමීමේ අරමුණ ඇති ව බුෂ් පාලනය ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය ආරම්භ කළ ද අද වන විට අල්ඛයිඩා සංවිධානය අවසන් වී නැති අතර තව තවත් විවිධ වූ ඉස්ලාමීය ජිහාද්වාදී සටන්කාමී සංවිධාන විශාල සංඛ්‍යාවක් නිර්මාණය වී තිබේ. 

කොලින් පී. ක්ලාක් නම් දේශපාලන විද්‍යාඥයා පෙන්වා දෙන පරිදි 2001 වසරේ දී ඇමෙරිකාව ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය ආරම්භ කරන විට සිටි ජිහාද්වාදී සටන්කරුවන්ගේ සංඛ්‍යාව මේ වන විට සිව් ගුණයකින් ඉහළ ගොස් තිබේ. මේ වන විට ලෝකයේ රටවල් 70ක ජිහාද්වාදී සටන්කරුවන් දෙලක්ෂ තිස් දහසක් සිටින බව විශ්වාස කෙරේ. වැඩිම සටන්කරුවන් පිරිසක් සිටින්නේ සිරියාව, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය යන රටවලයි.

දර්ශන අශෝක කුමාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.