lakbima.lk

විලාසිතා කරන තරුණියන් විදියට ඔබ විලාසිතා ගැන දැනගත යුතු බොහෝ දේ තිබෙනවා. ඒ වගේම ඔබ විලාසිතා කරද්දී දැන හෝ නොදැන කරන වැරදිත් ගොඩක් තිබෙනවා. මේ කියන්න යන්නෙ ඔබ විලාසිතාවලදි කරන වැරදි කීපයක් ගැනයි.
 
වර්ණ ගැලපීම
 
අපි හැමෝම කැමතියි එකිනෙකට ගැලපෙන ඇඳුම් අඳින්න. ඒ කියන්නෙ මැච් වෙන්න අඳින්න කැමතියි. නමුත් මැච් වෙන්න අඳිනවා කියලා කියන්නේ පාට විතරක් ගලපලා ඇඳුම් තෝරා ගන්න එක නෙවෙයි. අපි උදාහරණයක් විදියට මෙහෙම හිතමු. කහ පාට ඉරි බ්ලවුස් එකක් තියෙනවා. ඒකට මැච් වෙන්න අපි කහ පාට සායක් තෝරා ගන්නවා.
එතකොට පාටට අනුව නම් බ්ලවුස් එකයි සායයි ගැලපෙනවා. නමුත් මෙහෙම හිතන්න. අපි තෝරා ගන්නා සාය කහ පාට  මල් තියෙන සායක්. 
එතකොට බ්ලවුස් එක කහ පාට ඉරි. සාය කහ පාට මල්. ඔබට හිතෙයි ඉරි සහ මල් වුණාට මොකද පාට ගැලපෙනවා නම් කියලා. නමුත් මෙතනදි පාට ගැන විතරක් හිතලා හරි යන්නෙ නැහැ. අනිවාර්යයෙන්ම මෝස්තරය ගැනත් හිතන්න  ඕනෙ. එක්කො ඔබ සාය තෝරා ගන්න  ඕනෙ කහ පාට ඉරිවලින්මයි. නැත්නම් තනි කහ පාට තෝරා ගන්න  ඕනෙ. නැත්නම් ඒ දෙක ඇන්දාම කිසිම ගැලපීමක් නැති ඇඳුමක් විදියට පෙනෙන්න ගනීවි.
 
ආභරණ ගැලපීම
 
ඇඳුම් වගේම අපි ආභරණ පළඳින්නෙත් හොඳින් ගැළපෙන විදියටයි. රත්තරන් මාලයක් පළඳිනවා නම් වළලූ, මුදු, කරාබු ආදී සියල්ලම රත්තරන් පැහැයෙන් තෝරා ගන්නවා. ඒ වගේම රිදී ආභරණ පළඳිනවා නම් සියලූම දේ රිදී පැහැයෙන්ම තෝරා ගන්නවා. නමුත් ඔබ කවදා හෝ දවසක රත්තරන් සහ රිදී පැහැයන් මිශ‍්‍ර කරලා පළඳලා තිබෙනවාද? අපි හිතන්නෙ ආභරණ පළඳින්න  ඕනෙ එකම පැහැයෙන් කියලයි. නමුත් ඒක වැරදි අදහසක්. ඔබ දවසක රන් පැහැයෙන්, රිදී පැහැයෙන් හෝ ලෝකඩ දුඹුරු පැහැයෙන් ඇති ආභරණ කීපයක් පැළඳ බලන්න. ඒවා ඉතාම හොඳින් එකිනෙක ගැළපෙන බව ඔබටම දකින්න ලැබේවි.
 
ඇඳුම් ගැලපීම
 
ඔබ වර්ණවත් ටී ෂර්ට් එකක් අඳින්න තෝරා ගන්නේ සායක් ද නැත්නම් ජීන්ස් එකක් ද? ජීන්ස් අඳින්න වැඩිපුර කැමති නැති ගැහැණු ළමයි වර්ණවත් ටී ෂර්ට්වලට සාය අඳින අවස්ථා තිබෙනවා. නමුත් කවදාවත්ම කැෂුවල් ටී ෂර්ට්වලට සාය අඳින්න එපා. කැෂුවල් ටී ෂර්ට්වලට ජීන්ස් ඇන්දම පිළිවෙලක් තියෙන බවක් පෙනෙනවා. නමුත් සාය ඇන්දාම ඒ පිළිවෙල බව ඔබ වෙතින් දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා සායක් අඳිනවා නම් ටී ෂර්ට් එකක් වෙනුවට නෝමල් බ්ලවුස් එකක් අඳින්න.
 
සපත්තු ගැලපීම
 
ඩෙනිම් ජීන්ස් ඇඳලා උස අඩි තියෙන සපත්තු දැමීම ගැන ඔබ මීට කලින් කල්පනා කරලා තියෙනවද? ඔබ සාමාන්‍ය මට්ටමට වඩා මිටි තරුණියක් නම් අනිවාර්යයෙන්ම ඔබත් ඩෙනිම් ජීන්ස් ඇඳලා උස අඩි තියෙන සපත්තු පළඳිනවා ඇති. නමුත් ඔබ දන්නවද උස අඩි තියෙන සපත්තු ගැළපෙන්නෙ ගවුම් හෝ සායවලට විතරයි. ඩෙනිම් ජීන්ස් කියන්නෙ කැෂුවල් ඇඳුමක් විදියට පිළිගන්නා එකක්. නමුත් අඩි උස සපත්තු කැෂුවල් වෙයාර් එකක් නෙවෙයි. ඒ නිසා කවදාවත් ඩෙනිම් හෝ ජීන්ස්වලට අඩි උසට තිබෙන සපත්තු පළඳින්න එපා. ඔබ මිටි කෙනෙක් නම්, ඩෙනිම් ජීන්ස් එකක් ඇඳලා අඩි උස සපත්තු පළඳිනවා වෙනුවට ඔබට පුළුවන් සම්පූර්ණ අඩියම උසට තිබෙන ආකාරයට නිර්මාණය කරලා තියෙන ඩෙක් වර්ගයේ සපත්තු පළඳින්න. ඩෙක් වර්ගයේ සපත්තු ඩෙනිම් ජීන්ස්වලට ඉතාම හොඳින් ගැළපෙනවා.
 
අනිකුත් පැළඳුම් ගැලපීම
 
ඔබ කැෂුවල් ඇඳුම් ඇඳලා ගෝල්ඞ් හෝ සිල්වර් බෙල්ට් තියෙන අත් ඔර්ලෝසු පළඳින කෙනෙක් වෙන්න ඇති. එහෙනම් අද සිට එය කරන්න එපා. කලින් කිව්වා වගේ ගෝල්ඞ්, සිල්වර් අත් ඔර්ලෝසු කියන්නෙ කැෂුවල් වෙයාර් එකක් නෙවෙයි.
ඒ නිසා කැෂුවල් ඇඳුම්වලට ඒ වගේ අත් ඔර්ලෝසු ගැළපෙන්නෙ නැහැ. ඒ වෙනුවට ඔබට පුළුවන් ස්පෝර්ට්ස් වර්ගයේ කාන්තා අත් ඔර්ලෝසුවක් පළඳින්න. ස්පෝර්ට්ස් වර්ගයේ අත් ඔර්ලෝසු කියලා කියන්නේ ප‍්‍රමාණයෙන් විශාල මුහුණතක් සහිත, සම් හෝ ප්ලාස්ටික් පටි ඇති ඔර්ලෝසුවලට. ඒ ඉතින් අදින් පස්සෙ නොගැළපෙන ඇඳුම් සහ පැළඳුම් පාවිච්චි කරන්න කලින් මේ කරුණු ගැනත් ටිකක් හිතලා බලන්න.
 
 ප‍්‍රතිභා රත්නසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.