lakbima.lk

වියපත් බව සඟවන ඇඳුම්


මැදිවිය ඉක්මවා යෑමත් සමග වියපත් ලක්ෂණ ඉස්මතු වීම නොවැළැක්විය හැකිය. එහෙත් ඒ වියපත් ලකුණු වඩා වැඩිපුර පෙන්වන්නට ඇය අඳින පළඳින ආකාරයද හේතුවන අවස්ථා තිබේ. වියපත් ලක්ෂණ සැඟවෙන ආකාරයට ඇඳුම් තෝරා ගන්නට ඉඟි කීපයකි වේ.

ලා පැහැ ඇඳුම් අදින්න
තරුණ වියේදී කළු පැහැයට කැමැති අයෙකු වියපත් වූ පසුවද කළු පැහැය වැඩිපුර ඇති ඇඳුම් තෝරා ගන්නවා නම් එය ඇගේ වියපත් බව වඩා වැඩිකර පෙන්වන්නට හේතු වන්නකි. ඒ සමේ අඩුපාඩු රැළි වැටීම් ඉස්මතු වී පෙන්වන්නට කළුපැහැ ඇඳුම් හේතු වන නිසාය. එහෙත් ලා පැහැති ඇඳුම්  එසේ නොවේ.  ලා පැහැය මුහුණට එළියක් එකතු කළද මැදිවිය ඉක්මවීමේදී  ගෙල, මුහුණ අත්බාහු ආදී ප්‍රදේශවල කැපී පෙනන රැළි ස්වභාවයත් සඟවාලන්නට ලා පැහැති ඇඳුම් හේතු වේ.

තනි පාට ඇඳුම් තෝරා ගන්න
 මල් මෝස්තර සහිත ඇඳුම්  තරුණියන්ට ගැළපුනද මැදිවිය ඉක්මවුවන්ට සුදුසු වන්නේ නැත. මල් මෝස්තර විවිධ තද  වර්ණ රටා මැදිවිය ඉක්ම වූ කාන්තාවකගේ වියපත් ලක්ෂණ වැඩි කර පෙන්වන්නට හේතුවේ. ඒ නිසා සෑමවිටම තනි පැහැති ඇඳුම් තෝරා ගත හැකි නම් වියපත් බව සඟවා ගන්නට එවිට ඔබට යම් පමණකට හැකිවනු ඇත.

 වඩා දිග සාය විලාසිතා තෝරා නොගන්න
 විලුඹ තෙක් දික් වූ සාය මෙන්ම දණහිසට වඩා කෙටි වූ සාය විලාසිතාවන්ද මැදිවියේ කාන්තාවකගේ වියපත් බව වැඩි කර පෙන්වන්නට හේතුවේ. එය අඳින්නට ප්‍රිය කරන මැදිවිය කාන්තාවන් සැමවිටම තෝරා ගත යුතු වන්නේ දණහිස තෙක් දිග් වූ සාය විලාසිතාවකි. එම විලාසිතාව ඇගේ වියපත් බව සඟවා ලන්නට හේතුවේ.


ගෙල විවෘත ඇඳුම් තෝරාගන්න
 මැදිවිය ඉක්මවීමඨත් සමග ගෙල ප්‍රදේශ වැඩිපුර ආවරණය වන ආකාරයේ ඇඳුම් අඳින්නටත් ගෙල වටා ස්කාෆ් ඔතා ගනිමින් ගෙල ප්‍රදේශයේ රැළි වසාගන්නටත් මැදිවියේ කාන්තාවෝ  බොහෝ විට උත්සාහ දරති.  එහෙත් ඉන් සිදුවන්නේ ඇගේ වියපත් බව වඩා වැඩිපුර දිස්වීමය. මැදිවිය ඉක්ම වූ කාන්තාවක් ගෙල වැඩිපුර නිරාවරණය වන ආකාරයේ ඇඳුම් අඳිනවිටදී ඇගේ වියපත් බව ඉන් සැඟවී යයි.

සිරුරේ ප්‍රමාණයට ඇඳුම් අඳින්න
 වියපත් වීමත් සමග උදරයේ අත්ගොබ ආදී ප්‍රදේශ වැඩිපුර මහත් වීම නිසා එවැනි තැන් සඟවාලීමේ අදහසින් බොහෝ කාන්තාවන් කබා වැනි විශාල ඇඳුම් අඳින අවස්ථා තිබේ. එහෙත් ඉන් සිදුවන්නේ ඇගේ වියපත් පෙනුම තව තවත් වැඩිකර පෙන්වීමය. ශරීර ස්වභාවය කවර ආකාර වුවත් ඇයට සුදුසු වන්නේ ඇගේ හැඩයට සරිලන ඇඳුමකි.

උත්පලා සුභාෂිනි ජයසේක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.