lakbima.lk

අද මම බතික්වලින් මංගල සාරි පවා නිර්මාණය කරනවා

ඔහු උපත ලැබුවේ යස ඉසුරින් පිරි පවුලක නොවේ. එදාවේල සරිකර ගැනීමට දහදුක් විඳින සිය දෙමව්පියන්ට සවියක් වීම සඳහා ඔහු ජීවන අරගලයට පිවිසෙන්නේ හිරිමල් වයසේදීමය. ඒ අතරතුර අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව බතික් කලාව ප්‍රගුණ කළ මෙම තරුණයා අද බතික් කලාවෙන් සිය නාමය ජාත්‍යන්තරය වෙතද රැගෙන ගිය බතික් නිර්මාණ ශිල්පියෙකි. මේ රත්නවිමල් අලුත්ගේ නම් වන ඔහු සමග කළ කතා බහකි.

ඔබේ ගමනේ ආරම්භය කොතැනද?

මගේ දෙමව්පියන් මුදල් හදල් තිබුණු අය ‍නෙවෙයි. මගේ අම්මා වත්තක රබර් කිරි කැපුවා. තාත්තාට හරිහමන් රැකියාවක් තිබුණේ නැහැ. අපේ බඩවල් පුරවන්නේ කොහොමද කියන කාරණය මිසක් ඊට එහා දෙයක් අපේ අනාගතය ගැන හිතන්න අපේ දෙමව්පියන්ට හැකියාවක් තිබුණේ නැහැ. ඕ ලෙවල් කරපු ගමන්ම වගේ තමයි මට හිතුනේ මුදල් හම්බකර ගන්න මම යමක් කරන්න ඕනෑ කියලා.

ඊට පස්සේ මම ඇඟළුම් කම්හලක රැකියාවට ගියා. මුදල් හදල් වගේම ඇඟලුම් ක්ෂේත්‍රය ගැන හොඳ දැනුමකුත් ලබා ගැනීමයි  මගේ අරමුණ වුණේ. මොකද කවදාහරි මගේම ව්‍යාපාරයකින් ඉදිරියට යන්න හීනයක් ඒ වෙද්දි මට තිබුණා. ගාමන්ට් එකක රැකියාවෙන් මම විවිධ ඇඳුම් පැලඳුම් මහන්න ඉගෙන ගත්තා.

එකම ගාමන්ට් එකක වැඩකළොත් එක තැනකට විතරක් කොටුවෙන නිසා විටින්විට මම ගාමන්ට් හයක රැකියාවට ගියා. එයින් මම මැෂින් වර්ග හයකින් ඇඳුම් මැසීමේ දැනුම ලබාගත්තා. එහෙම තමයි මම මේ ගමනට අඩිතාලම දමා ගත්තේ.

කොහොමද බතික් කලාව ප්‍රගුණ කළේ ?


මට ‍පොඩි කා‍ලේ ඉඳන්ම චිත්‍ර ඇදීමේ හැකියාව තිබුණා. මගේ සහෝදරියක් තමයි මුලින්ම බතික් වැඩ ඉගෙන ගන්න පන්තියකට ගියේ. ඒ කා‍ලේ පිරිමි ළමයි වැඩිය ඒ ක්ෂේත්‍රයට යොමු වුණේ නැහැ. හැබයි මමත් බතික් නිර්මාණ කරන්න දැනුම ලබාගන්න ඕනෑ කියල හිතුනු නිසාම මමත් ඒ ගුරිවරියගෙන් බතික් වැඩ ඉගෙන ගත්තා. මට උනන්දුව සහ ඕනෑකම තිබුණෙ මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යන්නයි.

නමුත් පසුකාලීනව මට ඊට අත දෙන්න කෙනෙක් හිටියේ නැහැ. මොකද බතික් ශිල්පය ගැන දැනුම කියන්නේ බොහෝ දෙනා පරපුරෙන් පරපුරට ලබාදුන් එකක්. නමුත් මම වෙනත් ව්‍යාපාරිකයන්ගේ බතික් නිර්මාණ දිහා බලලා තනියම ඒ ශිල්පය ඉගෙන ගත්තා. මොකද ඒ වෙද්දි මට හීනයක් තිබණා ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ඉදිරියටම යන්න. ඔය අතරේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට සම්බන්ධවෙලා මම ඉතාම හොඳ දැනුමක් ලබා ගත්තා.

ඊට පස්සෙ ?


2006 අවුරුද්දේ මම තනිවම මගේ ව්‍යාපාරය ආරම්භ කළා. කාටවත් පඩි ගෙවන්න හැකියාවක් ඒ වෙද්දී මට තිබුණේ නැහැ. ඒ හින්දා අවුරුදු හයක්ම මම තනියෙන්ම බතික් නිර්මාණ කටයුතු කරගෙන ගියා. පසුව මම ටික ටික සේවකයන් බඳවාගෙන ව්‍යාපාර කටයුතු පුළුල් කළා. මේ වන විට විසි දෙනෙකුගෙන් යුත් සේවක මඬුල්ලක් මා සමග ඉන්නවා. අද රත්න බතික් කියන නම මුළු රටේම ප්‍රසිද්ධයි. මේ වෙද්දි ඒ සඳහා විශාල ඉල්ලුමක් තිබෙනවා. විදෙස් රටවලට පවා මගේ බතික් නිර්මාණ අපනයනය කරනවා.

ව්‍යවසායකයෙක් විදිහට ඔබ සම්මානයටද පාත්‍ර වී තිබෙනවා නේද?


ඔව්. මුලින්ම මම 2010 වසරේදි ජාතික ශිල්ප සභාව සංවිධානය කළ තරගයකට සහභාගිවෙලා බස්නාහිර පළාතේ දෙවැනි ස්ථානය දිනාගත්තා. ඒ ඇගැයුම මගේ ගමනට විශාල ශක්තියක් වුණා. ඉන්පසුව 2015 දී කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සංවිධානය කළ ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයා තෝරාගැනීමේ තරගයෙන් දෙවැනි ස්ථානය, ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන සියයක් පමණ මේ වන විට දිනාගෙන තිබෙනවා.

මේ විදිහට සම්මානයට පාත්‍ර වෙන්න ඔබේ බතික් නිර්මාණවල විශේෂත්වය මොකක්ද?


මම පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ සාමාන්‍ය බතික් නිර්මාණවලින් ඔබ්බට ගිය නවීන පන්නයේ බතික් නිර්මාණයි. විශේෂ අමුද්‍රව්‍ය තමයි ඒවා සඳහා භාවිතා කරන්නේ. ඒ හැම දෙයක්ම අතින් කරන නිර්මාණ. බතික් සාරි ඇතුළු බොහෝ දෑ මගේ මේ බතික් නිර්මාණ අතරට ඇතුළත් වෙනවා. මේවා වර්ණ ගැන්වීම සඳහා කිසිවිටෙකවත් ශරීරයට අහිතකර ඩයි වර්ග භාවිතා කරන්නේ නැහැ. ගස්වල ‍පොතු, මල් ආදී ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන මගේ කර්මාන්ත ශාලාවේම තමයි මේ ඩයි වර්ග නිෂ්පාදනය කරගන්නේ.

මේ විශේෂත්වයත් එක්ක ඔබේ නිෂ්පාදනවලට වෙළෙඳ‍පොළක් නිර්මාණය කර ගත්තේ කොහොමද?

මේ බතික් නිර්මාණ විශේෂ වන නිසාම ඒවා මිලෙනුත් ටිකක් වැඩියි. මම ව්‍යාපාරය පටන් ගත්තු මුල් කාලයේත් බොහෝ දෙනා කියපු දෙයක් තමයි මගේ නිෂ්පාදන ගණන් වැඩියි කියන එක. නමුත් මම එයින් අධෛර්යමත් වුණේ නැහැ. මගේ බතික් නිර්මාණවලින් හැඩවෙන සාරි ලංකාවේ හැම කාන්තාවම අඳින්න ඕනෑ කියලා මම බලා‍පොරොත්තු වෙන්නෙත් නැහැ. මම හිතන්නේ ඒ විදිහට හිතපු එකම වෙන්න ඇති මගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයටත් හේතු වුණේ. මට අවශ්‍ය ප්‍රමිතියෙන් උසස්, අලංකාර නිර්මාණ පාරිභෝගිකයන්ට ලබාදෙන්නයි.

ඔබ බතික් සාරි නිර්මාණය කරන්නෙ විශේෂිත රෙදි වර්ගවලින්ද?


සේද රෙදිවලින් මං බතික්සාරි නිර්මාණය කරනවා. ඒවා මිල අධිකයි. මේ හැරුණු විට සාමාන්‍ය කපු රෙද්දෙනුත් සාරි නිර්මාණය කරනවා. ඒවා නම් සාමාන්‍ය මිලකට නියම වෙනවා. මම එක ඩිසයින් එකකින් නිෂ්පාදනය කරන්නෙ එකම සාරියක් පමණයි. ඒක මගේ විශේෂත්වය. ඒ නිසා අපේ බතික් සාරියක් හෝ වෙනත් බතික් ඇඳුමක් මිලදී ගත් කෙනෙකුට එය එයාටම අනන්‍ය වූ එකක් ලෙස භාවිතා කිරීමට හැකි වෙනවා. මේ වගේ සුවිශේෂතා නිසාත් අතින්ම බතික් නිර්මාණ කිරීම නිසාත් මගේ නිර්මාණවලට මට ඉහළ මිලක් අය කරන්න සිදු වෙනවා. මම බතික්වලින් මංගල සාරි පවා නිර්මාණය කරනවා.

සාරි සහ අනිකුත් කාන්තා හා පිරිමි ඇඳුම් හැරුණු විට ඔබ කරන වෙනත් බතික් නිර්මාණ මොනවද?


විවිධ සොෆ්ට් ටෝයිස්, බතික් ජුවලරි, ටේබල් රනර්, ටේබල් ක්ලෝත්, කුෂන් කවර, බෙඩ් රනර්, සංචාරක හෝටල් සදහා විවිධ නිර්මාණ ආදි වශයෙන් බොහෝ නිෂ්පාදන රාශියක් අපේ අතින් නිම වෙනවා.


ව්‍යාපාර කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද?


මම විවාහ වුණේ ගිය අවුරුද්දේ. මගේ බිරිඳත් මම වගේම තමන්ගේ දක්ෂතාවලින් ඉදිරියට ආපු කෙනෙක්. හෑන්ඩ් පේන්ටින්වලට තමයි ඇය වඩාත් දක්ෂතා දක්වන්නේ. එක්තරා තරගයකට සහභාගි වූ අවස්ථාවකදි තමයි අපි දෙදෙනා මුලින්ම මුණගැහුණේ එදා ඇය තරග වැදුණ අංශයෙන් ඇයට ප්‍රථම ස්ථානයත් මගේ අංශයෙන් මට ප්‍රථම ස්ථානයක් හිමිවුණා. අද අපි දෙදෙනාම එකතුවෙලා අපේ ව්‍යාපාරය දියුණු කරන්න මහන්සි වෙලා වැඩ කරනවා.


අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙකු වෙනුවෙන් ඔබට දෙන්න පුළුවන් උපදෙස් මොනවාද?


අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන ඕනෑම කෙනෙකුට හොඳ ආත්ම ශක්තියක් තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ව්‍යාපාර කරගෙන යද්දි ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා. ඒවා හමුවේ නොසැලී තනි තීරණ ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ණය වෙලා ව්‍යාපාර කරන එක හොඳ පුරුද්දක් ‍නෙවෙයි. ඒක මම තදින්ම විශ්වාස කරන දෙයක්. මේ වනතුරු කවදාවත් මම බැංකුවකින්වත් ණයක් අරගෙන නැහැ. ව්‍යාපාරයක් කරද්දි පුරුදු පුහුණු කරගන්න ඕනෑ වැදගත්ම ගුණාංගයක් තමයි නිර්මාණශීලී වීම. හැමදාම කාගේවත් දිහා බලාගෙන ව්‍යාපාර කළොත් කවදාවත් දුර ගමනක් යන්න බෑ.


කිශාන් කනංකෙ
ප්‍රවීණ බතික් නිර්මාණ ශිල්පී රත්න විමල් අලුත්ගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.