lakbima.lk

පලතුරු ලෝකයේ රජුන් ලෙස සැලකෙන දුරියන් ඉන්දුනීසියාව, මැලේසියාව වැනි අග්නිදිග ආසියාතික රටවල් තුළ ප‍්‍රකට පලතුරකි. දුරියන් යන වචනයේ තේරුම වන්නේද කටු සහිත බව යන්නයි. මැලේසියානු හා ඉන්දුනීසියානු භාෂාවල දුරී යන වචනයෙන් මෙම නම සෑදී ඇත. උද්භිද විද්‍යාත්මක නාමයෙන් Durio zibethinus යන නමින් හඳුන්වන දුරියන්වල කුලය වන්නේ bombacaceae  ය.  මෙම පලතුර දුරියන් යන නම භාවිත වී ඇත්තේ 16 වන සියවසේ පමණ සිටයි. ලෝකයේ වැඩිපුර අග්නිදිග ආසියාතික රටවල ප‍්‍රචලිත දුරියන් ශී‍්‍ර ලංකාවට මුලින්ම හඳුන්වා දී ඇත්තේ පෘතුගීසි ජාතික සිබෙට්නර් නම් පුද්ගලයා විසිනි. දුරියන් විශේෂ 30ක් පමණ ඇති අතර එයින් 9ක් පමණක් ආහාරයට සුදුසු වේ. එහෙත් කෘෂිකාර්මික තාක්ෂණය ඔස්සේ දුරියන් ප‍්‍රභේද 300ක් පමණ දැනට හඳුන්වා දී ඇත.

දූරියන් පලතුරක් ලෙස ප‍්‍රසිද්ධ වී ඇත්තේ එහි ඇති ගන්ධයත් සමගිනි. ලොව වෙසෙන මිනිසුන් කොටසක් මෙම ගන්ධයට බොහෝ රුචියක් දක්වන අතර  තවත් පිරිසක් මෙම ගන්ධයට පිළිකුලක් දක්වති.

මේ හේතුව නිසාම සමහර රටවල දුරියන් පොදු ප‍්‍රවාහන සේවාවල ගෙන යාමට හා ආපනශාලාවල තබා ගැනීම පවා තහනම් කර ඇත .

දුරියන්වල ගන්ධය ඇතිවන්නේ එහි සල්ෆයිඞ් සංයෝගය මිශ‍්‍ර වූ තයෝල් වැනි රසායනික වර්ගයන් හේතුවෙනි.

දුරියන් ශක්ති ජනක ආහාරයක් ලෙස ප‍්‍රකටය. එමෙන්ම මෙය ශරීරයේ කැලරි ප‍්‍රමාණය වැඩි කිරීමට සමත් අංග සම්පූර්ණ ආහාරයකි.

දුරියන් මදය ඉතා පහසුවෙන් ආහාරයට ගත හැක. එමෙන්ම එය දිරවීමටද පහසුය.

එමෙන්ම එය විවිධාකාරයෙන් ආහාරයට යොදා ගනී. කිරි මිශ‍්‍රකර පානයක් ලෙසද මිල්ක් ෂේක් එකක් ලෙසද අයිස් කී‍්‍රම් විශේෂයක් ලෙසද ආහාරයට යොදා ගත හැක. සමහර රටවල දුරියන්වලින් සකසන විශේෂ ආහාර වර්ග රාශියක්ම පවතී. එමෙන්ම දුරියන් උයා ආහාරයට ගන්නා අවස්ථාද ඇත.

දුරියන් මදය ආහාරයට ගැනීමෙන් පසු එහි ඉතිරිවන ඇටය පෙති කපා වතුරට දමා රැයක් තබා පෙරා ගෙන ජෙලි එකක් ලෙස පානය කිරීමට හැකිය. මෙම පානය මුත‍්‍රා දැවිල්ලට මෙන්ම මුත‍්‍රා රෝග සඳහා හිතකර වේ. දුරියන් වල ඛනිජ ලවන, විටමින්, විටමින් එ්, විටමින් බී, පොටෑසියම්, පොස්පරස්, බීටා, කැරොටින් වැනි පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වේ.

පලතුරක් ලෙස  ඕනෑම  පුද්ගලයෙකුට මෙය ආහාරයට ගැනීමට සුදුසු වන නමුත් දියවැඩියාව හා උෂ්ණාධික ආහාර ශරීරයට ඔරොත්තු නොදෙන පුද්ගලයන් දුරියන් ආහාරයට ගැනීම සුදුසු නොවේ. එමෙන්ම නිරෝගී පුද්ගලයෙකු වුවද දුරියන් දිනපතා ආහාරයට ගැනීම මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවන බවටද මතයක් පවතී.

කෘෂිකාර්මිකව දුරියන් වගාකිරීම ඉතා වාසිදායක වේ. දුරියන් වගාකිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් විශේෂ උපදෙස් ලබාදීමක්ද සිදුවේ.  ලංකාවේ වගා කිරීම සඳහා සුදුසු දුරියන් ප‍්‍රභේද ලෙස කසුන් හා අඹතැන්න යන දූරියන් ප‍්‍රභේද හඳුන්වාදී ඇත. බොහෝ දූරියන් ප‍්‍රභේද කටු සහිත ප‍්‍රභේද වන අතර කටු රහිත දූරියන් ප‍්‍රභේදයක්ද පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දැනට සොයාගෙන තිබේ. දුරියන් කටු ඉතා අනතුරුදායක වේ.

දුරියන් පලතුරක් ලෙස ඉහළ ප්‍රෝටීන ප‍්‍රතිශතයක් ඇති ආහාරයකි. ප්‍රෝටීන බහුල බොහෝ ආහාර මෙන්ම දුරියන්ද ඉතා උෂ්ණාධික ආහාරයක් ලෙස සැලකේ. දුරියන්වල ඇති තන්තු බහුල බව නිසාම මෙය මලබද්ධයට ඉතා හිතකර පලතුරකි. කොලෙස්ටරෝල් රෝගීන්ටද ඉතා සුදුසු ආහාරයකි. අස්ථි ශක්තිමත් කිරීමට හා ස්නායු පද්ධතියේ ආරක්ෂාවටද ඉතා හිතකර පලතුරකි. එමෙන්ම හමෙහි පැහැපත් බව වැඩිදියුණු කිරීමට සමත් පලතුරකි. නින්ද නොයන රෝගීන් සඳහා දුරියන් ආහාරයට ගැනීම සුදුසු බව නව්‍ය පර්යේෂණ මගින් ද තහවුරු වී ඇත .

දුරියන් මදය උෂ්ණාධික ගතියකින් යුක්ත වුවද දුරියන් ඇටය ඉතා ශීත ගුණයෙන් යුක්ත වේ. මේ හේතුව නිසාම දුරියන් ඇට යොදා පානයක් සාදා පානය කිරීමෙන් පුරුෂයන්ගේ ශුක‍්‍රාණු ප‍්‍රතිශතය මෙන්ම ලිංගික ශක්තියද වැඩි දියුණු වන බව නව්‍ය වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ මගින්ද තහවුරුවී ඇත. එමෙන්ම දුරියන් දත් හා අස්ථි ශක්තිමත් කිරීමට සමත් පලතුරකි.

දුරියන් පලතුර සඳහා මිනිසුන්ගේ ඇති රුචිකත්වය 1856දී ජාතික සොබා විද්‍යාඥයෙකු වූ ඇල්ප‍්‍රට් රසල් විටෙක මෙසේ ප‍්‍රකාශ කර ඇත. ‘එනම් ස්වේද වැනි සුදු පැහැයෙන් යුත් කුටීර 5 ක් තුළ කී‍්‍රම් පැහැයට හුරු පල්පයක් පිරී පවතින අතර එක කුටීරයක්  තුළ බීජ 3ක් පමණ අඩංගු වේ. මෙයින් ආහාරයට ගත හැක්කේ පල්පයක් වැනි කොටසයි. එහි උකු බව හා රසය වචනයෙන් විස්තර කළ නොහැක. දල වශයෙන් එය කොට්ටම්බා රස ගල්වන ලද කස්ටඞ් වැනිය. නමුත් ඇතැම් අවස්ථාවලදී එයින් මතුවන්නේ කී‍්‍රම් බීට් වයින් හෝ ඵෑනු සෝස් වැනි එකිනෙකට නොගැළපෙන රසයන්ය. කිසිදු වෙනත් පලතුරක දක්නට නොලැබෙන ඇලෙන සුඵ බව මෙම පලතුරෙහි ප‍්‍රණීතභාවය වැඩි කරයි. එසේම වැඩි වැඩියෙන් දුරියන් ආහාරයට ගැනිමේදී එය ආහාරයට ගැනීම නතර කිරීමට ඇති අවශ්‍යතාවයද ක‍්‍රමයෙන් අඩු වී යයි’ යනුවෙනි.

දූරියන්වල ගුණාගුණ පිළිබඳ ලියැවෙන මේ ලිපිය ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා හා කරන ලද සාකච්චාවකින් ලියැවේ.

චමිලා  අල්විස්

Page 1 of 5

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.