lakbima.lk


'ඇඟපත තලා දාලා වගේ' යැයි ඇඟේ පතේ වේදනාවෙන්  පෙළෙන වැඩිහිටියෝ පවසනු ඔබද අසා ඇති. බොහෝ  වැඩිහිටියන්  පෙළෙන මේ ඇඟේ අමාරුවට හේතුව කුමක්ද? ඉන් අත්මිදෙන්නට කළ හැකි යමක් තිබේද?
මැදිවිය ඉක්මවා යෑමත් සමග බොහෝ වැඩිහිටියන්ට ඇති වෙන මේ ඇඟේ අමාරුවට හේතුව ස්නායු ගැටලුවක්ද? අස්ථිවල බලපෑමක්ද, එසේත් නැත්නම් නහර සම්බන්ධහේතුවක්ද යන්න සිතා ගන්නට අපහසු නිසා තමන් හමුවිය යුතු වන්නේ කවර අංශයන් හා සම්බන්ධ වෛද්‍යවරයකුද යන්න මෙම රෝගීන්ට ඇති තවත් ගැටලුවකි.
 තරුණ වයසේදී දවසම වෙහෙසුණත් අපහසුවක් නැතිව සතුටින් නින්දට ගිය අපි  ටිකෙන් ටික වියපත් වෙද්දී එදා කළ බොහෝ දේවල් කිරීම දුෂ්කර වන්නේ ඇයිදැයි දැන් අපි විමසා බලමු.
ඇඳක වැතිරී නිදාගෙන සිටින විටදී අපේ මුළු සිරුරේම බර  අත්පා, හිස ආදී අවයවයන්ට බෙදී ගොස් ඇඳ මත විසිරී පවතී. එහෙත් නැවත පිටකොන්ද කෙළින් තබාගෙන වාඩි වූ විටදී මුළු ශරීරයේම බර පිටකොන්ද වටකරගෙන ඇති මාංශපේෂීන් මගින් පිටකොන්දට කෙළින්ම යොමු කරයි.  සිටගෙන සිටින විටදී සියලු බර  යොමු වන්නේ පාද සහ පිට පෙදේසයයි.
කෙළින් සිටුවා ඇති උස කණුවක ඉහළ යම් තැනක සිට සෑම දිශාවකටම නූල් ඇද ඇතැයි සිතන්න. එම නූල් බිමටද සම්බන්ධ කර ඇත්නම් උස කණුව බිම ඇද වැටෙන්නට හැකියාවක් නැත. එය යම් පැත්තකට ඇල වුණත් කණුවේ බර අනෙක් පැතිවලට  සම්බන්ධ නූල් මගින් දරා ගන්නා නිසා එවිටද කනුව වැටෙන්නට ඉඩක් නැත.
අපේ පිට පුරාමත් ඇති යම් ආකාරයක නූල් මාංශපේෂීවලට තබා ගැට ගසා හොඳින් සවිකොට තිබේ. අපි කෙළින් සිටගත් විටදී පිට පුරා ඇති මෙම මාංශ පේෂීන් අතට පහසුවෙන් හසුකරගත හැකිය. මේ ආකාරයට මාංශපේෂී පිටකොන්දට තබා සවි ක රන ලද නූල් තරුණ වයසේදී ඉතා ශතිමත්ය. එහෙත් අප වියපත් වීමේදී මේවායේ ඇති ශක්තිමත් බව අඩු වී දිරච්ච කඹයක ‍පොල් කෙඳි එක දෙක කැඩි කැඩී අඩුවන ආකාරයට මාංශපේෂි ගැට ගසා ඇති නූල්ද කැඩෙන්නට බිඳෙන්නට පටන් ගනී.
දිරාගිය කඹයකට දැරිය හැකි වන්නේ සුළු බරකි. ශක්තිමත්ව තිබූ කාලයේදී මෙන් බොහෝ බර දරන්නට වෑයම් කිරීමේදී දිරා ඇති කඹයේ සියුම් ‍පොල් කෙඳි එක දෙක කැඩීයෑමද සිදුවන දෙයකි. අපි වියපත් වීමත් සමග මාංශපේෂී දරා සිටින නූල්වල ඇති ශක්තියද හීන වීම ස්වභාවයෙන් සිදුවන දෙයකි. එවිට අප යම් වැඩකනිරතවන විටදී පෙර කී නූල් සෑදී ඇති සිහින් කෙඳිවලද කැඩුම් බිඳුම් හට ගනී. එහෙත් එම කෙඳිවලට හානි පැමිණි විට එය වේදනාවක් ආකාරයට ඒ මොහොතේම අපට දන්වන්නේ  නැති කම සියල්ල දුරදිග යන තරමට වැඩ සලසයි.  කිසිදු වේදනාවක් නොදැනෙන කමට පටන්ගත් වැඩේ නොනවත්වා දිගටම කරගෙන යෑම, කඬුම් බිඳුම් හටගත් කෙඳි තව තවත් හානියට පත් කරයි.

වැඩපළවල නියැළීම යැයි කියූ විට අප සිතන්නේ කය වෙහෙසවමින් සිදු කරන වැඩපළ  ගැන පමණකි. එහෙත් එකදිගට බොහෝ වේලා සිටගෙන සිටීම, අපහසුවෙන් බස්රථයක දිගු ගමනක යෙදීම, පුටුවට පිට බර කර නොගෙන බොහෝ වේලාවක් පරිගණකය සමග සිටීම හෝ රූපවාහිනිය නැරඹීමද මේ ආකාරයට හානි පමුණුවන බරපතළ වැඩ ගණයටම වැටෙන ක්‍රියා කාරකම්ය.
කිලෝ හැත්තෑවක් බර පුද්ගලයකු පැය තුන හතරක් බස් රථයක හිටගෙන ගමන් කරන්නේ ඒ කිලෝ හැත්තෑවම ඔසවාගෙනය. යන්න ඒ පුද්ගලයාටවත් නොහැඟෙන්නකි. ඇඳක වැතිර සිටින විට ඒ සියලු  බර සිරුර පුරා විසිරී පැවැතියද බස් රථයක සිටගෙන ගමන් කරන විටදී ඒ කිලෝ හැත්තෑවම දරන්නේ සිරුරේ යම් කොටසක් පමණි.  එහෙත් එවැනි බරක් සාමාන්‍ය පුද්ගලයකුට දෑතින්වත් ඔසවා ගත හැකිද? ආධාරකයක් නැතිව එවැනි බරක් තව තවන් දරා සිටීමෙන් වන හානිය ඔබටම සිතා ගන්නට අසීරු නැත.
අපි වීරයන්සේ කෙළින් සිටගෙන සිටින්නේ මාංශපේෂී දැඩිව මුළු සිරුරම ග්‍රහණය කරගෙන සිටින නිසාය. යම් මොහොතක ඒ සියලු මාංශපේෂී තම ග්‍රහණය මුදාහල විට සිදුවන්නේ කුමක්ද? කෙළින් සිටින්නට බැරිව අපේ ශරීරය කඩා වැටීම නතර කළ නොහැකිය.

මේ අනුව අපට නොදැනුණද අපේ මුළු ශරීරයම ඔසවාගෙන සිටින්නේ කවුරුන්දැයි දැන් ඔබට වැටහිය යුතුය.
අප වියපත් වීමත් සමග පෙර කී නූල් දිරාපත්ව අපේ ක්‍රියාකාරකම් සමග ඒවා සෑදී ඇති කෙඳි කැඩී බිඳී ගියද කොහු ලණුවේ කෙඳි මෙන් ඒ හානිය හැමදාටම වූ හානියක් වන්නේ නැත. අපේ ක්‍රියාකාරකම් සමග නැවත නැවත සිදුවන ඒ කැඩීම් බිඳීම් එලෙසම පවතිනවානම් අවුරුදු හතළිහක් පනහක් වන විටදී අපිට කෙළින් සිට ගන්නට  පිටක් කියා දෙයක් ඉතිරි විය හැකිද? අපේ  යම් වාසනාවකට එම සියුම් කැඩ ුම්
බිඳුම් අපේ ‍ලේ වලම ඇති විවිධ ෙසෙලවර්ග මැදිහත් වී නැවත පිළිසකර කරදීම, අවුරුදු හැට හැත්තෑවේදී පවා කෙළින් කටින් ඉන්නට මං පාදයි.
එහෙත් මෙලෙස කැඩී බිඳී ගිය නූල් නැවත පිළිසකර කර දෙන්නේ අප විවේක සුවයෙන් කල් ගෙවන විටදී පමණකි. ඒවා කැඩී බිඳී හානි වූයේ පැය ගණනකට පෙර  අපි යම් ක්‍රියාකාරකමක නියැළී සිටියදී වුවද ඒවායේ වේදනාව අපට දැනෙන්නට පටන් ගන්නේ අප විවේකයෙන් සිටින වෙලාවක් බලා ඒවා පිළිසකර කරන ක්‍රියාවලිය ඇඟ ඇතුළෙන් පටන් ගත් විටදීය.  එම වේදනාවෙන් අපට දන්වා සිටින්නේ 'අපි මේ ටික නැවත හදලා දෙනතුරු ඔය විදිහටම විවේකයෙන් ඉන්න' කියායි. වේදනාවක් ආකාරයට අපිට ඒ ලබාදන ඉඟිය සැලකිල්ලට ගනිමින් එවිට අපට කරන්නට ඇති එකම දෙය වන්නේ වේදනාගෙන දෙන එම කොටසට හැකි තරම් විවේකය ලබා දීම පමණකි. එහිදී අවශ්‍යම නම් පැරසිටමෝල් වර්ගයකින් හෝ වෙළෙඳසලෙන් මිලට ගත් බාම් වර්ගයකින් සහනයක් ලබා ගැනීම හොඳමට ප්‍රමාණවත්ය.
එහෙත් කරන්නට ඇති වැඩ කන්දරාවත් සමග ඒ විවේකය ලබා නොදෙමින් ඉක්මනින්ම නැවත වැඩ පටන්ගන්නට සිතන අය ඊට බාධාවක් වන ශාරීරික වේදනාවෙන් අත් මිදෙන්නට සිතා නතර වන්නේ විශේෂඥ වෛද්‍යවරයෙකු ළඟය. සියල්ල කනපිට පෙරළෙන්නේ එතැන් සිටය.
මෙය කොතරම් ස්වභාවික තත්ත්වයක් වුවද විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර පැතූ විටදී එම වෛද්‍යවරයා කිසිදු බෙහෙතක් නොදී කිසිවෙකු ආ පිට යවන්නේ නැත. එලෙස රෝගියාගේ කන් කෙඳිරියෙන් බේරෙන්නට වෛද්‍යවරයා සතියකට හෝ දෙකකට යම් බෙහෙතක් නිර්දේශ කරනු ඇත. එහෙත් එතැන් පටන් රෝගියා  කරන්නේ වේදනාව හටගන්නා වාරයක් පාසා බෙහෙත් තුණ්ඩුවේ සඳහන් බෙහෙත හිතුමතේ ගැනීමය.
මිනිස් සිරුර තුළ සිදුවන ඉතාමත් ස්වභාවික හා හිතකර මෙම ක්‍රියාවලිය රෝගයක් කොට ගනිමින්  නැති ලෙඩකට දිගින් දිගටම බෙහෙත් බිමෙන් වන හානිය ඔබට සිතා ගන්නට බැරි තරම්ය.
එහිදී ලබාදෙන ඖෂධ මගින් වේදනාව සහමුලින්ම අතුරුදන් වන අතර ස්වාභාවිකව සිදුවන පෙර කී පිළිසකර කිරීම් ක්‍රියාවලියද එසැනින් නතර වී යයි. දැන් කිසිදු වේදනාවක් නොදැනෙන නිසා අපිට දැනෙන්නේ විශාල සහනයකි. එහෙත් ලබාදුන් බෙහෙත් නිමාවීමත් සමග වේදනාව දනවමින් පිළිසකර කිරීමේ රාජකාරිය ශරීරය නැවත ආරම්භ කරයි. නැවත අපි එය ඉවසන්නේ නැත. දිගින් දිගටම ගිල දමන්නේ නැති ලෙඩකට බෙහෙත්ය. මෙම ක්‍රියාවලිය අපි නතර නොකරනවාසේම අපේ ශරීරය නතර කරන්නේද නැත.

දිගින් දිගටම ගන්නා මෙම ඖෂධ ආමාශයට  හිතකර වන්නේ නැත. වකුගඩු ගැටලු ඇති අයගේ වකුගඩු සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වන්නටත්, බඩේ තුවාල හට ගන්නටත් මෙම ඖෂධ හොර රහසේම හේතු කාරකවන බව   කිසිතැනකදී හෙළිදරව් වන්නේ නැත. ඒ මේ සියල්ල සිදුවන්නේ ඉතා සමෛන් සහ රහසිගතව වන නිසාය.
මේ සියල්ල මේ ආකාරයෙන්ම සිදු වී සියල්ල නිමා විය හැකිය. එහෙත් මරණයට හේතුව එය යැයි හෙළිදරව් වීමක් සිදු නොවන්නේ එවැනි මරණයක් කපා බැලීමක් සිදු නොවන නිසාය. ඒ නිසාම කිසිවෙකුට මින් පාඩමක් ඉගෙන ගන්නටද ඉඩ ලැබෙන්නේ නැත. ඒ නිසාම එකම වරද දිගින් දිගටම  කාටත් හොර රහසේ මෙසේ සිදුවෙමින් පවතින අතර මතු දවසක අපේ  දරු පරපුරද මුහුණ දෙන්නේ එම ඛිෙදවා චකයටමය.
හොඳින් සිටි මිනිසුන් විශාල ප්‍රමාණයක් එකවරම සුනාමියකින් මිය යෑම පිළිබඳව කාලයක් පුරා මිනිසුන් දැඩි කම්පාවෙන් කතා කරනු ඇත. එහෙත්  එවැනිම  හොඳින් සිටි මිනිසුන් කාලයක් පුරා එකා බැගින් විශාල පිරිසක් මිය ගියද එය කාටවත් දැනෙන්නේ නැත. සිදු වූයේ කුමක්දැයි කිසිවෙකු දන්නේද නැත.
 අවුරුදු හතළිහ, පනහ, හැට පසුකරමින් වියපත් පැත්තට ගමන් කරද්දී ඊට සමගාමීව වගකීම් මෙන්ම කළ යුතු වැඩ කොටසක් වැඩි වුවද  ගතේ ශක්තිය නම් අඩුවනවා මිස වැඩි වන්නේ නැත. එවිට දරා ගැනීමේ ශක්තිය අඩු වී මාංශපේෂි කඩා වැටීම අපට දැනෙන්නේ නැත.
මේ කඩා වැටීම් නැවත පිළිසකර කිරීම් සිදුවන්නේ අපේ සිරුර විවේකයෙන් සැතපී  ඇතිවිට නිසා ඇඟේ අමාරුව වැඩිපුර දැනෙන්නේ උදෑසන අවදිවන විටය. එවිට 'ඇඳෙන් නැඟිට ගන්න බැහැ. මුළු ඇඟට රිදෙනවා' යැයි කියා ඖෂධ ගැනීමෙන් හානියක් මිස සිදුවන යහපතක් නැත්තේ එය ස්වැභාවික  තත්ත්වයක්  මිස රෝගයක් නොවන නිසාය. ඒ වේදනාවට ස්නායු රෝග, නහර පිළිබඳ හෝ අස්ථි රෝග  විශේෂඥ වෛද්‍යවරයෙකු යන කවුරුන් වෙත ගියද ලබාදෙන ඖෂධය එකමය.
ඇඟේ අමාරුවට යැයි කියා අවුරුදු තිස්පහේදී බෙහෙත් බොන්නට පටන් ගත් අයෙකුගේ ශරීරයට අවුරුදු හතළිස්පහ වන විටදී සිදුවිය යුතු සියල්ල සිදු වී හමාරය. එහෙත් මිය යන්නේ සියල්ල සඟවාගෙන නිසා එකා පසුපස එකා බැගින් තව බොහෝ කාලයක් විශාල පිරිසක් මේ ගමනම යනු ඇත.


 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.