lakbima.lk

වර්තමානයේ ජීවත් වන මිනිසුන් පරිගණකය, ජංගම දුරකථන, රූපවාහිනිය භාවිතා කිරීම අධික වීම නිසා ඇස් වලට ඇතිවන රෝගී තත්වයන් ද බහුල වී පවතී. ඇසේ සුද, ග්ලෝකෝමා, වෙනත් අක්ෂි ආබාධ මෙන්ම විවිධාකාර ඇස් වල දෝෂ තත්වයන් සඳහා ප‍්‍රතිකාර වලට යොමු වන රෝගීන් රජයේ මෙන්ම පෞද්ගලික අක්ෂි සායනවල පෝලිම්වලට එකතු වීම අද ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතී. ශ‍්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය වේගයෙන් ඉහළ යාම මෙන්ම පෙනීම අයහපත් කරවන ක‍්‍රියාකාරකම්, අහිතකර ආහාර භාවිතය, දැඩි උණූසුම, වෙනත් රෝග සඳහා භාවිතා කරන ඖෂධ, දියවැඩියා රෝගීන් හා අධි රුධිර පීඩන රෝගීන් බහුල වීම නිසා අක්ෂි රෝග වල ඉහළ වර්ධනයක් ඇති වීමද සිදුවෙමින් පවතින බව පෙනේ.  ඇස් පෙනීමට හානි කරන සරල හේතු කීපයක් පිළිබඳව මෙම ලිපියෙන් විමසුමට ලක් කෙරෙයි.

පරිගණකය භාවිතා කළ යුතු නිවැරදි ක‍්‍රමය

ඔබේ පරිගණකය නිවසේ හෝ කාර්යාලයේ හෝ ස්ථාන ගත කර ඇති ස්ථානය පිළිබඳව ඔබ මුලින්ම සැලකිලිමත් විය යුතුය. පරිගණක තිරය මතට ඍජුවම හිරු එළිය හෝ විදුලි බල්බයේ ආලෝකය එල්ල වීම ඉතාමත්ම නුසුදුසුය. එසේ වීමෙන් ඔබේ දෑස් ඉක්මනින්ම විඩාවට පත් වේ. විදුලි ආලෝකය හෝ සූර්යාලෝකය පරිගණක තිරය මතට පතිත නොවන ස්ථානයක පරිගණකය ස්ථාන ගත කර ගැනීමට ඔබ සැලකිලිමත් වීමෙන් එම දුර්වලතාවය මග හරවා ගත හැකිය. නිවසේ දී ඔබට මෙය පහසුවෙන් කළ හැකිවේ. කාර්යාලයේ දී ද එවැනි තත්වයක් ඇති වී නම් වගකිව යුත්තන් දැනුවත් කර හෝ පරිගණකය සුදුසු ලෙස ස්ථාන ගත කර ගැනීමට බුද්ධිමත් විය යුතුය.

පරිගණක තිරයේ දීප්තිමත් බව දෑසට අපහසු නොවන තරමට අඩු කර ගන්න.

පරිගණක තිිරය මුහුණට වඩාත් ළංවන සේ තබා නොගැනීමට ද වග බලා ගත යුතුය. ඇස් මට්ටමින් හෝ තරමක් ඊට අඩුවෙන් හෝ තබා ගැනීම සුදුසුය.

දෑස් බොඳ වීම, නිතර හිසරදය ඇති වීම වැනි ගැටළු ඇති වුණි නම් අක්ෂි වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලැබීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.

පරිගණක සමඟ කටයුතු කරන විට වරින් වර තිරයෙන් දෑස් ඉවත් කර වෙනත් බාහිර දේ දෙසට දෑස් එල්ල කිරීමට මතක තබා ගන්න. සාමාන්‍යයෙන් එය විනාඩි 20 කට තත්පර 20 ක් ලෙස විය යුතුය. 

අක්ෂි වෛද්‍යවරයෙකු හමු වීමේදී
අක්ෂි පරීක්ෂාවක් සිදු කර ගැනිමට ඔබ වෛද්‍යවරයෙකු  හමු වන විටදී මේ කරුණු විශේෂයෙන්ම මතක තබා ගත යුතුය.

අධික රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග ඇත්නම් අමතක නොකර ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කළ යුතුය.
විවේක අවස්ථාවලදී ඔබ එය ගත කරන ආකාරය ද නිවැරදිව ප‍්‍රකාශ කරන්න.
 පරම්පරාවේ රෝග පිළිබඳ ඉතිහාසය ද හෙළි කළ යුතුය.

දෑස් වල ආරක්ෂාවට තවත් උපදෙස්

 නිවසේ මෙන්ම කාර්යාලයේ වාතය සිසිල්ව තබා ගැනීමට කල්පනාකාරී විය යුතුය.
මිදුලේ මෙන්ම ජනෙල් අවට පවා සිසිලස රැුඳෙන සේ නොඋස් විසිතුරු ශාක වර්ග සිටු වීමෙන් මෙය සිදු කළ හැකිය.
ආරක්ෂිත කණ්ණාඩි නොපළඳා රසායනික ද්‍රව්‍ය ආශ‍්‍රිත කටයුතු වල නොයෙදිය යුතුය.
ස්නානයේ දී සබන් හෝ ෂැම්පු දෑස්වලට නොයන ලෙස කටයුතු කළ යුතුය.  (ඇස් වලට එවැනි යමක් ඇතුළු වීමෙන් වෙනසක් වී නම් අලූත් සේලයින්  වතුරෙන් දෑස සේදීම යහපත්ය.*
නිවස පිරිසිදු කරන ද්‍රව්‍ය හෝ රෙදි සෝදන සේදුම් කුඩු යම් හෙයකින් ඇසට ඇතුල් වීමක් සිදු වුවහොත් සේලයින් වතුරෙන් දෑස් සෝ්දා වහාම අක්ෂි වෛද්‍යවරයෙකු හමු වන්න.
පරිගණකය හා ජංගම දුරකථනය භාවිතා කිරීමේදී සෑම මිනිත්තු 20 කටම වරක් අඩුම තරමින් තත්පර විස්සක් වත් ඉන් ඉවත බැලිය යුතුයි. පොත් පත්තර කියවීමේදී පවා මෙම ක‍්‍රමය අනුගමනය කිරීම ඉතාම සුදුසුය. ඇස ළංකර ගෙන කරන  ඕනෑම කටයුත්තකදී වුවද (ඔරලෝසු, ජංගම දුරකථන, ගුවන් විදුලි යන්ත‍්‍ර හෝ රූපවාහිනී යන්ත‍්‍ර අළුත් වැඩියාව මෙම නීතිය පිළිපැදීම ඉතාම සුදුසුය.*
පොතපත කියවීමේදී මෙන්ම පරිගණක කටයුතු වලදී පවා වරින්වර සිතා මතාම ඇසිපිය සැලීම ද ඉතාම යහපත්ය.
එවැනි කටයුතු වලදී අවධානය දැඩි බැවින් සමහර විට ඇසි පිය ගැසීමට පවා අමතකව යාම නුසුදුසුය. ඇසිපිය සැලීමෙන් ඇස් අනවශ්‍ය ලෙස වියළි වීම වළක්වා ඇස් වල තෙතමනය රැුක ගැනීමට ද ඇස් වලට අහිතකර ද්‍රව්‍ය ඉවත් කර ගැනීමට ද හැකිය.

දැඩි හිරු එළියෙන් ඇස් රැුක ගන්න.
ඇසේ සුද මතු වීමට හා ඇස් වියපත් වීමට දැඩි සූර්යාලෝකයෙන් වැඩි බලපෑමක් සිදු කරයි. හිරුගෙන් ලැබෙන පාරජම්බුල කිරණ මගින් ඇස් වලට සිදු වන හානිය වළක්වා ගැනීමට ප‍්‍රමිතියෙන් උසස් අව් කණ්ණාඩි පැළඳීම සුදුසුය. පාසැල් දරුවන් දැඩි හිරු තාපයේ ක‍්‍රීඩා කිරීමේදී ද වඩාත්ම සැලකිලිමත් විය යුතුය. කුඩා කල සිටම දෑසේ ආරක්ෂාව පවත්වා ගැනීමට අවශ්‍ය උපදෙස් දරුවන්ට ලබා දීම ඉතාම උචිතය. ඇස් අධිකව වියළිබවට පත් වීම පසු කාලීනව දෑසේ පෙනුමට දැඩි අහිතකර තත්වයක් ඇති කරන බව දරුවන් දැනුවත් කළ යුතුය.

ඇස් වලින් නිතර කඳුළු ගලනවා නම් !
ඇසිපියවල ආසාදනයන් වලදී දෑසින් නිතරම කඳුළු ගැලීමක් සිදු විය හැකියි. දැඩි සුළඟට මුහුණ දීම, වායු සමනය කළ ස්ථානවල වැඩි කාලයක් රැුඳීම, විවිධ රෝගී තත්වයන් හා ඒ සඳහා භාවිතා කරන සමහර ඖෂධ වර්ග, දෑස් බාගෙට පියවී නිදා ගැනීම වැනි තත්වයන් නිසා මෙසේ දෑස්වල කඳුළු අසාමාන්‍ය ලෙස ඇති විය හැකිය. බාහිරින් යමක් ඇසට වැටීමෙන් ද මෙවැනි තත්වයන් ඇති විය හැකියි. මෙවන් විටෙක හැකි ඉක්මනින්ම අක්ෂි වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුය.

රඹුක්කන
කීර්ති එස් කුමාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.