lakbima.lk

නව යෞවන වයස්වල පසුවන දැරිවියන්ට බලපාන සෞඛ්‍ය ගැටලු අතර ඔසප්වීම හා සම්බන්ධ ඒවා රාශියකි. අනාගතයේ දරුවෙකු දරා සිටීමට, ගර්භාෂය සූදානම් වීමක් නිසා සිදුවන මුල්ම ආර්තවයසේම ඒ හා සම්බන්ධ සමාජයේ පවතින පිළිගැනීම්, මිථ්‍යා මතද අපමණය. අනාගතයේ මව්වරුන් වීමට පෙරුම් පුරණ මේ යෞවනියන් සේම ඒ අයගේ දෙමාපිය වැඩිහිටියන් පෙළෙන මේ ගැටලුවලට හේතු සේම ඒ සඳහා ගත හැකි නිවැරදි පියවර ගැන සාකච්ඡා කිරීම අතිශයින්  කාලෝචිතය.
මේ කාලයේ මතුවන ගැටලු අතර මුල්ම ඔසප් වීම, හෙවත් වැඩිවිය පැමිණීම ප්‍රමාද වීම සුලභව දැකිය හැක්කකි. සාමාන්‍යයෙන් දැරිවියක් වයස අවුරුදු 14 පමණ වනවිට වැඩිවියට පැමිණිය යුතුය. නමුත් එක් එක් අයගේ ජාන බලපෑමට අනුව එය වසර කීපයක්  එහා මෙහා වන්නට පිළිවන. උදාහරණයක් ලෙස මව වැඩිවියට පැමිණියේ වයස අවුරුදු  15 දී පමණ නම් ඇගේ දියණියන්ද  එම කාලවකවානුවේ  වැඩිවියට පැමිණීම සිදුවිය හැකිය.
සාමාන්‍යයෙන් වයස අවුරුදු 14 පමණ වනවිට දැරිවියකගේ ද්විතියික ලිංගික ලක්ෂණ පහළවේ. එනම් කිහිලි, ලිංගික ප්‍රදේශවැනි තැන් මත රෝම වර්ධනය වීම, පියයුරු මෝරා වැඩීම එවැනි ලක්ෂණයන්ය. දැරිවියක තුළ මේ ආකාරයට ද්විතියික ලිංගික ලක්ෂණ මතුව තිබේ නම් වයස අවුරුදු 16 පමණ වනතුරු ඔසප්වීම බලා‍පොරොත්තු විය හැකිය. නමුත් වයස  අවුරුදු 14 පමණ වනතුරුත් ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වී නොමැතිනම් ඒ ගැන වෛද්‍ය උපදෙස් පැතීමට යොමු විය යුතුය. එවිට ඒ හා සම්බන්ධ කිසියම් ගැටලුවක්  වේ නම් අවශ්‍ය ප්‍රතිකාර විධි ආරම්භ කළ හැකිවේ.
එසේම තරුණ දැරිවියන් මුල් ඔසප්වීමෙන් අනතුරුව මාස දෙක තුකට වරක් ඔසප් සිදුවිය හැක.
එසේම එක ළඟ ඔසප් වීම් කිහිපයක් සිදු වීමටද පිළිවන. මේ සියලු තත්ත්ව මුල් කාලයේදී සාමාන්‍ය ලෙස සැලකේ. ඩිම්බ පිටවීම, මේරීම ආදී කටයුතු පාලනය වන්නේ පිටියුටරි ග්‍රන්ථියේ බලපෑම හරහාය. නොමේරූ ඩිම්බ නිසා මේ ආකාරයෙන් ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවක් මතුවිය හැක. නමුත් එය  ඔසප් චක්‍රය ආරම්භ වූ මුල් කාලයේදී නම් ගැටලුවක් නොවේ.
එසේම  ඔසප්වීම හරහා පිටවන රුධිරය අධිකවීමද ගැටලුකාරී තත්ත්වයකි. නමුත්  සැබෑවටම එය අධික ලෙස රුධිරය පිටවීමක්දැයි නිසැකයෙන් දැන ගැනීම වැදගත්වේ. සාමාන්‍යයෙන් ඔසප් වීමක් දින 3-8 දක්වා පමණ පැවැතිය හැක.  නමුත් දින 8 කටත් වඩා  ඔසප් වීමක් පවතියි නම් වෛද්‍ය උපදෙස්වලට යොමුවීම යෝග්‍ය වෙයි. එසේම   එකී දිනක් තුළ හොඳටම තෙමුණු සනීපාරක්ෂක තුවා 5ට වඩා මාරු කිරීමට සිදුවුවහෙත් එය අධික රුධිර පිටවීමක් සේ ගිනිය හැක. එවැනි අවස්ථාවක් නිසැකයෙන්ම අධික රුධිර වහනයක් ලෙස හඳුනාගත හැකිය. එසේම මේ ආකාරයට අධික ලෙස ඔසප් රුධිරය පිටවේ නම් එය වෛද්‍ය උපදෙස් පැතිය යුතු තත්ත්වයකි. එලෙස අධික  ලෙස ඔසප් රුධිරය පිටවීම නිසා ඇඟ සුදුමැළි වීම, ක්ලාන්තය දක්වා දුරදිග යා හැකිය. එය නීරක්තියට ගොඳුරු වීමට සෘජුවම බලපෑ හැකිය. එබැවින්  අධික ලෙස ඔසප්  රුධිරය පිටවීමකදී වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම  ඉතා වැදගත් වේ.
එසේම ඔසප් කාලයේ ඇතිවන හිසරදය, උදරයේ වේදනවා, සාමාන්‍ය තත්ත්වයකි. මෙය බොහෝ තරුණ කතුන්ට බලපාන සාමාන්‍ය තත්ත්වයකි. නමුත් ඔසප් ආරම්භ වීමට දින කීපයකටම පෙර සිට මෙවැනි අපහසුතා  තදබල ලෙස ඉස්මතු වේ නම් සේම ඒ අපහසුතා ඔසප් නිම වූ පසුද දැනේ නම් එය කිසියම් රෝගී තත්ත්වයක් ගැන ඉඟියක් විය හැකිය.
සාමාන්‍යයෙන්   තත්ත්වයේදී දැනෙන අපහසුතා ජානමය උරුමයක් ලෙසද සැලකිය හැක. මවට මෙවැනි අපහසුතා තිබේ නම් ඇගේ දියණියන්ටද මේ තත්ත්වය උරුම විය හැකිය.
එසේම සමහර තරුණ දැරිවියන්ට ඔසප්වීම් දෙකක් අතරතුරු සුළු රධිර පිටවීම් ඇතිවිය හැකිය. සමහර විට රැකියාවේ ගැටලු, පෙම් සබඳතා නිසා හට ගන්නා  සිත් රිදවීම් වැනි දේ වන මානසික තත්ත්වයන්ගේ වෙනස් වීම්. මෙවැනි රුධිර වහනයන්ට හේතු විය හැකිය.  එය එතරම් ගැටලු සහගත තත්ත්වයක් නම් නොවේ.

සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න
උපදෙස් ගම්‍පොළ ශික්ෂණ රෝහ‍ලේ නාරි සහ ප්‍රසව රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍ය වසන්ත ජයලත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.