lakbima.lk

‘‘අපිට මාසයකට විතර නවාතැනක් හොයා ගන්න පුළුවන්ද?”‍ පිටතට පැමිණි ගෙහිමියාගෙන්  අපි විමසුවෙමු.
”‍කාමරයක් නම් දෙන්න පුළුවන්. ඒත් කෑම නම් දෙන්න විදියක් නෑ. පිටින් ගන්න ලෑස්ති කරල දෙන්නම්”‍
කළු‍තර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පුහුණුවට සහභාගි වීමට,  මාසයක කාලයකට  ඒ අවටින් නවාතැනක් සොයමින්, ඒ වන විට කීප තැනකටම ගොස් විමසමින් සිටි මටත් මගේ යෙහෙළියටත් ඒ වදන් ඇසුණ විට දැනුනේ ලොකු සැනසුමකි.

අපි පසුදින සිටම එහි නවාතැන් ගතිමු.  එය පහසුකම් අඩු කුඩා කාමරයක් වුවත්, සතියේ දවස් පහ ගෙවා ගෙන අපේ වැඩ ටික කර ගැනීමට අපහසුවක් නොවීය. ගෙහිමයා, බිරිඳ,   නව යොවුන් දියණියන් දෙදෙනෙක්  සහ දස හැවිරිදි පුතෙක් ඒ පවුලේ සාමාජිකයින් විය.
 පළමු දිනයේ ක්ෂේත‍්‍ර චාරිකා, දේශන ආදියට ගොස් සවස හතරට පමණ එම නවාතැනට පැමිණියෙමු. එහි කෑම කාමරය අසලින් අපේ කාමරයට යන විට දුටුවේ මේසය මත පාන් රාත්තල් කිහිපයක් සහ මාගරීන් පැකට් එකක් තබා තිබුණ බවයි. අප සිතුවේ ඔවුන් ඒවා  හවස තේ පානයට ගෙනැවිත් ඇති බවයි. අපේ රාත‍්‍රි ආහාරයට ළඟ ගෙදරකින් බත් පර්සල් දෙකක් ලබා දීමට ගෙහිමියා කටයුතු කොට තිබිණි. ”‍ඔවුන් කන දෙයකින් අපටත් ටිකක් දුන්නා නම් මොකද ”‍ කියමින් අපි දෙදෙනා ඒ කෑම කෑවෙමු. එහෙත් කිසිවෙකු මුළුතැන් ගෙයි වැඩ කරන බවක් නොපෙනුණි. පසුව  සාලයට ගිය මා දුටුවේ සාලයේ ටීපෝව මත පාන් පෙති ද මාගරීන් පැකට්ටුවද තබා ගෙන පවුලේ සියලූ‍ දෙනා ඒ වටා වාඩි වී,  වරින් වර ඒවා කමින් රූපවාහිනීය නරඹන බව ය.
පසු දින ද අප පුහුණුවට ගොස් සවස පැමිණෙන විට  මේසය මත පාන් සහ ඒ අසල අලූ‍ත්  මාගරීන් පැකට්ටුවක් සහ පිහිය විය.  එදින රාත‍්‍රියේ ද   දුටුවේ  සාලයේ පාන් සහ මාගරීන් කමින් රූපවාහිනිය නරඹන පවුලේ අය ය.   අපට ආහාර දීමට බැරි වුණ හේතුව පැහැදිලිය. අප එහි නැවතී සිටි මාසය පුරාම සෑම දවසකම ඔවුන්ගේ රාත‍්‍රී ආහාරය එය විය.
කොතරම් අහිතකර ආහාර රටාවක්ද?  මෙය දුටු පළමු දින කීපයෙන් පසු අප දෙදෙන එහි ඇති අහිතකර භාවය ගෙහිමි කාන්තාවට විස්තර කර දුන්නද ඔවුන් ඒ ගැන තැකීමක් කළ බවක් නොපෙනුණි. එය ඔවුන්ට පුරුද්දකට ගොස් ඇති සේ ය. ‘‘ජන්මයට වඩා පුරුද්ද ලොකුයි”‍, ‘‘මිනිසා යනු පුරුදු ගුළියකි”‍ ආදී වශයෙන් පුරුද්ද යන දේ අපේ ජීවිත වලට බොහෝ සම්බන්ධය. අප කුඩා කාලයේ සිට පුරුදු වන යම් රටාවක් ඇත. ආහාර පුරුදු ද එලෙසම ය. යම් පවුලක  ජීවන රටාව දෙස විමසිල්ලෙන් බැලූ‍වහොත් එහි සෑම ක‍්‍රියාකාරිත්වයකම පුරුදු රටාවක් ඇති බව පෙනී යයි. ඒවා හිතකර මෙන්ම අහිතකර පුරුදු ද විය හැකිය. නිරෝගීමත්භාවයට හිතකර ආහාර පුරුදු ඉතා වැදගත්ය.
අපේ මුතුන් මිත්තන් විද්‍යාත්මකව දියුණු ආහාර සංස්කෘතියකින් සිටි බව අතීතයේ ඔවුන් භුක්ති විඳි ආහාර ගැන විමසා බලන විට පෙනී යයි. පැරසිටමෝල් පෙත්තක, සේලයින් ටිකක හෝ උපකාරයක් නොලබා තම නිවෙස තුළම දරුවන් දහයක් දොළහක් ප‍්‍රසූත කිරීමට තරම්  එදා කාන්තාව ශක්තිමත්භාවයකින් සිටියා ය. අදත් ලොව මවිත කරන නිර්මාණ ගලින් කිරීමට, කුඹුරු යායවල් අස්වැද්දීමට, සාගර සේ විසල් වැව් අමුණු බැඳීමට තරම් පිරිමින් ශක්තිමත්ව සිටි බව ද අපි දනිමු. ඒ ඔවුන් සියලූ‍ පදාර්ථ වලින් අනූන ආහාර වේලක් තමා විසින්ම සකසා ගත් නිසා ය.


බොහෝ දෙනෙක් එකම ආහාර වර්ග කිහිපයක් එකම විදියට සකසා පරිභෝජනය කිරීමට පුරුදු වී සිටිති.   අපි පහසුව තකා පවුලක සියලූ‍ දෙනාටම එකම ආහාර පිසූවද වයස, කරන කාර්යයන් අනුව එක් එක්කෙනා හට අවශ්‍ය පදාර්ථ වෙනස්ය. ප‍්‍රමාණ වෙනස්ය. එක් එක් ආහාර වර්ග වලින් අපට ලැබෙන දේ එකිනෙකට වෙනස් ය. පිෂ්ඨය සහ තෙල් වලින් අපට එදිනෙදා කටයුතු වලට අවශ්‍ය ශක්තිය ලැබේ. ප්‍රෝටීන් වලින් ෙසෙල වර්ධනය සිදු වේ.

ලවණ වර්ග වලට ද විශේෂිත වූ කාර්යයන් ඇත. රුධිරයේ ඔක්සිජන් ප‍්‍රවාහනයට අවශ්‍ය හිමොග්ලොබින් නිෂ්පාදනයට යකඩ අවශ්‍යය. සිරුරේ පරිවෘත්තීය ක‍්‍රියා, දරුවන්ගේ මොළය වැඞීම ආදී බොහෝ දේ සඳහා අයඩින් අවශ්‍යය. ෙසෙල බෙදීමේදී අත්‍යවශ්‍ය වන පෝලික් ඇසිඞ් ගර්භනී වන මුල් මාස කීපය ඇතුළත නොලැබුණහොත් ස්නායු නාලය හරි හැටි නොවැසේm ‘බෝ නොවන රෝග”‍ ඉහළ ගොස් ඇතැයි මැසිවිලි නගන අපි එයට හේතුව අපේ වැරදි ආහාර රටාව බව නොසිතමු. ඔබ දැනට ආහාර ලෙස ගන්නේ මොනවාද?  ළමයින්ට ආහාර ලෙස දෙන්නේ මොනවාද? අපි පසු විපරමක් කළ යුතු ය. සතියේ දින පහක අප ආහාරයට ගත් දේවල් ලියා තබන්න. ඒ දෙස විමසිල්ලෙන් බලන්න. ඔබ සතිය පුරා ආහාරයට නොගත් දේ මොනවාදැයි බලන්න. ඊළඟ සතියේ ඒ නොගත් එළවළු පලා වර්ග පිසීමට උත්සුක වන්න. පොළකින් හෝ වෙළඳපොළෙන් එළවළු පලතුරු ගන්නා විට එක සතියෙන් සතියට   විවිධ දේ ගැනීමට  මතක තබා ගන්න. එනම් එක් එක් ආහාර වර්ග වල ඇති පෝෂණ පදාර්ථ අනුපාත වෙනස් බැවිනි. ගොටුකොළ වල වැඩිපුර යකඩ අඩංගු අතර කතුරුමුරුංගා වල කැල්සියම් වැඩිපුර ඇත. මේ නිසා මිශ‍්‍ර පලා මැල්ලූ‍ම හෝ සලාදය පෝෂණීය ගුණයෙන් ඉහළ වේ. දරුවන්ට පලතුරු දෙන විට පලතුරු සලාදයක් ලෙස සකසා දෙන්න. කෑමට ප‍්‍රියතාවය වැඩි වනවා සේ ම ගුණය ද වැඩි වේ. එයට අලිගැටපේර නෙල්ලි, වෙරළු, ලොවි, ජම්බු ආදී සාමාන්‍යෙයෙන් පලතුරු සලාද වලට එක් නොකරන පලතුරු වර්ගද රසය නොවෙනස් වන සේ කුඩා පුමාණ වලින් හෝ දමා ගත හැකි ය. ආහාරය විවිධ වර්ග වලින් සරු වුණ තරමට පෝෂණ ගුණය ඉහළ යයි.
දවසකට ග්?ම් 400ක පමණ ප‍්‍රමාණයක් එළවළු හා පළතුරු දෙකෙන්ම වර්ග පහකින් පමණ ආහාරයට ගැනීම වැදගත් බව පෝෂණවේදීන් පවසන්නේ හේතු ඇතිවය. එසේ වැඩි ප‍්‍රමාණයකින් ගත යුත්තේ එවිට වැඩි තන්තු පුමාණයක් සිරුරට ලැබෙන බැවිනි. කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට,  සීනි අවශෝෂණය අඩු කර ගැනීමට. අන්ත‍්‍රයේ මනා ක‍්‍රියාකාරිත්වය නිසා මළ බද්ධය සුව කර ගැනීමට  පමණක් නොව  එයින් පිළිකා රෝග පවා අවම කරගැනීමටද පවා ‘තන්තු’ වැදගත් වේ.  වසරේ සෑම දිනකම හිරු එළිය ඇති, නිසි කලට වැසි වැටෙන සරු පසකින් යුතු මහ පොළවක් ඇති රටක වෙසෙන අපේ ජනතාව පෝෂණ ඌණතාවයන්ගෙන් පෙළීම කනගාටුදායක තත්ත්වයකි. ජීවන වියදම වැඩි බව සැබෑ ය.  එහෙත් අප නිසි ලෙස අවධානයක් යොමු කරනවා නම් සමබර ආහාර වේලක් අඩු මුදලකින් සකස් කර ගැනීම අපහසු නැත.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.