lakbima.lk



අංශභාගය වැලඳුණු රෝගියෙකු සිටින නිවසක ජීවත්වන ඇත්තන් තරමට එම රෝගයේ ශෝචනීය බව අත්දකින තවත් අය නැති තරම්ය. තම පවු‍ලේම සාමාජිකයෙකු කෙසේ වෙතත් ළඟම නෑයෙකු හෝ අංශභාග රෝගයෙන් පීඩා විඳින තරමට එය අද බහුල රෝගයක්ව තිබේ.
හතළිස් දෙනෙකුට ඉඩපහසුකම් ඇති වැඩිහිටි වාට්ටුවක තුන්හතර දෙනෙකුම අංශභාග රෝගීන් යැයි පැවසුවහොත් මෙම රෝගයේ ඇති සුලබ බව දැනී ඔබටද යම් තිගැස්මක් හටගනු නිසැකය.

ඔබගේ අතක හෝ කකුලක විශාල බරක් ගැට ගසා නැගිට ගන්න, හැරෙන්න, පෙරළෙන්න බැරි ආකාරයකට ඇඳකට කර ඇත්නම් එතැන් සිට ඔබට කරන්නට හැක්කේ කුමක්ද? නැවත නැගිට ගන්නේ කවදාද යන්න ඔබට සිහිනයක් විය හැකිය. මෙම තත්ත්වයට පත්වන සමහරුන් විනාඩි කිහිපයකින් නැවත යථා තත්ත්වයට පත් වුවද බහුතරයකට එය කල් පවතින රෝගී තත්ත්වයක් වනු ඇත.
වසරින් වසර ජීවිතය ගෙවී යද්දී අපේ ජීවිතයට උරුමව තිබූ යම් යම් දේ අහිමි වී යෑම නවතාලිය හැකි නොවේ. වසර දහතුනක පාසල් ජීවිතයට සමුදී අලුත්ම ලෝකයකට පිවිසුනාට පසුව නැවත අපට පාසල් ජීවිතයට යා නොහැකිය. අවුරුදු හතළිහට ආසන්න වූ විටදී පුංචි අකුරු කියවා ගන්න බැරි තරමට ඇස් පෙනීම දුර්වල වීමත්, පනහට කිට්ටුවන විටදී කළු පැහැයෙන් පැවැති කෙස් ගස් සුදු වෙන්නට පටන් ගැනීමත් අපේ මේ මනුස්ස ජීවිතයේදී අපි මුහුණ දෙන ඉතාම සරල සංසිද්ධීන්ය. එහෙත් ඊට වඩා එහා ගිය බරපතළ ශාරීරික වෙනස්කම් ශරීරයට සාමාන්‍ය දෙයක් වුවද එම ශරීරයේ හිමිකරුවාට නම් එය දුක් කරදර ගොඩකි.
අතක් හෝ කකුලක් පණ නැති වී යෑම එදා පටන්ම හඳුන්වන්නේ අංශභාගය ලෙසයි. අතීතයේ පටන් එසේ හඳුන්වන අංශභාග රෝගයට හේතුව මොළයේ නහරයක් සිරවීමක් හෝ පුපුරා යෑමක් ලෙස වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග පසු කාලයේදී සොයා ගැණින. එම තත්ත්වය නිශ්චිතවම හඳුනා ගන්නට හැකි වන්නේ මොළයේ සීටී ස්කෑන් පරීක්ෂණයකට පසුවයි. මොළයේ නහරයක් පුපුරා ගිය විටදී සීටී ස්කෑන් පරීක්ෂණයේදී සුදු පැහැති ගුලියක් එක්වරම පෙන්නුම් කරයි. නහරයක ‍ලේ කැටියක් සිරවී ඇතිනම් එය ඒ මොහොතේදීම පෙන්නුම් කරන්නේ නැත. එහෙත් පැය කිහිපයකට පසුව නැවත සිදු කරන සීටී ස්කෑන් පරීක්ෂණයක එය කළු පැහැති පැල්ලමක් ආකාරයට දිස් වනු ඇත.
‍ලේ නහරයක් පුපුරා ගොස් එකතු වූ ‍ලේ විශාල ප්‍රමාණයක් ගුලියක් ආකාරයට එක්රැස් වී ඇත්නම් එය ක්ෂණික ශල්‍ය කර්මයක් මගින් ඉවත් කරන්නට සිදු වේ. කුඩා ‍ලේ ගුලියක් නම් සෙමින් සෙමින් එය ඉබේම උරා ගැනීම සිදුවේ. මෙවැනි තත්ත්වයකදී බෙහෙත් වලින් සැලසෙන සැලකිය යුතු යහපතක් නැත.

‍ලේ නහරයක් සිරවී ඇත්නම් දෙවනුව කරන පරීක්ෂණයේදී හසුවෙන කළු පැහැති පැල්ම මගින් මොළයේ මියගිය යම් කොටසක් පෙන්නුම් කරයි. එම කළු පැහැති පැල්ලම මගින් සිර වූ නහරය විසින් මතෛක් කල් නඩත්තු කරන ලද මොළයේ යම් කොටසකට ‍පෝෂණය නොලැබි යෑමෙන්, එම කොටස මිය යෑම පෙන්නුම් කෙරේ. එහි ප්‍රතිඵලය වන්නේ මොළයේ එම කොටස විසින් මතෛක් කල් රැකබලා ගත් ශරීර කොටස් ක්‍රියාවිරහිතව යෑමයි.
එක්වරම හටගන්නා එවැනි ‍ලේ කැටියක් දියකර හැරීමට සමත් ඖෂධ ප්‍රධාන රෝහල් තුළ රෝගීන් වෙනුවෙන් සූදානම්ව තිබේ. එබැවින් අතක් හෝ පයක් පණ නැති වූ විගසම සීටී ස්කෑන් පහසුකම් පවතින රෝහලකට රෝගියා රැගෙන යන්නට භාරකරුවන් වගබලා ගත යුතුවේ.
මොළයට ‍පෝෂණයක් නොමැතිව පැය හතරකට වඩා පැවැතිය නොහැකි නිසා ‍ලේ කැටිය ඉවත් කිරීම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු යටතේ ඉතාම ඉක්මනින් සිදුවිය යුතු දෙයකි. ‍ලේ කැටිය දියකරන්නට පමාවන මොහොතක් පාසා මිය යන්නේ මළෙයේ කොටස්ය. එය නැවත යථා තත්ත්වයට පත් කළ හැකි වන්නේද නැත.
එක් එක් අමාත්‍යාංශය යටතට පවරා ඇති නිශ්චිත කාර්යභාරයක් ඇති ආකාරයට මොළයේ එක් එක් කොටස විවිධ කාර්ය භාරයක් වෙන්කරගෙන සිටී.

ඔබගේ ශරීරයේ දකුණු පැත්ත බලා ගත්තේ මොළයේ වම් පැත්තේ එක්තරා කොටසක් විසින්ය. මොළයේ වම් පැත්තේ නහරයක් අකර්මණ්‍ය වූ විට ශරීරයේ දකුණු පස එසැනින් අප්‍රාණික වේ. කතා කිරීමට, ලියන්නට අවශ්‍ය කරන සියලු වචන ගබඩා වී ඇත්තේ මොළයේ වම් පැත්තේ කුඩා ප්‍රදේශයක වන නිසා කතා කිරීමට හා යමක් තේරුම්කර දීමට මතෛක් භාවිතා කළ වචන සියල්ල මතකයෙන් ගිලිහී යෑම එයත් සමග සිදුවේ. එතැන් පටන් එම රෝගියා දන්නා හඳුනන කිසිවෙකු නැති රටක තනි වූ තත්ත්වයකට පත් වන්නේ රෝගියා පවසන කිසිවක් අන් අයට නොතේරීමත් අන් අය පවසන කිසිවක් රෝගියාට වටහා ගන්නට නොහැකි වීමත් නිසාය.
මොළයේ පසුපසට වන්නට පිහිටා ඇති ස්ථාන කිහිපයක් මගින් අපට ඇසෙන, දැනෙන සහ පෙනෙන දේවල් පාලනය කිරීම සිදුවේ. එවැනි කොටස් වලින් එකකට හානි සිදු වූ විටදී අනෙක් පස හිරිවැටී ඇස් අන්ධකාර වී යයි. ඇස් දෙකේම වම් පැත්තේ හෝ ඇස් දෙකේම දකුණු පැත්තේ හරි අඩක් එවිට නොපෙනී යයි. මෙවැනි තත්ත්වයක් තුළ වෛද්‍ය ප්‍රතිකාර පතා අක්ෂි වෛද්‍යවරයෙකු වෙත යෑම නිෂ්ඵල බව ඔබට අවබෝධ විය යුතුවේ.
මෙවැනි ශෝකජනක ඉරණමක් අත්වූ රෝගියෙකු රැකබලා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එය දිවා රෑ වෙහෙසෙමින් නිදිවරා බොහො ්කැප කිරීම් මැද කරන්නට පවු‍ලේ උදවියට සිදුවේ. එහෙත් එවැනි රෝගියෙකු රැක බලා ගැනීම දැනුමක් හා අවබෝධයක් නැතිව කළ හැකි දෙයක්ද නොවේ. ඒ නිසාම රෝගියාට පීඩාවන් අවම වන ආකාරයට අංශභාග රෝගියෙකු රැකබලා ගන්නේ කෙසේදැයි ඔබව දැනුවත් කරන්නට අප අදහස් කළෙමු.

සෙම සිරවීමෙන් රෝගියා රැක ගැනීම
මෙවැනි තත්ත්වයකට පත් වූ රෝගියෙකු මුලදීම මුහුණ දෙන බරපතළම ගැටලුව වන්නේ ආහාර පාන ගිලීමේ අපහසුවයි. කොතරම් කුසගිනි, පිපාසා ඇති වුවද එය කියා ගන්නට නොහැකිව රෝගියා අසරණ වේ.
කෙසේ හෝ කුසගින්නට හෝ පිපාසයට යමක් ලැබුණද එය ගිලගත නොහැකියි. ගිලින්නට උත්සාහ දරන විටදී දියර වර්ග පිට උගුරේ යාම සිදුවේ. එහෙත් එය ඉවත් කර ගන්නට කහින්නටවත් හැකියාවක් නැති වූ විට රෝගියා මොනතරම් නම් අසරණ වනවාද? එවිට හුස්ම හිරවුවද රෝගියාට කරන්නට හැකි දෙයක් නැත.
කහින්නටවත්, එකතුවන සෙම බැහැර කරන්නටවත් අංශභාග රෝගියෙකුට නොහැකි නිසා උගුරේ එකතුවන සෙම, කෙළ සිරවීමෙන් රෝගියා ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව පවු‍ලේ අයට සිතන්නට සිදුවේ. ඇඳේ වැතිර සිටියද රෝගියා පැත්තකට හරවා තබන්නට අවශ්‍යය. සියලු සත්කාර කළ යුතු වන්නේ රෝගියාගේ කට කෙළවර පහළට නෙරා සිටින ආකාරයටය.
ඇඳ තුවාල වලින් රැක ගැනීමට

රෝගියෙකු ඇඳ මත තැබිය යුතු වන්නේ අප්‍රාණික පැත්ත ඉහළට පවතින ආකාරයට ප්‍රාණවත් ප්‍රදේශය ඇඳට ස්පර්ශවය. එහෙත් එවිටද ඒ පැත්ත දිගින් දිගටම මෙට්ටයට තද වී තිබිම නිසා උකුල් ඇටය, තුනටිය වැනි තැන්වල ගැඹුරු තුවාල හටගත හැකිය. එසේ නොවන්නට පැය තුනකට වරක්වත් රෝගියාගේ ඉරියව් වෙනස් කරන්නට භාරකරුවන් අමතක නොකළ යුතුය. එසේ කළ නොහැකි නම් මෙවැනි එක්තැන් වූ රෝගීන් සඳහාම නිෂ්පාදනය කර ඇති වතුර මෙට්ටයක් හෝ සුළං මෙට්ටයක් ෆාමසියකින් මිලදී ගත හැකිය.

 


ආහාර ඇතුළු කරන්නටත් මුත්‍රා පිටකරන්නටත් යොදන බට භාවිතයේදී රෝගියා රෝහල්ගතව සිටින කාලයේදී ආහාරපාන ඇතුළු කරන්නට බටයක් සහ මුත්‍රා බැහැර වන්නට බටයක් යොදනු ලබයි. ආහාරපාන සඳහා වූ බටය නාසය තුළින් බඩට ඇතුළු කරන අතර ඒ හරහා සුප්, කැඳ, බිත්තර, පිටිකිරි, පලතුරු යුෂ විටින්විට ලබාදිය හැකිය. එහෙත් මෙවැනි රෝගීන්ට කෙඳි ආහාර නොලැබි යා හැකි නිසා එළවළු, පලතුරු සියුම්ව බ්ලෙන්ඩ් කර ලබා දෙන්නටද පියවර ගත යුතුය. ආහාරයක රසක් දැනෙන්නට ආකාරයක් නැති නිසා ලුණු සීනි එතරම් අවශ්‍ය වන්නේ නැත. බැරිවීමකින් රෝගියා බටය ඉහළට ඇඳගෙන ඇත්නම් භාරකරුවා එය නැවත ඇතුළු කරන්නට උත්සාහ නොදැරිය යුතු අතර වෛද්‍යවරයා ලවා අලුත් බටයක් ඇතුළු කර ගන්නට සිදුවේ. එලෙස බටය ඉහළට ඇදී ඇති ආකාරයක් පෙනේ නම් තවදුරටත් ආහාරපාන ඇතුළු නොකිරීමට පරිස්සම් විය යුතු වන්නේ බටයේ පහළ කෙළවර පපුවේ යම් අනාරක්ෂිත තැනක රැඳී තිබිය හැකි නිසාය.
මාසයක් පමණ ගත වන විටදී ගිලීමේ හැකියාව නැවත ලැබෙන නිසා ආහාර මාර්ගයට දැමූ බටය ඉවත් කළ හැකිය. එහෙත් මුත්‍රා මාර්ගයට යෙදූ බටය දිගු කාලයක් තබා ගන්නට සිදුවේ.

රෝගියා සමග කතා කරන්න
රෝගියාට කතා කරන්නට නොහැකි වුවත් ළඟම ඥාතීන් රෝගියා සමග දිගටම කතා කිරීම අවශ්‍යය. ඔහු එතෙක් ජීවත් වූ පරිසරයේ විශාල වෙනසක් සිදු කරන්නට උත්සාහ නොකරන්න. අලුත් පුද්ගලයන් හඳුන්වාදීම මගින් රෝගියා මානසිකව කඩා වැටීමකට ලක්විය හැකි නිසා එවැනි දේ මගහරවන්න.

පණ නැති කොටස් නිතර චලනය කරවීම

අප්‍රාණික අත් පා ඇඟිලි සන්ධි නවන්නේ දිගහරින්නේ නැතිව දිගු කාලයක් තිබෙන්නට හැරීමෙන් ඒවා නැවත එහාමෙහා කරන්නට බැරි ආකාරයට සවි විය හැකිය. එවැනි තත්ත්වයකට පත් වූ විටදී එම සන්ධි නැවත නැවීම හෝ දිගහැරීම දැඩි වේදනාකාරී වන නිසා මුල සිටම රෝගියාගේ භාරකරුවන් අප්‍රාණික කොටසේ අවයවයන්ට ව්‍යායාමයක් ලබාදීම කළ යුතු වේ.
අංශභාගය වැලඳුන දියවැඩියා රෝගියෙකු සම්බන්ධයෙන් දියවැඩියා රෝගියෙකුගේ ශරීරයෙන් නිතර නිතර මුත්‍රා පිටවන නිසා දිය පිපාසයද දිගින් දිගටම හට ගනී. එවැනි දියවැඩියා රෝගියෙකුට අංශභාගය වැලඳී කතා කරන්නටද බැරි තත්ත්වයට පත් වී ඇති නම් කොතරම් පිපාසයක් දැනුණත් එය පවසන්නට හැකියාවක් නැත. තමන්ගේ අංශභාග රෝගියා දියවැඩියාවෙන්ද පෙළෙනවා නම් නිතර හට ගන්නා පිපාසය පිළිබඳවත් භාරකරුවන්ට කල්පනාකාරීව සිටින්නට සිදුවේ.

කෘමි සතුන්ගෙන් වන ගැහැට රෝගියාගේ සිරුරේ වසන මදුරුවෙකු ඇතිවන තුරුම ‍ලේ බි ඉවත්ව යන තුරු රෝගියාට කළ හැකි දෙයක් නැත. මෙවැනි රෝගීන්ට කුහුඹුවන්ගෙන්ද කොතෙකුත් ගැහැට සිදුවේ. සමහර රෝගීන්ගේ සිරුරේ කුහුඹුවන් කා දැමූ අඟල් දෙක තුනක පදාස දැකගත හැකිය.
අංශභාගය වැලඳී රෝහ‍ලේ ඇඳකට වැටෙන රෝගියෙකුට කලින් එම ඇඳේ සිටි රෝගියෙකුට වැලඳී තිබූ පණු හොරි හෝ කසන සුළු චර්ම රෝග බෝවන අවස්ථා තිබේ. එවැනි කසන රෝගයක් හට ගත්තද මෙවැනි රෝගියෙකු තම සිරුර කසා ගන්නවත් නොහැකි ආකාරයට අසරණ වන බව භාරකරුවන් අමතක නොකළ යුතු වේ.

රෝගියාගේ නින්ද
අපට මෙන් දිවා රෑ වෙනසක් අංශභාග රෝගියෙකුට දැනෙන්නේ නැත. රාත්‍රිය කියා වෙනසක් නැති අතර අපට මෙන් රාත්‍රියට නින්ද යන්නේද නැත. එසේ වුවද නින්ද ලබාදීමට රෝගියාට නිදිපෙති නිතර ලබා දීම සුදුසු නොවන්නේ රෝගියා ඊටම ඇබ්බැහි විය හැකි නිසාය.

නිය කැපීම සහ ඇඳුම් ඇන්දවීම
අප්‍රාණික අත්පා වලද නිය වැවීම නතර වන්නේ නැත. ඒ බව මතකයේ තබා ගනිමින් නිය වැවී ඇත්නම් කපා දැමීමට භාරකරුවන් කටයුතු කළ යුතුවේ. එහිදීද පළපුරුදු අයෙකු විසින් ඉතා සීරුවට නිය කැපීම අවශ්‍ය වන්නේ නිය‍පොත්තට යටින් ඇති සංවේදී සමට හානියක් නොවන ආකාරයටය.
වෛද්‍යවරයකු වෙත රැගෙන යන්නට අවශ්‍ය වන රෝගියෙකුට ඇඳුම් අන්දවන්නට සිදුවන්නේද භාරකරුවන්ටය. මෙහිදී පිරිමි රෝගියෙකුට කලිසම අන්දවා සිප් එක දැමීම ඉතාමත් කල්පනාවෙන් හා සීරුවට කරන්නට භාරකරුවන් වගබලා ගත යුතුය. කලබලයෙන් කළිසම අන්දවා සිප් එක දමන්නට උත්සාහ කිරීමේදී රෝගියාගේ ලිංගේන්ද්‍රියේ සම සිප් එකට හසුවීම උසුලාගන්නට බැරි තරම් විශාල වේදනාවක් බව රෝගියාට කළිසම අන්දවන තැනැත්තාට බොහෝවිට දන්නේ නැත.


මුත්‍රා බෑගය පිළිබඳව පරීක්ෂාකාරී වන්න
මුත්‍රා මාර්ගයට බටයක් ඇතුළු කර ඇති විටදී මුත්‍රා බෑගය මුත්‍රාවලින් පිරී ඇතිදැයි විමසිල්ලෙන් සිටින්නට භාරකරුවන්ට සිදු වේ. බෑගය සම්පූර්ණයෙන්ම මුත්‍රා වලින් පිරී ගිය විටදී තවත් ඊට දියර එකතු වන්නට ඉඩක් නැතිව රෝගියාට මුත්‍රා සිරවීම සිදු වනු ඇත. බටය නිසා මුත්‍රා කාන්දු වීමේ හැකියාවක්ද නැති නිසා මෙවැනි විටෙක රෝගියාට සිදුවන අපහසුතාවය පිළිබඳව විමසිල්ලෙන් සිටින්නට සිදුවේ.
වෙනත් රෝගයකට ගොදුරු වී මිය නොගිය පුද්ගලයෙකු වයස්ගත වීමත් සමග අවසන් කාලයේදී අංශභාග තත්ත්වයට පත්විය හැකිය. ඊට අමතරව පාලනය නොවූ දියවැඩියාව අධිරුධිර පීඩනය හෝ කොලෙස්ටරෝල් හේතු කොටගෙනද යම් පුද්ගලයෙකු අංශභාග තත්ත්වයට පත්විය හැකිය.  
අධිරුධිර පීඩනයෙන් හෝ දියවැඩියාවෙන් පෙළෙන රෝගියෙකුට නිවසේ සිටම රුධිර පීඩනයත් සීනි මට්ටමත් මැණගත හැකි ස්වයංක්‍රීය උපරකණ දැන් පහසුවෙන් මිලදී ගත හැකිය. මෙතරම් දියුණු වෛද්‍ය විද්‍යාවක් සහ සූක්ෂම තාක්ෂණික උපකරණ පවතිද්දී ඉන් පලප්‍රයෝජන නොගෙන මිහිපිට ඇති සියලු දුක් කරදර විඳිමින් මැරි මැරී ජීවත් වන්නට සිදුවන අංශභාග රෝගියෙකු බවට පත්වනවාද යන තීරණය ඇත්තේද ඔබේ අතේමය.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.