lakbima.lk

අඩු වයසින් මල්වර වූ දැරියක් නිසි සැලකිල්ලකින් රැක බලා ගත යුතුයි

නිසි වයසට එළැඹෙන්නට පෙරාතුව දැරියන් මල්වරවීම දැන් දැන් සුලබව පවතින තත්ත්වයකි. අවුරුදු හත අට තරමේ නොතේරෙන වයසක දැරියක මල්වර වීම ඇයට කායිකවත් මානසිකවත් කොතෙකුත් ගැටලු ඇති කරවන්නක් බව අමුතුවෙන් පැවැසිය යුතු නොවේ.

කුඩා කාලයේ පටන් දැරියන්ට හුරු කර වූ වැරදි ආහාර පුරුදු මෙන්ම නිසි ව්‍යායාම නැතිකම නිසා අධි‍පෝෂණ තත්ත්වයට හෝ ස්ථුලභාවයට පත්වීමද මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව බව හඳුනාගෙන තිබේ. ඒ සමගම ආහාරපානවල අඩංගු හෝමෝන ක්‍රියාකාරිත්වය උත්තේජනය කරන සමහර සංඝටකයන්ද මේ සඳහා යම් බලපෑමක් ඇති කරවිය හැකියි.

අඩු වයසින් මල්වර වීම නිසා දරුඵල අහිමිවන  බවටත් ආර්ථභාවය කලින් සිදුවන බවටත් පවතින මත තහවුරු වූ ඒවාම නොවේ. එහෙත් බොහෝ විට එතැන් පටන් සිදුවන මෙම සන්සිද්ධියට ඇය මානසිකවත් කායිකවත් සූදානම් නොවීම ඇගේ අධ්‍යාපන කටයුතුවලටත් එදිනෙදා වෙනත් කාර්යයන් සඳහාත් යම් අයහපත් බලපෑමක් සිදුකළ හැකියි. ඒ නිසාම සැහැල්ලුවෙන් හා සුන්දරව ගත කරන්නට ඇති ළමා කාලය මානසික සහ කායික අපහසුතා මැද ගත කරන්නට සිදු වීමද හිතකර නොවේ.

මෙම තත්ත්වය යම් පමණකට හෝ වළක්වා ගැනීමේ හැකියාව ඇත්තේ විශේෂයෙන් මව්වරුන් අතය. අවුරුදු හය හත වයසේ පටන්ම තම දියණියගේ ‍පෝෂණය පිළිබඳව වැඩිහිටියන්ගේ විශේෂ අවධානය පැවැතිය යුතුය. නිවැරදි ආහාර රටාවක් මගින් උසට සරිලන බරක් පවත්වා ගෙන යන්නටත් නිසි ව්‍යායාම වලට ඇය යොමු කරවන්නටත් මව්පියන් කටයුතු කළ යුතුවේ.

අධි‍පෝෂ්‍ය ආහාර, මස් වර්ග, සොසේජස්, සකසන ලද මස් ආහාර, චීස්, කෘත්‍රිම රසායනික යෙදූ ආහාර හැකිතාක් අවමව ලබා දීමටත් ශරීරයට අධික කැලරි ප්‍රමාණයක් ලැබෙන පැණි බිම, රසකළ කිරි පාලනයකින් යුතුව ලබා දෙන්නටත් වැඩිහිටියන් කල්පනාකාරී විය යුතුය.

නිසි වියට පත්ව මල්වර වූ දියණියක කෙරෙහි දක්වන සැලකිල්ලට වඩා වැඩි සැලකිල්ලක් දක්වමින් අඩු වයසින් මල්වර වූ දියණිය රැකබලා ගැනීම මවගේ වගකීමකි.

අඩු වයසින් මල්වර වුවද නිසි වයසින් මල්වර වුවද සමහර දියණියන්ගේ ඔසප් චක්‍රය ක්‍රමවත්ව සිදු නොවීම ඇයට ඇති ඊළඟ ගැටලුවයි. මාස කිහිපයකට වරක් ඔසප් වීමත් එක දිගට වැඩි වශයෙන් ඔසප් වීමත් ආකාරයට මෙම අක්‍රමවත් බව පැවැතිය හැකිය. මෙය බරපතළ රෝගී තත්ත්වයක් සේ නොසැලකිය යුතු වුවත් වෛද්‍ය උපදෙස් කරා යොමුවීම සුදුසු වන්නකි. ඔසප් චක්‍රය ක්‍රියාත්මක කිරීමට ප්‍රධාන වන හෝමෝන ස්‍රාවයන් සිදුකරන ග්‍රන්ථින්ගේ වර්ධනය පූර්ණත්වයට පත්වීම මල්වර වීමත් සමගම සිදු නොවීම ඊට බලපෑ හැකිය.

එලෙස එම ග්‍රන්ථීන් පූර්ණත්වයට පත් වන්නට දැරියට වයස අවුරුදු විස්සක් පමණ ගත විය හැකිය. එතෙක් ඇයගේ හෝමෝන යාන්ද්‍රණය නිසි පරිදි ක්‍රියාත්මක නොවන නිසා අවුරුදු විස්සක් පමණ වන තුරු දියණියකගේ ඔසප් චක්‍රය අක්‍රමවත් වීම පිළිබඳව කලබලවිය යුතු නොවේ.  එහෙත් ඔසප් වීම නිතර නිතර හට ගනිමින් එක දිගට වැඩිපුර රුධිරය පිටවීම ඇයට ශාරීරික හා මානසික පීඩාවක් හෝ නිරක්ති තත්ත්වයක් ඇතිකරවයි නම් වෛද්‍ය උපදෙස් කරා යොමු වීම සුදුසුයි.

උත්පලා සුභාෂිනී ජයසේකර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.