lakbima.lk

බිලිඳාගේ වමනයට හේතු


කුඩා දරුවන්ට වැලඳෙන  විවිධ රෝගාබාධ නිසා දෙමාපිය වැඩිහිටියන් අතිශයින් බියට කණස්සල්ලට පත්වන බව නොරහසකි. මේ රෝග රැස අතර 'වමනය' දරුවන් අතර නිතර වාර්තා වන සුලබ එකකි. වමනය යනු උදරයේ මාංශපේෂී සේම පපු ප්‍රදේශයේද මාංශපේශී හැකිලෙමින් ආමාශයේ ඇති ආහාර වර්ග, පිටතට තල්ලු කර දැමීමකි. එනම් ඒවා ශරීරයෙන් ප්‍රතික්‍ෂේප
කිරීමකි.
'වමනය' ආමාශයේ කිසියම් රෝගී තත්ත්වයක් නිසා ඇතිවන ඉතාම සරල සංසිද්ධියක් සේ කෙනෙකු දකින්නත් වුවද, එය ඔබ නොසිතන හේතු රාශියක් නිසා හටගත හැකි ඉතා සංකීර්ණ, සංඥාවක් බැවින් දරුවන්ගේ වමනය ගැන වූ මේ තොරතුරු වැඩිහිටියන්   දැන සිටීම අතිශය
වැදගත්ය.
වමනය ඇති කරන්නේ මොළයේ පිහිටා තිබෙන, ඒ හා සම්බන්ධ මධ්‍යස්ථානයේ පණිවුඩයකට අනුවය. ආහාර ජීර්ණ පද්ධතියේ කිසියම් රෝගී තත්ත්වයක්, බඩේ අජීර්ණයක් වැනි දෙයක් නිසා වමනය හටගන්නා බව සුලබ හේතුවක් වුවද, කිසියම් විෂක් ශරීරගත විටකදී, සමහර ඖෂධ වර්ග නිසා ශරීරයේ ලවණ තත්ත්වයේ වෙනස්කමක් නිසා, පරිවෘත්තීය ක්‍රියාවලියේ කිසියම් ගැටලුවක් නිසා, ශරීරයේ සේම මොළයේ
රුධිර පීඩනය ඉහළයාම, ශරීරයේ හෝමෝන මට්ටම්වල වෙනස්කම්, මොළයේ කිසියම් ගැටිත්තක් පිළිකා තත්ත්වයක්, ආහාර විෂ වීමක් ස්වසන ආබාධ නිසා සේම මානසික ආතති තත්ත්ව හේතුකරගෙනද වමනය ඇතිවිය හැකිය.
සාමාන්‍යයෙන් ඉපදුන හැටියේ, මුල්ම කිරි වේල ලබා ගනිද්දී දරුවෙකුට වමනය හට ගනී නම් ඒ ආමාශයට පහළින් පිහිටි කුඩා බඩවැල් සිහින්වීමක් නිසා විය හැකිය. එසේම ගලනාලය, ස්වාසනාලය අතර යාවීමක් නිසාද මෙසේ විය හැක. ගලනාලයේ සිහින් වීමක්ද, උපන් හැටියේ වමනයකට හේතුවිය හැකිය.
උපන් දිනවල එවැනි ගැටලුවකින් තොරව සිටි බිලිඳෙකු වයස මාසයක් හමාරක් පමණ ගතවනවිට කිරි වමනය කරයි නම්  ඒද ආමාශයේ සිහින්වීමක් නිසා වීමට පිළිවන. මෙවැනි කුඩා බිලිඳුන්ගේ වමනය සමග පිත කලවම් වී කොළපාටට වමනය පිටවේ නම් එය ඉතාම ඉක්මනින්
රෝහල් ගත විය යුතු තත්ත්වයකි.
එසේම මුල් අවුරුද්ද තුළ දරුවෙකුට වමනය මතුවීම සමහර විට කිරි ‍ප්‍රෝටීන අසාත්මිකවීමක් හේතුකරගෙන මතුවන රෝග ලක්ෂණයක් වීමට පිළිවන. එසේම මුත්‍රා ආසාදන, වකුගඩුවේ රෝගී තත්ත්වයක්. 'මෙනින්ජයිටිස්' වැනි රෝගයක්, නිසාද දරුවෙකුට වමනය යා හැකිය. දරුවෙකු තදබල ලෙස දියවැඩියාවෙන් පෙළෙන අවස්ථාවකදීද වමනය මතුවීමට ඉඩ තිබේ. තදබල උණක් ඇති විටද වමනය යා හැකිය. මේ ආකාරයට ඉතා පුළුල් පරාසයක විහිදුණු හේතු රාශියක් වමනයක් පිටපුස සැඟව තිබිමට පුළුවන. වමනය යනු රෝගයක් නොවේ. එය ශරීරයේ සැඟව පවතින කිසියම් රෝගයක් ගැන දැනුම්දීම සඳහා ක්‍රියාත්මක වන
සංඥාවක් බව තේරුම් ගත යුතුය.
එබැවින් දරුවෙකුගේ වමනයක් නිකම්ම නිකම් බඩේ අජීර්ණයක් නිසා හටගන්නක් පමණක් නොවන බව වටහා ගැනීමද වැදගත්ය. එබැවින් වමනය ගැන කල්පනාකාරීව සිට  එහි වර්ධනයක් පෙනේ නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතීමට යොමුවන්න. මන්ද වමනයට හේතුව සොයාගෙන ප්‍රතිකාර ඇරඹිය යුතු වීමය. එසේම වමනය පවතින දරුවෙකුට පිටවන වමනය තරමට දියර වර්ග  ලබාදීමද  එපමණටම වැදගත්ය. එසේ කළ නොහැකි අවස්ථාවකදීද රෝහලක් වෙත යොමුවීමට ක්‍රියා කළ යුතුය.

උපදෙස්
කුලියාපිටිය මූලික රෝහ‍ලේ ළමාරෝග විශේෂඥ වෛද්‍ය
චින්තක රාජපක්ෂ

සාකච්ඡා කළා - නිර්මලා කුමාරි සේනාරත්න

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.