lakbima.lk

හිසකෙස් ඩයි කරන අය ඇලර්ජි ටෙස්ට් එකක් කළ යුතුයි

මැදිවිය පසුවන්නටත් පෙරාතුව කළු කෙස් සුදුපැහැ වන්නට පටන්ගැනීම වර්තමානයේ සුලබව දැකිය හැකි තත්ත්වයකි. ඒ නිසාම ඒවා  කෘත්‍රිමව වර්ණ ගන්වන්නට නොයෙක් ක්‍රම සොයන පිරිස්ද බොහෝය. එම අවශ්‍යතාව සපුරාලන්නට කෘත්‍රිම ඩයි වර්ගද කොතෙකුත් වෙළෙඳ පළේ දැකිය හැකිය.
එහෙත් එවැනි ඩයි වර්ගයක් තෝරාගැනීමේදී වෙළෙඳ ප්‍රචාරණයන්ට මුලා වී හෝ වෙනත් අයෙකුට ගැළපුන පමණින් එවැන්නක් තෝරා ගැනීම සුදුසු වන්නේ නැත. සුදු කෙස් වර්ණ ගන්වන්නට ඩයිවර්ගයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය පිළිබඳව අද අපි සාකච්ඡා කරමු.
හිතුමතේ ඩයි වර්ගයක් තෝරා නොගෙන නිපුණතාලත් රූපලාවන්‍ය- වේදියෙකුගේ උපදෙස් මත සිදු කරන ඇලජිටෙස්ට් නැතිනම් අසාත්මිකතා පරීක්ෂණයකට පසුව එවැන්නක් තෝරාගන්නට පරිස්සම් විය යුතුය. එහිදී අපගේ අවශ්‍යතාවය මත මෙටලික් හෝ පර්මනන්ට් යන ඩයි විශේෂ දෙවර්ගයෙන් කැමති වර්ගයකින් යම් නිෂ්පාදනයක් අපට තෝරාගැනීමට හැකියාව තිබේ.
මෙටලික් නමින් හැඳින්වෙන්නේ ජලය සමග මිශ්‍රකර ආ‍ලේප කරන්නට සිදුවන ඩයි වර්ගයයි. එලෙස වතුර සමග මිශ්‍රකර ආ‍ලේප කරන ඩයි වර්ග කෙස් ගස මතුපිටින් පමණක් වර්ණ ගන්වන අතරටික දිනක් ගත වනවිටදී කෙස් ගසේ කළු පැහැය අඩු වී දුඹුරු පැහැවීම සිදුවේ. එවිට නිතර නිතර එම ආ‍ලේපන ගල්වන්නටද සිදුවේ.
පර්මනන්ට් ඩයි ඩිවලපර් නමින් හැඳින්වෙන ඩයි තවත් ද්‍රාවණයක් සමග මිශ්‍රකර ආ‍ලේප කරනු ලබයි. එම වර්ණක කෙස්ගස අභ්‍යන්තරයට ගමන් කරමින් කෙස් වර්ණ ගැන්වීම සිදු කරයි.
පර්මනන්ට් හෝ මෙටලික් යන ඩයි දෙවර්ගය සම්බන්ධයෙන්ම අපට මතක තබා ගත යුතු කරුණ වන්නේ ඒ සියලු ඩයි වර්ග සියයට සියයක්ම ස්වභාවික ආ‍ලේපන නොවන බවය. ඒ බොහෝමයක රසායනික ද්‍රව්‍ය අඩංගුවන නිසාම භාවිත කිරීමද සැලකිලිමත්ව කළයුතු වන්නකි. ඕනෑම ඩයි වර්ගයක්. එහි සඳහන් උපදෙස්වලට අනුවම ගැල්විය යුතු අතර, එහි සඳහන් කර ඇති කාලසීමාව තුළ පමණක් තිබෙන්නට හැර ඩයි සියල්ල හොඳින් ඉවත්වනතුරු හිසකෙස් සෝදා පිරිසිදු කර ගත යුතුවේ.
හිසකෙස්වල ඩයි ගැල්වීම ඉතා සැලකිලිමත්ව හා ආරක්ෂාකාරීව කළ යුතු කාර්යයක් වන නිසා වඩා සුදුසු වන්නේ රූපලාවන්‍යගාරයකට ගොස් එය සිදුකර ගැනීමය.
බොහෝ අය නිවසේදී තම තමන්ට ඩයි ගැල්වීම සිදු කළද නිසි ක්‍රමවේදයට අනුව බොහෝ විට  එය සිදු නොවීම නිසා අනවශ්‍ය ආකාරයට හිස්කබ‍ලේ එම ආ‍ලේපනගැටීමද සිදුවේ. එය සෞඛ්‍යයට හිතකර නොවන්නකි. ඒ අතර ඩයි ගල්වා නොයෙක් වැඩපළවල නියැළෙමින් සිටීම නිසා නියමිත කාලයට වඩා වැඩි කාලයක් එම ඩයි හිසේ රැඳී තිබිමද සිදුවන දෙයකි. ආ‍ලේප කිරීමේදීද නළල කන් අසල අනවශ්‍ය ආකාරයට තැවරීමෙන් එම ස්ථාන සෝදන්නට යෑම නිසා ඒ ආශ්‍රිතව ගැල් වී ඇති ඩයි ඉවත් වී යාමක් සිදුවිය හැකිය.
දීර්ඝ කාලයක් භාවිත කළ ඩයි වර්ගයක් වුවද හිටිවනම අසාත්මික ලක්ෂණ ඇති කරන අවස්ථාද තිබේ. යම් යම් අපහසුතා, හිසරදය, අධිකව කැසීම වැනි ලක්ෂණ පවතිනවා නම් එය කොතරම් හුරු පුරුදු ආ‍ලේපනයක් වුවද ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍යය. ඒ අනුව ඊට පෙර එම ආ‍ලේපනය සඳහා අසාත්මිකතා පරීක්ෂණයක් සිදු කර තිබුණද නැවතත් එය කර ගැනීම අවශ්‍යය.
හෝමෝන වෙනස්කම් ඇතුළුව ශාරීරිකව සිදුවන යම් යම් වෙනස්කම්වලට පසුව ඒ ආකාරයට අසාත්මිකතා හටගන්නා අවස්ථා තිබේ. දරු ප්‍රසූතියකට පසුව සිදුවන හෝමෝන වෙනස්කම් නිසාද එවැනි තත්ත්වයන් ඇති විය හැකිය.  විශේෂයෙන් හිසට ගල්වන රසායනික අඩංගු වර්ණක නිසා හට ගන්නා අසාත්මිකතාවයන් අප සිතනවාට වඩා භයානක ප්‍රතිඵල ළඟා කර විය හැකිය. ඒ නිසා හොඳම දෙය වන්නේ නිතර ඩයි ගල්වන අය වසරකට වරක්වත් ඇලජි ටෙස්ට් එකක් සිදු කර ගැනීමය.

උත්පලා සුභාෂිනී ජයසේකර\උපදෙස්
මාවරමණ්ඩිය සහ දෙල්ගොඩ සෙරන්ඩින් සැලොන් ඇන්ඩ් ඇකඩමිහි ප්‍රවීණ රූපලාවන්‍ය සහ  කේෂාලංකරණ ශිල්පී
මංගල පතිරාජ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.