lakbima.lk

එකම බෙහෙත දිගටම ගැනීම අහිතකරද?

ලෙඩවීම මනුෂ්‍ය ස්වභාවයයි. එලෙස ලෙඩ වූ විට අකමැත්තෙන් වුවත් අපට බෙහෙත් ගන්නට සිදුවේ. ඒ බෙහෙතේ බලයෙන් රෝගය සුවපත් වීම හෝ එය පාලනය කරගෙන ජීවිතයට මුහුණ දෙන්නට බොහෝවිට හැකියාව ලැබේ. යම් බෙහෙතකින් මනුෂ්‍ය ශරීරයකට ඒ හැකියාව ලැබෙන්නේ කෙසේදැයි දැන් අපි විමසා බලමු.

ලුණු කැටයක් වතුරේ දිය කළ විට වතුර ලුණු රසය ගන්නා අතර ලුණු කැටය අතුරුදහන් වීම සිදුවේ. එලෙස වතුරේ දියවීමත් සමග ලුණු කැටයට සිදුවූයේ කුමක්ද? එය ඉතා කුඩා අංශු මාත්‍රවලට කැඩීබිඳී විසිරී ගොස් තිබේ. එම අංශු අපේ පියවි ඇසට නොපෙනෙන තරමේ ඉතා කුඩා ඒවාය.

යම් බෙහෙතක් ඔබට වැටුණු විට සිදුවන්නේද එයමය. එවිට එම බෙහෙත ඉතා කුඩා අංශු මාත්‍ර වී ශරීරයට වතුර උරා ගන්නා ආකාරයටම උරා ගැනීම සිදුවේ. සමහර බෙහෙත් වතුර ආකාරයටම ශරීරයෙන් පිටවීම සිදුවේ. ඒ අප ගන්නා බොහෝ බෙහෙත් ශරීරය තුළ එක් දිනක්වත් රැඳෙන්නේ නැත. දිනක් පුරාවට ශරීරයේ රැඳෙන යම් බෙහෙතක් වේ නම් එම බෙහෙත දවසකට එක්වරක් පමණකැයි වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබයි. සමහර බෙහෙත් නිර්දේශ කරන්නේ දවසට දෙවරක් හෝ තුන්වරක් ගන්නා ලෙසය.

මේ ආකාරයට අප ගන්නා සමහර බෙහෙත් මුත්‍රා සමග වකුගඩු වලින් බැහැර වේ. තවත් සමහර බෙහෙත් අක්මාව හරහා මළ සමග පිටවේ. ඒ නිසා වකුගඩු හෝ අක්මාවේ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙනා බව දන්නා රෝගීන් ඕනෑම බෙහෙතක් ගැනීමේදී ඒ පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීම වඩා සුදුසුය.

දියවැඩියාව අධි රුධිර පීඩනය වැනි රෝග සඳහා ගන්නා බෙහෙත් නතර කළ නොහැකිද?

දියවැඩියාව අධිරුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් ශරීරයේ ස්ථිර කඩා වැටීමක් පිළිබඳ හඟවන රෝග තත්ත්වයන්ය.

වියපත් වීමත් සමග කලින් පැවති තරුණකම නැවත ලැබෙන්නේ නැහැ නේද? වියපත් බව වසා ගන්නට සුදු කෙස් කළු කරන්නට පටන් ගත් කෙනෙකුට එය කොතරම් කාලයක් කරන්නට සිදුවේවිද? සුදු කෙස් වසා ගන්නට නම් දිගටම කළු පැහැයෙන් වර්ණ ගන්වන්නට සිදුවේ. ශරීරයේ ස්ථිර වශයෙන් කඩා වැටුණු යම් කොටසකට අදාල රෝග තත්ත්වයක් සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රතිකාරද එසේමය. එවැනි රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර වශයෙන් දෙනු ලබන ඖෂධ ජීවිත කාලයටම ලබා ගන්නට සිදුවේ.

අප ජීවත්වන ප්‍රදේශය ගං වතුරකින් යටවූ විටදී දෙපයින් ඇවිද පිටතට යන්නට හැකියාවක් නැත. එවිට අපට සිදුවන්නේ පිටතට යන්නට බෝට්ටුවක පිහිට පතන්නටය. යම් කොටසක කඩා වැටීමක් නිසා ශරීරය රෝගී වුවහොත් බෙහෙත්වල පිහිටෙන් හෝ ජීවිතය ගැටගසාගෙන ඉදිරියට යන්නට අපට සිදුවේ.

යම් ඖෂධයකින් කරදර ඇතිවන විටදී කුමක් කළ යුතුද

අම්මා අපට කොතරම් ආදරේ වුවත් ඉඳ හිට ඇයගෙන් තැලුම් කන්නටද සිදු නොවනවාම නොවේ. කොතරම් හොඳ බෙහෙතක් වුව යම් යම් කරදරකාරී දේවල් සිදු නොවේ යැයි සහතික විය නොහැකිය. ඒ ආකාරයට එක් අයෙකුට ඉතා හොඳ ප්‍රතිඵල ළඟා කර දුන් බෙහෙතක් තවත් කෙනෙකුට නොයෙක් අහිතකර ප්‍රතිඵල ගෙනදිය හැකිය.

බෙහෙතක් හේතුවෙන් යම් යම් අතුරු විපාක ආරම්භ වූවා නම් ඒවා දිගටම පැවතීමද නතර කළ නොහැකිය. එහෙත් ඒවා එතරම්ම හානිදායක නොවේ නම් වෛද්‍යවරයා සමග සාකච්ඡා කර අතුරුවිපාක පිළිබඳව නොතකා හරිමින් ඖෂධය දිගටම පාවිච්චි කරන්නට සිදුවේ.

බොහෝ අයට හිතකර ඖෂධයක් වුවත් එය තවත් කෙනෙකුට අසාත්මිකතාවයක් ඇතිකරවිය හැකිය. එවිට කැසීම, පළු දැමීම, හුස්ම ගැනීමේ අපහසුව මෙන්ම සමහරවිට ක්ෂණිකව මරණයට පත් වීමටද හැකිය. එලෙස අසාත්මික වූ ඖෂධය ශරීරයට කිසිදා අමතක වන්නේ නැත. ඊට පසුව ගත්තද ශරීරය එය හඳුනාගෙන අහිතකර ප්‍රතිඵල  දැක්වීම නතර කරන්නේ නැත. ඒ නිසා වරක් අසංත්මික වූ ඖෂධ නාමය ලියා තබා හෝ මතක තබාගෙන අවශ්‍ය වූ විට වෛද්‍යවරුන් දැනුවත් කිරීමට අමතක නොකළ යුතුය.

එකම බෙහෙතට විවිධ වූ නම් ඇයි ?

එළදෙනගෙන් ලබා ගන්නා කිරි, පිටි බවට පත්කර පැකැට්ටුවල අසුරා විවිධ නාමයන්ගෙන් අප අතට පත් වුවද ඒ තුළ ඇත්තේ එකම එළකිරිය. යම් ඖෂධයකට ඇත්තේ එකම ඖෂධ නාමයක් වුවද විවිධ වෙළඳ සමාගම් යටතේ වූ නොයෙක් වෙළඳ නාමයන්ගෙන් ඒ එකම ඖෂධය ෆාමසියට පැමිණේ. ඒ ඒ වෙළඳ සමාගමේ හැකියාවන්ට අනුව ඖෂධය නොයෙක් ආකාරයෙන් වෙනස් වෙමින් වෙළඳපළට පැමිණෙන අවස්ථා තිබේ.  එකම වයසේ දරුවන් වුවද ඈත ගමේ පාසැලක උගෙන සමාජගත වන විටත් නගරයේ පාසැලක ඉගෙන සමාජගත වන විටත් පැහැදිලි වෙනසක් හඳුනාගත හැකිය. ඒ ආකාරයට එකම ඖෂධය වුවද නිෂ්පාදනයේදී සිදුවන යහපත් හෝ අයහපත් වෙනස්කම් මත ඖෂධයේ තත්ත්වයද වෙනස් නොවී පවතින්නේ නැත.

එවිට ඒ ඒ ඖෂධය භාවිතා කරන රෝගීන්ම පවසන ගුණදොස් මත විවිධ වෙළඳ නාමයන්ගෙන් පැමිණෙන ඖෂධයේ තත්ත්වය පිළිබඳව වෛද්‍යවරු යම් දැනුවත් භාවයකට පත්වෙති. එලෙස රෝගීන්ගේ අයහපත් ප්‍රතිචාර වැඩිපුර ලැබූ වෙළඳ නාමයෙන් යුතු ඖෂධය වෛද්‍යවරුන් එවිට හංවඩු ගැසීමකට ලක් කරන නිසා එම ඖෂධ නාමය එවිට නැවත නැවත වෛද්‍යවරුන් අතින් ලියවෙන්නේ නැත.

එකම බෙහෙත දිගටම ගත්තට කමක් නැද්ද?

කල්පවතින රෝග හෝ ජීවිත කාලයටම ඖෂධ ලබාගත යුතු රෝග සඳහා වෛද්‍යවරුන් නියම කළ ඖෂධයක් හිතුමතේ දිගටම පාවිච්චි කළාට කමක් නැද්ද යන්න බොහෝ රෝගීන්ට ඇති ගැටලුවකි. එහෙත් රෝගීන්ට නොදැනෙන අතුරු ආබාධ හඳුනා ගැනීමට හැකියාව ඇත්තේ වෛද්‍යවරුන්ට පමණය. සමහර ඖෂධ විෂ වන්නේ හොර රහසේය. රෝගියෙකුට එම අතුරු ආබාධ පිළිබඳව දැනෙන විට එය බොහෝ උත්සන්න වී කිසිවක් කර කියාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබිය හැකිය. ජීවිතය ලැබෙන්නේ එක් වරකි. එය සමග අත්හදා බැලීම් කරන්නට යනවා නම් ඒ අනුවණකමකි. හොඳම දෙය නම් වෛද්‍ය උපදෙස් වලට අනුකූලව ඖෂධ ගැනීමය.

බෙහෙත් පිළිබඳව බිය විය යුතුද?

යම් බෙහෙතක් රෝගියෙකුට නිර්දේශ කරන්නට පෙරාතුව කොතරම් නම් අත්හදා බැලීම්වලට ලක් කරනවාදැයි ඔබ දන්නවාද ? පරීක්ෂණ ගණනාවක් සිදුකොට ඉන්පසුව සතුන්ගේ ශරීරගත කොට තව තවත් විමර්ශණයනට ලක් කිරීම සිදු කරයි. ඔබේ වෛද්‍යවරයාගේ පෑනෙන් ලියවෙන්නේ ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රෝගීන්ගේ භාවිතයට ලක් වූ ඖෂධ වන නිසා යම් ඖෂධයක් පිළිබඳව බිය වීමට හේතුවක් නැත.

සමහර ඖෂධ එන්නත් ලෙස ලබා දෙන්නේ ඇයි ?

ආහාර ආකාරයට ජීර්ණ ක්‍රියාවලියට ලක්වන ඖෂධ තිබේ. එවැනි ඖෂධ ආහාර මාර්ගයෙන් ලබා දුන් විට එහි ක්‍රියාකාරිත්වය නැති වී යාම සිදුවේ. ඉන්සියුලින් වැනි වූ එවැනි ඖෂධ එන්නත් ආකාරයට ලබා දෙන්නට සිදු වන්නේ ඒ නිසාය.

ඉක්මනින්ම ශරීරගත වී ක්‍රියාකාරී විය යුතු හදිසි අවස්ථාවන්හිදීද ‍ලේ නහරයක් පාදාගෙන ඊට ඖෂධය එන්නත් කරන්නට වෛද්‍යවරු පෙළඹෙන්නේ, ආහාර මාර්ගය හරහා දිගු ගමනක් ගොස් ඖෂධය ශරීරගත වන විට එය ප්‍රමාද වැඩිවිය හැකි නිසාය.

සිංහල බෙහෙත් ගන්නා අතර ඉංග්‍රීසි බෙහෙත් ගත්තට කමක් නැද්ද ?

බොහෝ අයට ඇති මෙම ගැටලුවට පිළිතුර වන්නේ ඉංග්‍රීසි බෙහෙතින් සිංහල බෙහෙතට හෝ සිංහල බෙහෙතින් ඉංග්‍රීසි බෙහෙතට හානියක් නොවනවා සේම ඒ දෙකම ගන්නා රෝගියාට ඉන් කරදරයක් වන්නටද හැකියාවක් නැති බවය.

එහෙත් සිංහල බෙහෙත් ඉංග්‍රීසි බෙහෙතට සම කරන්නටද හැකියාවක් නැත. සිංහල බෙහෙතට ඉතා ඈත අතීතයක් ඇති බව සැබෑ වුවත් එය බොහෝ මිනිසුන් අතරට ගොස් අත්හදා බැලීම් හෝ පරීක්ෂණ සිදුකර අන්තර්ජාතිකව තහවුරු කරගෙන නොමැති බවද පැවසිය යුතු වේ.

බෙහෙත් සමග සමහර කෑම හෝ නෑම අගුණද ?

ඉංග්‍රීසි බෙහෙත් සමග ආහාරපාන සම්බන්ධයක් නැත. බෙහෙත් බොන අතර ගන්නා ආහාර නිසා බෙහෙතක් ප්‍රත්‍ය වන්නේ හෝ අප්‍රත්‍ය වන්නේ නැත. ඉංග්‍රීසි  බෙහෙත් සමග නෑමද ගැටලුවක් නොවුවද ආහාරපාන මෙන්ම බෙහෙතක පවතින කල් ඉකුත්වීමේ දිනය පිළිබඳව නම් නොතකා හැරිය නොහැකිය.

දිගටම ගන්නා බෙහෙත් පෙත්තක් අමතක වූ විට කළ යුත්තේ කුමක්ද?

දිවා ආහාරය මගහැරුණා යැයි කියා රාත්‍රියට බත් පිඟන් දෙකක්ම ආහාරයට ගත හැකිද? ඒ සඳහා බඩෙන් ඉඩක් ලැබෙන්නේ නැත. අමාරුවෙන් හෝ කෑවොත් ඉස්මුරුත්තාවට පැමිණ නැති කරදරයක් ඇතිවිය හැකිය.  පෙරදා ගත යුතු බෙහෙත් පෙත්ත අමතක වූවා යැයි කියා පසුදා කරන්නට හැකි දෙයක් නැත. ඒ වන විට සිදුවිය යුතු හානියක් ඇත්නම් එය සිදු වී හමාරය. ඊටත් වඩා බරපතල හානියක් සිදුවන්නේ අමතක වූ පෙත්තත් සමග පසුවදා පෙති දෙකක්ම ගිල දැමූ විටය. එනිසා මෙවැනි දේ කිරීම නුසුදුසුය.

ඊට පෙර ගත්  බෙහෙත්  පිළිබඳව වෛද්‍යවරු දැනුවත් විය යුත්තේ ඇයි ?

දිනපතාම බෙහෙත් බොන්නට සිදුවන රෝගීහු කොතෙකුත් සිටිති. ඒ අතර තමන්ගේ රෝගය සුව නොවූ විට වෙනත් වෛද්‍යවරයෙකු වෙත යන රෝගීහුද සිටිති. එලෙස අලුතින් ප්‍රතිකාර ගන්නට ගිය වෛද්‍යවරයාට තමන් එතෙක් ගත් ඖෂධ පිළිබඳව දන්වන්නට අමතක නොකළ යුතුය.

එහිදී උදේ ගත් බෙහෙත් පෙති ටික කොළයක ඔතාගෙන ගොස් වෛද්‍යවරයාට පෙන්වීම තේරුමක් නැත. බෙහෙත නම් වශයෙන් පැවසීම හෝ බෙහෙත් වට්ටෝරුව වෛද්‍යවරයාට පෙන්වීම කළ යුතුය. බෙහෙත් බෙහෙත් අතර පවතින ගැටුම් දන්නේ වෛද්‍යවරයාය. ඊට පෙර ගත් ඖෂධය පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් නම් එවැනි ගැටුම් මගහැරවෙන ආකාරයට ඖෂධ නිර්දේශ කරන්නට වෛද්‍යවරයා පෙළඹෙනු ඇත.

ප්‍රතිජීවක ඖෂධ මගදී නතර කිරීම හානිදායක වන්නේ ඇයි ?

ශරීරයේ පවතින විෂබිජයක් විනාශ කරන්නට වෛද්‍යවරු ප්‍රතිජීවක ඖෂධ නියම කරති.  
එවැනි විෂබිජයක් එක පෙත්තකින් හෝ දෙකකින් පලවා හැරිය නොහැකිය. සමහරවිට යම් විෂබිජයක් මැඩපැවැත්වීමට සතියක් හෝ ඊටත් වැඩි කාලයක් එක දිගට ප්‍රතිජීවක ඖෂධ ගන්නට සිදුවේ. 
ප්‍රතිජීවක ඖෂධය එලෙස දින දෙක තුනක් ගන්නා විට පිටතින් රෝගය සුව වූ බවක් දැනෙන සමහර රෝගීහු ඖෂධ ගැනීම  නතර කර දමන අවස්ථා තිබේ. එහෙත් එය 'නයාට ගසා ‍පොල්ල වරද්දා ගැනීමක්' බව බොහෝ අය නොදනිති. ඉන් සිදු වන්නේ බාගෙට විනාශ වූ බිෂ බිජය පැටව් පිට පැටව් ගසමින් තව තවත් බලසම්පන්න වීමය.  එය මර්දනය කරන්නට සමරවිට වෛද්‍ය ප්‍රතිකාරවලටද නොහැකි විය හැකිය.

කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා අවධාරණය කරයි

උත්පලා සුභාෂිනී ජයසේකර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.