lakbima.lk

බොහෝ දෙනෙකු අත්දකින සිරුර කසන හේතු මෙන්න !

ශරීරයේ මතුවන කැසීම් බොහෝ දෙනෙකු අත්දකින සමේ ගැටලුකාරී තත්ත්වයකි. සමේ පවතින දදයක්, අළුහම්, හිස්හොරි වැනි රෝගී තත්ත්වයන් නිසා හටගන්නා කැසීම්වලට අමතරව, පැහැදිලි හේතුවක් සොයාගත නොහැකිව. මතුවන කැසීම්ද විටෙක ගැටලු මතුකරයි. බොහේ අය නොසිතන ඉතා සරල හේතුකාරණා රැසක් මේ කැසීම්වලට මුවාවී ඔබට කරදර කරනවා සේම ශරීරය තුළ සැගව පවතින සමහර රෝගී තත්ත්වයන්ද මෙවැනි කැසීම් හරහා ඒවා හඳුනාගන්නා ලෙස ඉඟිකරමින් සිටින්නටද බැරිකමක් නැත.

සමේ මතුවන මෙවැනි කැසීම්වලට ප්‍රධාන සේම සුලබම හේතුවක් වන්නේ ශරීරයේ අපිරිසිදුබවය. අද සමාජය පෙලන මේ අවිවේකී කලබලකාරී ජීවන රටාව තුළ ශරීරය අතුල්ලා හොඳින් කුණු ඉවත් කරගෙන සෝදා ගන්නට කාලය මිඩංගු  නොකිරීමම මෙසේ සමේ කැසීම්වලට හේතුවෙයි. සම මත දිගින් දිගටම පවතින කුණු සමේ ආසාදන කැසීම්වලට මගපාදයි. මේ හේතුව නිසා හටගන්නා සමේ කැසීම් වලට බෙහෙත් සොයා වෙහෙසීමෙන් පලක් නැත. කළ යුතු වන්නේ සම මත තැවරී ඇති දහදිය කුණු දුහුවිලි හොඳින් ඉවත්ව යන සේ අතුල්ලා හොඳින් නා ගැනීමය. සම නිතරම පිරිසිදුව තබා ගැනීමය.

එසේම පරිසරයේ උෂ්ණත්ව වෙනස්වීම් නිසාද සමේ කැසීම් හටගනී. අධික ලෙස උෂ්ණත්වය ඉහළ යාම සේම අධික ශීතල පරිසරවලදීද සම කැසීමකට ලක්විය හැකිය. එසේම දිගු කාලයක් එකම ඇඳුමක් ඇඳගෙන සිටින විට උදාහණයක් ලෙස රැකියාවකට යන කෙනෙකු උදේ ඇඳගන්නා ඇඳුම ඉවත් කරන්නේ රාත්‍රියට ආසන්නවය. පැය 10-12ක් තිස්සේ ශරීරයේ බාහිර පරිසරයට නිරාවරණය නොවීම, කාලයක් තිස්සේ බලපෑම නිසාද සම මත කැසීම් හටගනී. එසේම මේ ඇඳුම් දහදිය උරන්නේ නැති කෘත්‍රිම ඒවා වීම තත්ත්වය වඩාත් තීව්ර කිරීමට හේතුවෙයි. මේ ආකාරයට ශරීරයේ සම මත ඉකිලි, කිහිලි වැනි ප්‍රදේශවල දහදිය කුණු දූවිලි එකතු වී, දිලීර රෝග පවා හටගැනීමට බොහෝ ඉඩකඩ තිබේ.

එසේම කෘමි සතුන්ගේ දෂ්ඨනද මෙවැනි කැසිම්වලට හේතුවකි. රාත්‍රී නින්දෙදී, ඔබ මදුරු දැලක් යට නිදාගත්තා වුවද, ශරීරය මදුරු දැ‍ලේ ස්පර්ශ වන ස්ථානවල මදරුවන් දෂ්ඨ කර තිබෙන්නට පිළිවන. එවිට සිදුවන්නේ ඒ තැන්වල පළු මතුවී කැසීමට පටන් ගැනීමය.

එසේම සමට සත්කාර ලෙස සිදුකරනු ලබන සමහර ඖෂධීය කොල තම්බා සේදීම්, අඹරා ගෑම් වැනි දේ වලින්ද, සමහර විට සමේ කැසීම් හටගනී.

තවද අද මේ නූතන ආහාර හුරුපුරුදු අතර තිබෙන කෘත්‍රිම රස කාරක තෙල්, ලුණු, සීනි අධික ක්ෂණික ආහාර වර්ග දිගින් දිගට ආහාරයට ගැනීම් හරහාද සමේ ආසාදන කැසීම් ඇතිවන බව පර්යේෂණ හරහා හෙළිව තිබේ. කල්තබාගත හැකි ලෙස සැකසූ මස් වර්ග, පේස්ට්, බිස්කට් වර්ග සේම වසවිස මුසුවූ සහල්, එළවළු, පලතුරු වර්ගද දිගින් දිගට ආහාරයට ගැනීමේදී විෂ වර්ග ශරීරය තුළ එකතුවී සමේ කැසීම් මතු කිරීමට බොහෝ ඉඩකට තිබේ. එසේම අද ආහාරවල බහුල ලෙස අඩංගු වන කෘත්‍රිම වර්ණකද මේ තත්ත්වයට ප්‍රබල ලෙස හේතුවී තිබෙන බවද කිව යුතුමය.

දියවැඩියාව, අක්මාවේ ක්‍රියාකාරිත්වයේ ගැටලු මතු කරන රෝගී තත්ත්ව, රුධිර සාන්ද්‍රණයේ වෙනස්කම්, දිගුකාලීනව ලබා ගන්නා සමහර ඖෂධ වර්ග වැනි හේතු නිසාද සමේ කැසීම් මතුවිය හැකිය. එබැවින් කැසීමක් හටගත් විටෙක එයට හේතුව කුමක්විය හැකිදැයි යම් අදහසක් ලබා ගැනීමට මේ තොරතුරු ඔබට උපකාර වේවි.

තංගල්ල මූලික රෝහ‍ලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය හිරෝමල් ද සිල්වා අවධාරණය කරයි

සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.