lakbima.lk

සමහර ආබාධවලට වෛද්‍යවරුන් නිර්දේශ කරන ඊ.සී.ජී. පරීක්ෂණය

ඉලෙක්ටේ‍රා කාඩියෝග්‍රෑම් යන්න ඔබට නුහුරු විය හැකිය. එහෙත් ඊ.සී.ජී. යැයි පැවසූ විට එය නොදන්නා අයෙකු නැති තරම්ය. අප කෙටියෙන් හඳුන්වන ඊ.සී.ජී. යන්නෙන් අරුත් ගැන්වෙන්නේ එයයි. ඉලෙක්ටේ‍රා් යනු විදුලියයි. කාඩියෝ යනු හදවත යන්නෙහි ඉංග්‍රීසි අරුතයි. ඒ ආකාරයට ඊ.සී.ජී. පරීක්ෂණයකදී පරීක්ෂාවට ලක් කරන හදවත සහ විදුලිය අතර පවතින සම්බන්ධතාවය කුමක්දැයි අද අපි සොයා බලමු.
හදවත යනු ශරීරය පුරා රුධිරය රැගෙන යන ‍පොම්පයයි. එය තත්පරයකට එක් වාරය බැගින් රුධිරය ඉදිරියට තල්ලු කරයි. එම තල්ලුව සඳහා තත්පරයකට වරක් හදවත මිරිකීම සිදුවේ. හදවත පුරා ඇති සියලුම මාංශපේෂීන් එවිට එක්වරම මිරිකෙන්නට අවශ්‍ය වන අතර එම පණිවිඩය හදවත පුරා විහිදුවන්නේ විදුලියකින්ය.
එම විදුලිය හදවත පුරා ගමන්කර වන්නට සැදී පැහැදී සිටින වයර් වැනි වූ කෙඳිති ගණනාවක් හදවත වටා පිහිටා තිබේ. මෙම වයර් දිගේ විදුලිය ගමන් කරන මාර්ගය ඊ.සී.ජී. පටිය මගින් පෙන්නුම් කරයි. මොහොතින් මොහොත වෙනස්වන විදුලිය ඊ.සී.ජී. යන්ත්‍රය තුළින් ගමන් කරන්නාවූ පටියේ දිගින් දිගටම පෑනකින් සටහන්වීම සිදුවේ.
එලෙස හදවත පුරා ගමන් කරන විදුලිය විදුලි බල්බයක් දල්වන්නට තරම් ප්‍රබල ධාරාවක්දැයි කෙනෙකුට සිතිය හැකිය. හදවත පුරා එලෙස ගමන් කරන්නේ ඉතාමත් අංශු මාත්‍ර වූ විදුලියකි. එහෙත් එය මනාව හඳුනා ගැනීමට තරම් ඊ.සී.ජී. යන්ත්‍රය ඊට අධිසංවේදීය.
ඉහළ මාලය සහ පහළ මාලය වශයෙන් හදවත කොටස් දෙකකින් යුතුවේ. එම සියුම් විදුලි ධාරාව මුලින්ම පැතිර යන්නේ හදවතේ ඉහළ මාලයටය. ඉන්පසුව පහළ මාලයට ගමන් කරන විදුලිය වම් පැත්තට වෙනමත් දකුණු පැත්තට වෙනමත් වශයෙන් එක්වරම දෙපසටම විදුලිය විහිදුවාලයි.
මෙලෙස විදුලිය ගමන් කරන මාර්ගය යම් තැනකදී අවහිර වුවහොත් එය ඊ.සී.ජී. පටියේ සටහන් තුළින් හඳුනාගත හැකිය. හදවතේ මාංශපේෂීන් හි ඝනකම වඩා වැඩිනම් එයද යම් පමණකට හඳුනාගත හැකි අතර මාංශ පේෂියක යම් කොටසක් ජීවත් වන්නේ ඉතා අමාරු තත්ත්වයක නම් එයද හඳුනා ගැනීමට හැකියාව ලැබේ. හෘදයාබාධයක් හේතුවෙන් හදවතේ යම් කොටසක් අකර්මන්‍යව පවතින විට එම ක්‍රියාවලිය පියවරින් පියවර ඊ.සී.ජී පටයේ සටහන් වේ.
හෘදයාබාධයක් වැලඳෙන තැන අනුව ප්‍රධාන වශයෙන් හදවතේ ඉදිරි කොටසේ වම් පැත්තේ, පහළ කොටසේ දකුණු පැත්තේ සහ පිටුපස ලෙස වර්ග කෙරේ. ඒ අනුව හෘදයාබාධය වැලඳී ඇත්තේ හදවතේ කොතැනකද යන්න ඊ.සී.ජී. පටයෙන් අවබෝධකර ගත හැකි අතර එය වැලඳී ඇත්තේ කුමන වේලාවකදීද යන්නද යම්තාක් දුරකට පෙන්වනු ලබයි.
හදවත තුළින් විදුලිය ගමන් කරන්නේ ‍ලේවල අඩංගු විවිධ ලුණු වර්ග උපයෝගී කර ගනිමින්ය. ‍ලේවල පවතින ලුණු වර්ගයන්හි යම් අඩු බවක් හෝ වැඩි බවක්ද ක්ෂණිකව ඊ.සී.ජී පටයකින් දැකගත හැකිය. තවද හදවත වටා වතුර එක්රැස්වීමක් හෝ ඉදිමීමක් පවා ඊ.සී.ජී පරීක්ෂණයකදී හඳුනාගත හැකිය.
හදවත පිළිබඳව මේසා විශාල තොරතුරු ප්‍රමාණයක් වෛද්‍යවරුන්ට ලබාදෙන ඊ.සී.ජී වාර්තාවක් කෙටි කාලයකින් සහ වැඩි පිරිවැයක් දරන්නේ නැතිව ඔබට ලබා ගැනීමට හැකියාව තිබේ. එය කිසිදු වේදනාවකින් තොරව සිදුකරන පරීක්ෂණයක් වන අතර අතුරු ආබාධ වලින්ද තොරය.
ඕනෑම  කුඩා රෝහලක මෙන්ම වෛද්‍ය මධ්‍යස්ථානයකද ඊ.සී.ජී පරීක්ෂණ රෝගීන් වෙනුවෙන් සූදානම්ව පවතී. ඒ ආකාරයට ඊ.සී.ජී පරීක්ෂණයකට මුහුණ දෙන ඔබට විනාඩි කිහිපයක් ඇඳක් මත දිගාවී නොසෙල්වී සිටිනන්ට සිදුවේ. දැන් දෙපා වලත් පපුවේ වම්පස පුරාවටත් වයර් සම්බන්ධ කරනු ලබයි. එලෙස සෑම පැත්තකින්ම සෑම දිශාවකින්ම සිරුරට වයර් සම්බන්ධ කරන්නේ ඒ සියලු පැති ඔස්සේ හදවතට එබි බලන්නට හැකි වන ආකාරයටය. ඒ අනුව හදවත හොඳින් නිරීක්ෂණය වන පැති දොළහක් ආවරණය වන ආකාරයට මෙලෙස වයර් සම්බන්ධ කිරීම සිදු කරයි.
වයර් සම්බන්ධ වූ තහඩු කැබලි හොඳින් සම හා ගැටෙන ආකාරයට මුලින්ම සමේ ජෙල් වර්ගයක්ද ආ‍ලේප කරයි. වයර් තහඩු පපුවේ එල්ලී පැවැතීම නිසා පරීක්ෂණය නිමා වී තහඩු කොටස් ඉවත් කළ පසුව ඒවා සම්බන්ධ කළ ස්ථාන සමහරවිට රතු පැහැවී පැවැතීම බිය විය යුතු තත්ත්වයක් නොවේ.
ඊ.සී.ජී පරීක්ෂණයකට මුහුණ දෙන්නට පැමිණෙන කාන්තාවක් උඩුකය නිරාවරණය කරන්නට සූදානම්ව පැමිණිය යුතුය. පුරුෂ පාර්ශ්වයේ අයගේ පපුවේ රෝම ගහනව අත්නම් වයර් තහඩුව නිසි පරිදි සමට සම්බන්ධ කරන්නට නොහැකි වන අවස්ථාද තිබේ. පාදවල වළලු කරට මදක් ඉහළින් සහ අත් දෙකේ මැණික් කටුවට ඉහළින්ද වයර් තහඩු ශරීරයට සම්බන්ධ කරන්නට සිදුවේ.
ඊ.සී.ජී පරීක්ෂණය අවසානයේ පටියක් වැනි වූ දිග පත්‍රිකාවක් ඔබ අතට පත්වේ. යම් කාලසීමාවක් පුරා දිගින් දිගටම. පැවැති හදවතේ ක්‍රියාකාරිත්වය නොනවත්වා එය සිහින් පටියේ සටහන් වී තිබේ.
එක දිගට ඡායාරූප ගැනීමක් ආකාරයට සිදුවන ක්‍රියාවලියක් වන නිසා එම පරීක්ෂණය සඳහා එවැනි දිගින් වැඩි පටියක් භාවිතා කරන්නට සිදුවේ.
පැය විසිහතරක් පුරාම ශරීරයට වයර් සම්බන්ධ කර හදවතේ ක්‍රියාකාරිත්වය නොනවත්වා නිරීක්ෂණය කරන 24 hours holter monitoring නම් වූ ඊ.සී.ජී පරීක්ෂණයද සමහර රෝගීන් සඳහා නිර්දේශ වන අවස්ථා තිබේ.
අවසානයේ ඔබ අතට පත්වන ඊ.සී.ජී සටහනේ ඡායා පිටපතක් හෝ දුරකථන ඡායාරූපයක් ළඟ තබා ගන්නට අමතක නොකළ යුතුය. එයට හේතුව වන්නේ මාස හයක් පමණ ගත වන විටදී එම ඊ.සී.ජී සටහන සම්පූර්ණයෙන්ම මැකී ගොස් කඩදාසි පටිය පමණක් ඉතිරි වන නිසාය. පසුකාලීනව ලබා ගන්නා ඊ.සී.ජී සටහනක් හා සන්සන්දනාත්මකව බලන්නට හැකිවීම රෝගය සුවපත් කර ගැනීමට ප්‍රයෝජනවත් වන නිසා ලබාගත් ඊ.සී.ජී සටහනක් එලෙස ආරක්ෂා කර ගැනීම වැදගත්ය.
පරණ ඊ.සී.ජී ඡායා පිටපත වෛද්‍යවරයාට පෙන්වන විටදි ඒ සඳහා නිර්දේශ වූ බෙහෙත් තුණ්ඩුවද පෙන්වීමට අමතක නොකළ යුතුය.
එසේ කලින් ගත් ඊ.සී.ජී වාර්තාව සමග පැරණි බෙහෙත් තුණ්ඩුවද වෛද්‍යවරයාට ඉදිරිපත් කළ විටදී එම ඊ.සී.ජී පරීක්ෂණය සිදු කළේ ඇයිද යන්න වෛද්‍යවරයාට හොඳින් තහවුරු කර ගත හැකිය. රෝගියාගේ පාර්ශ්වයෙන්ද ඒ ආකාරයට දුර දක්නා නුවණින් සහ සැළකිලිමත්ව කටයුතු කිරීම තුළ අනවශ්‍ය වියදම් හා අපහසුතා මගහරවා ගත හැකි වන අතර රෝගය උත්සන්න වන්නට පෙර ඊට පිළියම් යෙදීමට වෛද්‍යවරයාටද එය පහසුවක් වනු ඇත.

උත්පලා සුභාෂිනී ජයසේකර
කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග
විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
අවධාරණය කරයි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.