lakbima.lk

සමේ ඇතිවන ගැටිති

අපේ සම ඒකාකාරීව සුමුදුව පැහැපත්ව තිබේ නම් අපට සතුටුය. එහෙත් සම යනු ශරීරයේ ඇති වඩාත් ක්‍රියාකාරි ඉන්ද්‍රියකි. ඒ නිසා එය අපේ ජීවිත කාලය පුරා විවිධ වෙනස්වීම් වලට බඳුන් වේ. ශරීරයේ අභ්‍යන්තර අවයව වසා ආරක්ෂා කර ගනිමින් අපට මහත් සේවයක් සනසන සම සිරුරක ඇති විශාලම අවයවය ලෙසද සැලකේ.

සමෙහි කාර්යයන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ. ආරක්ෂාව, නියාමනය සහ සංවේදනය ඒ තුනයි. විවිධ දේ සම මත වැඳීමෙන් ඇති වන පීඩාවෙන්ද බාහිර පරිසරයේ පවතින උෂ්ණත්ව වෙනස් වීම්වලින්ද බැක්ටීරියා වෛරස් ආදි විවිධ විෂබිජ සහ රසායනවලට ඇතුල් වීමට ඉඩ නොදීමෙන් පමණක් නොව හිරු එළියේ ඇති අයහපත් කිරණ වලින්ද සම අපව ආරක්ෂා කර ගනියි.

උෂ්ණත්ව පාලනය කිරීම සම විසින් ඉටු කරන තවත් ප්‍රධාන කාර්යයකි. ඒ සඳහා සමෙහි ඇති දහදිය ග්‍රන්ථි උපයෝගි වේ. දහදිය සමග අපද්‍රව්‍ය පිට කරන බැවින් බහිශ්‍රාවි අවයවයක් ලෙසද සම ක්‍රියා කරයි. ඊට අමතරව විටමින් ඩී නිෂ්පාදනය ද සම විසින් ඉටු කරයි. සමෙහි ඇති ස්නායු ජාලය උණුසුම, සීතල, දැනීම, වේදනාව ආදි සංවේදනා අපට ලබා දෙයි. කාන්තාවකගේ රූප සොබාවේ එක් අංගයක් වන්නේ නිරෝගී සමය. ඒ නිසා ඡවි කල්‍යාණය පංච කල්‍යාණ වලින් එකක් වේ.


සම අවලස්සන කරන කරුණු අතර සමේ ඇතිවන ගැටිති ප්‍රධාන තැනක් ගනී. කුඩා ගෙඩියක් සේ ඇතිවිය හැකි මෙම ඝන වීම් අහිංසක කිසිම හානියක් නැති ඒවා හෝ ඉතාම බියකරු මරණය පවා ගෙන දිය හැකි ඒවාද විය හැකිය. සුලබ වශයෙන් හමු වන්නේ හානි රහිත ගැටිතිය.


උපන් ලප ගැන අප කවුරුත් අසා ඇත්තෙමු. උපන් ලප යනු එකිනෙකට ළඟින් වෙලී පැටලුන රුධිරවාහිනී කැටියක් හෝ වර්ධක ෙසෙල කැටියක් විය හැකිය. සමහර උපන් ලප දරුවන් උපදින විටම නළල මුහුණ ආදි ප්‍රදේශවල විශාල ලෙස පැතිරුනු දම් පැහැයට හුරු පැල්ලම් ලෙස පවති. දරුවා වැඩෙන විට ඒවා ක්‍රමයෙන් කුඩා වී යන අවස්ථා ඇත.


වැඩිහිටියන්ගේ සමෙහි ඇති වන ගැටිති කිහිප වර්ගයකි. වඩාත් සුලබව දක්නට ලැබෙන්නේ Sabacious cyst යනුවෙන් හඳුන්වන සමට හා හිසකෙස්වලට තෙල් ගතිය ඇති කරවන ස්‍රාවයන් නිපදවන ග්‍රන්ථිවල නාල අවහිර වීමෙන් ඇති වන කුඩා ගෙඩිය. ඒවා වේදනා රහිතය. අල්ලන විට තද උකු දියරයක් පිරී ඇති ගතියක් දැනේ. ඒවාට බැක්ටීරියා ආසාදන ඇති වුවහොත් වේදනා ගෙන දේ. එවිට එහි සැරව එකතු වී විසර ගෙඩියක තත්ත්වයට පත්වේ. ප්‍රතිකාර ලෙස සුළු ශල්‍යකර්මයක් අවශ්‍ය වේ.

මේවා සිරුරේ ඕනෑම තැනක ඇති විය හැකි මුත් සුලබව ඇති වන්නේ මුහුණේ, ගෙ‍ලේ හා පිටේය. ඇත්ත වශයෙන්ම අප කුරුලෑ යනුවෙන් හඳුන්වන්නේද මෙම කුඩා ගැටිති මුහුණේ ඇති වූ විටය. වේදනාවක් සැරව තත්ත්වයක් නැතිනම් විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නැත. බලෙන් මිරිකා හැරීමද සුදුසු නොවේ.

පිරිසිදු ජලයෙන් සෝදා තැබිම ප්‍රමාණවත් වේ. සමෙහි ක්‍රියාකාරිත්වය වැඩි වන නව යොවුන් වියේ මෙම කුරුලෑ ඇතිවීම ස්වභාවිකය. කුරුලෑවලට ප්‍රතිකාර කිරීමේදී ඉවසීමෙන් කටයුතු කළ යුතුය. කලබල වී විවිධ රසායන ද්‍රව්‍ය ඒ මත ආ‍ලේප කරන්නට යාමෙන් තත්ත්වය තවත් නරක අතට හැරීමට ඉඩ ඇත.


සමෙහි ඇතිවන තවත් ගෙඩි වර්ගයක් නම් සමට යටින් පිහිටි තෙල් තට්ටුවේ ඇතිවන ලයි‍පෝමා නමැති ඝන වීම්ය. ඒවා ඇතුළු සමටත් යටින් පිහිටන නිසා අතට දැනෙන්නේ තරමක් එබෙන ගතිය ඇති, වේදනා රහිත, එහාට මෙහාට පනින ගැටිති ලෙසය. වටේ දාරය අතේ පටක වලින් වෙන්ව පවතින බැවින් එහි ප්‍රමාණයද නිර්ණය කර ගැනීම අපහසු නැත. සෙන්ටි මීටර් එක සිට පහ පමණ විශාලත්වයකින් දැකිය හැකිය.

මේද පටක ඇති ඕනෑම තැනක ඇති ඕනෑම තැනක දැකිය හැකි වුවත් පිටෙන් උරහිස්වලත් උදරයේත් වඩා සුලබව ඇති වේ. ඒවා bening එනම් අනතුරුදායක නැති අර්බුද ඝනයට වැටේ. තවත් සුලබ ගැටිත්තක් නම් අත්වල මැණික් කටුව හෝ පා වල වළලුකර වල ඇති කන ආශ්‍රිතව හට ගන්නා ගැංගලියන් නම් කුඩා ගෙඩි විශේෂයි. ඒවා හට ගන්නේ ස්නායුව වටා ඇති ආවරනයෙහි. බොහෝ විට පිට අල්‍ලේ මැණික් කටුව ළඟින් පහතට නවන විට එම ගැටිත්ත මතු වී පෙනේ. මේවා අහංසක ගැටිති වන අතර පිලිකා තත්ත්ව දක්වා වර්ධනය නොවේ.

බොහෝ විට විශේෂ ප්‍රතිකාරයක් නොලබාම සුව වෙන අතර කලින් කලට මතු වීමටද හැකිය. වේදනා රහිතය. එහෙත් ස්නායුවක් ආශ්‍රිතව පිහිටන බැවින් හිරි වැටීමක් ඇති විය හැකිය. එවිට සුලු ශල්‍යකර්මයක් මගින් ඉවත් කරගන හැක. dermoid cyst යනු කළල අවස්ථාවේ චර්ම ෙසෙල අසාමාන්‍ය ලෙස පටකයක එකතු වීම නිසා ඇතිවන ගෙඩි විශේෂයකි. ඒවා තුළ කෙස් දන් ආදිය වුව තිබිය හැක. මුහුනේ හා කඳේ පහල කොටසේ සහ ඩිම්බකෝෂ වලද දක්නට ලැබේ. අනතුරු රහිතය. ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමට සිදු වේ.

සම ඉතා අවලස්සන කරමින් මුළු ශරීරය පුරා ගැටිති ඇතිවන රෝගි තත්ත්වයකි. neurofibromatosis යනුවෙන් හඳුන්වන්නේ. එය ජානමය තත්ත්වයක් නිසා හට ගනියි. වේදනාවක් නැත. සිය ගණනක් ගැටිති වලින් සමහරක් ඉතා විශාල විය හැක. එවිට ශල්‍ය කර්මයකින් ඉවත් කිරීමට සිදුවේ.

ශරීරයේ ඕනෑම තැනක ගැටිත්තක් ඇති බව දුටු විට එය ශල්‍ය වෛද්‍යවරයකුට පෙන්වා එය කුමන වර්ගයක අර්බුදයක්දැයි නිර්ණය කරගැනීම වැදගත්ය.

සමේ පිළිකා තත්ත්වයක් වන malignant melanoma  යන චර්ම පිළිකාවද ආරම්භ වන්නේ සමේ ඇති වන ගැටිත්තක් ලෙසය. එය ඉතා කෙටි කලකින් වේ. ගවන්ව වැඩේ නම් යට ඇති පටක වලට බැඳී පවතින මායිම් වෙන්කර හඳුනා ගත නොහැකි නම් වේදනා රහිත නම් පිළිකාවක්දැයි සැක කළ හැක.

එය ඉතා දරුණු ලෙස සිරුර පුරා පැතිර අභ්‍යන්තර අවයව වලට හානි කරයි. මැලිග්නන්ට් මෙලනෝමා යනු මුල් අවස්ථාවේම ප්‍රතිකාර නොකළහොත් මරණය ගෙන දිය හැකි ඉතා අනතුරුදායක පිළිකා විශේෂයකි.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.