lakbima.lk

වකුගඩු අකර්මණ්‍ය වන හැටි දන්නවාද?

අපේ නිවස තුළ එක්රැස් වන අපද්‍රව්‍ය බැහැර කර හරින්නට නොහැකි වූ විටදී සිදුවන දේ අමුතුවෙන් පැවැසිය යුතු නැත. ඒවායින් හමන දුර්ගන්ධය සතුන් සර්පයින් පවා කැඳවන තරම්ය. අපේ ශරීර අභ්‍යන්තරයේදීද මොහොතින් මොහොත මෙබඳු වූ අපද්‍රව්‍ය එක්රැස්වන ආකාරය ඔබ මොහොතකට පෙර සිතා තිබේද?

අතු ගා පිරිසිදු කර නොමැති ගෙබිමට එක් වතුර බාල්දියක් ගැසූ පමණින් සියලු අපද්‍රව්‍ය සේදී ඉවත්ව යන ආකාරයට අපේ ශරීරය තුළ එකතු වන අපද්‍රව්‍යයද සෝදා ඉවත් කර හරින ක්‍රමවේදයක් අපේ ශරීරය තුළ ක්‍රියාත්මකය.

සිරුර තුළ තැන තැන එකතු වී ඇති අපද්‍රව්‍ය සියල්ල පවිත්‍ර කර ඉවත් කර හරිනු ලබන්නේ ශරීරය පුරා දිවයන ‍ලේ දහරාවයි. එලෙස ඉවත් කරන ලද අපද්‍රව්‍ය මුසු වූ ‍ලේ දහරාව ඊළඟට පැමිණෙන්නේ වකුගඩු වෙතටයි. ‍ලේ වල ඇති ඒ සියලු අපද්‍රව්‍ය ‍ලේ වලින් වෙන් කොට තමන් භාරයට ගන්නේ වකුගඩු යුගලයි. තවත් ආකාරයකට පවසනවා නම් වකුගඩු යනු ශරීරයේ එකතු වන අපද්‍රව්‍ය භාර ගන්නා මධ්‍යස්ථානයයි. එහෙත් වකුගඩු වල එකම කාර්යය එයම නොවේ.

වකුගඩු යුගලය අඹ ගෙඩියක හැඩයෙන් හා එබඳු බරකින් යුතු පිට ප්‍රදේශය ඇතුළතින් තුනටිය දෙපසට වන්නට පිහිටා තිබෙන අවයවයකි. ඒවා තුළට ප්‍රධාන ‍ලේ නහරයක් ඇතුළු වන අතර ලීටරයක පමණ වූ රුධිර ප්‍රමාණයක් සෑම විනාඩියකදීම එමගින් වකුගඩු තුළට ගමන් කරයි. ඒ ආකාරයට ගත් කළ දවසක් තුළදී වකුගඩු දෙක තුළට පැමිණෙන ‍ලේ ප්‍රමාණය ඔබේ වහලය මුදුනේ සවිකර ඇති විශාල ප්‍රමාණයේ වතුර ටැංකියක වතුර පරිමාව මෙන් එකහමාරක ප්‍රමාණයක් බව පැවසුවහොත් ඔබ පුදුම වනු ඇත.

වකුගඩුවක හැඩය බෝංචි ඇටයක හැඩයටද තරමක් සමාන වන අතර එහි නාභිය සේ ගැනෙන කුඩා තිත ආකාර ගත් වකුගඩුවේ ඇති ස්ථානයකින් පෙර කී ප්‍රධාන නහරය වකුගඩුව තුළට ඇතුළු වේ. එලෙස ඇතුළු වූ නහරය වකුගඩුව තුළදී ගසක අතු බෙදී යන්නාසේ සෑම පැත්තකටම විහිදමින් බෙදි බෙදී ගොස් වකුගඩුව පසාරු කරගෙන අනෙක් කෙළවරට පැමිණෙද්දී එය ඇති සියුම් නහර ගණනාවකටම බෙදී ගොස් අවසානය.

එලෙස අනෙක් කෙළවරෙන් දක්නට ලැබෙන නහරය ඇති සියුම් නහරයක් වන අතර එය දඟර ගැසුණු සර්පයෙකු ආකාරයෙන් දැකිය හැකි ගුලියකි. එක වකුගඩුවක මෙබඳු දඟර ආකාරයේ ගුලි දස ලක්ෂයකි.

එම නහරය සූක්ෂම සිදුරු ගණනාවකින් යුතුවන අතර ඒ සිදුරු තුළින් එහි ඇති දියරය අංශු මාත්‍ර වශයෙන් පිටතට වෑස්සිය හැකිය. එහෙත් එලෙස වෑස්සෙන දියරයද නිවසක අප ජලය කාණු පද්ධතියක් දිගේ ගලා යන ආකාරයට වෙනත් බටයක් තුළට කාන්දු වී ඉදිරියටම ගලා යයි.

එලෙස එම බටය දිගේ ගලා යන දියරයේ සිරුරට අනවශ්‍ය අපද්‍රව්‍ය සේම ශරීරයට අවශ්‍ය කරන සීනි, ලුණු වර්ග, ඖෂධ වර්ග වැනි දෑද අන්තර්ගත වන අතර එවැනි දෑ නැවත ‍ලේවලටම උරා ගනී. අනවශ්‍ය යූරියා වැනි යමක් වෙතොත් ඒවාට ඔහේ යන්නට ඉඩ හරි. ඒ අතර ඒ වන විටත් පිටකර ගන්නට නොහැකි වූ ඇසිඩ් වර්ග ඇත්නම් ඒවා බලයෙන් මෙන් අපද්‍රව්‍ය ගලා යන එම නාලය තුළටම තල්ලුකර ගන්නට අමතක නොකරයි.

මේ ආකාරයට ශරීරයේ සියලු අපද්‍රව්‍ය රැගත් මෙම දියරය වකුගඩුවේ පිටත ප්‍රදේශයේ සිට (‍පොත්ත ආකාර ගත්) නැවත වතාවක් එහි මධ්‍ය ප්‍රදේශය දෙසට සමෛන් සමෛන් පැමිණ සියුම් බට ගණනාවක් එකට එකතු වී සෑදුණු කුහරයක් තුළට ගමන් කරයි. එම කුහරයෙන් එළියට යනු මුලින් කී බෝංචි ඇටයේ නාභිය මෙන් වූ වකුගඩුවේ මධ්‍ය ප්‍රදේශයට වන අතර එයින්ද පිටතට ඇත්තේ ප්‍රධාන බටයකි. එය විහිදෙන්නේ වකුගඩුවෙන් පිටතටයි.

එය කාබන් පෑනක ඝණකමකින් යුතු අතර එබඳු බට දෙකක් වකුගඩු දෙකෙන්ම පිටතට විහිදෙයි. එම බට තුනටිය ප්‍රදේශයෙන් පිට දිගේ පහළට පැමිණ බඩ පතු‍ලේ පිහිටා ඇති මුත්‍රාශයට ඇතුළු වේ. මෙම බට දෙක දිගේ නිරන්තරයෙන් ගලා යන දියරය අපි මුත්‍රා ලෙස හඳුන්වමු. සෑම තත්පර තුනකට වරක් එක දියර බිංදුවක් මුත්‍රාශයට එකතු වේ. මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවයක් අපට පැන නගින්නේ මෙම මුත්‍රාශය පිරුණු විටදියි.

වකුගඩු යනු නගරයක එකතු වන අපද්‍රව්‍ය භාර ගන්නා නගර සභා කුණු ලොරියක් ආකාර ගත්තක්ම නොවේ. ශරීරයේ එකතු වන අපද්‍රව්‍ය බාර ගන්නවාට අමතරව තවත් අගනා කාර්යයන් තුනක්ද වකුඩගු මගින් ඉටු කරයි. රුධිර පීඩනයේ පරිපාලන මධ්‍යස්ථානය වන්නේද වකුගඩුයි.

එනම් ශරීරයේ ‍ලේ ගමන අඩු වූ විටදී නිරන්තර රුධිර සැපයුමක් වකුගඩු තුළ පවත්වාගෙන යමින් ශරීරයේ ‍ලේ ගමන වැඩි කරන්නට කටයුතු කරන්නා වන්නේද වකුගඩුයි. ඊට අමතරව ‍ලේ වල රත් පැහැය ඇති කරවන ෙසෙල නිෂ්පාදනය වැඩි කරන්නට අවශ්‍යයි යන පණිවිඩය නිකුත් කරන්නේ ද වකුගඩුයි.

අපේ ශරීරයට කොතරම් විටමින් ‘ඩී’ ලැබුණත් ඒවා ඒ ආකාරයෙන්ම ශරීරයට ලබා ගත නොහැකියි. ශරීරයට ලැබෙන විටමින් ඩී භාවිතා කළ හැකි තත්ත්වයට වැඩිදියුණු කරන්නා වන්නේද වකුගඩුයි. කෙනෙකුගේ වකුගඩු අකර්මණ්‍ය වූ විටදී ශරීරයට ඉතා අත්‍යවශ්‍යම  වූ එම කාර්යයන් තුනද කඩා වැටෙන අයුරු දැන් ඔබට සිතා ගන්නට අසීරු නැත.

වකුගඩු ලෙඩ වන්නේ කෙසේදැයි දැන් අපි සොයා බලමු. ශරීරයේ වෙනත් අවයවයන් ආකාරයටම වකුගඩුද කඩාවැටෙන මොහොතක් අපට පැවසිය හැකි නොවේ. වකුගඩු තුළට විෂබිජයක් ඇතුළු වූ විටදී උණ, කොන්දේ පැත්තකින් ඇති වන වේදනාව සමග මුත්‍රා දැවිල්ල හට ගනී. මුත්‍රා පිටතට ගලා යන බට තුළ ගල් හටගත් විට හිටිවනම යටි බඩ කොර වූ ආකාරයේ වේදනාවක් සමග මුත්‍රා දැවිල්ල හට ගනී.

අපි මුලින් සඳහන් කළ වකුගඩු පුරා විහිදුණු නහර ගුලි ඉදිමීමකට ලක් වන අවස්ථාද ඇති අතර එවිට බැහැර වන මුත්‍රා ප්‍රමාණය අඩුය. එම මුත්‍රාවල වර්ණයද රත් පැහැයක් ගනී.

සිරුරෙන් නිසි පරිදි වතුර බැහැර නොවීම නිසා පපුවේ වතුර තද වී හුස්ම ගැනීම අපහසු වේ. අපි මුලින් සඳහන් කළ ඉතා සියුම් සිදුරු සහිත සිහින් නහර වලින් වෑස්සෙන්නේ සාමාන්‍යයෙන් දියර පමණකි. එහෙත් ‍ලේ වල උකු බව ඇති කරවන ‍ප්‍රෝටීන ද එම දියර සමග වෑස්සෙන අවස්ථා ඇති අතර එය රෝගී තත්ත්වයක් නිසා සිදු වන්නකි. මුත්‍රා පෙණ ආකාරයට පිටවීම තුළින් මුත්‍රා සමග ‍ප්‍රෝටීනද බැහැර වීම හඳුනාගත හැකිය. එවිට මුළු සිරුරම ක්‍රම ක්‍රමයෙන් ඉදිමීමකට ලක් වේ. මේ සියලු රෝග තත්ත්වයන්ට වර්තමානයේ ප්‍රතිකාර පවතී.

නමුත් වකුගඩුවලින් සිදුකරන ශරීරය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් නොවුවහොත් ශරීරය තුළ එක්රැස්වන අපද්‍රව්‍ය බැහැර වීමට මගක් නැති කමින් සියලු අපිරිසිදු දෑ සිරුර තුළම එක්රැස්වේ. අපි මුලින් සඳහන් කළ ආකාරයට කැළිකසළ ඉවත් නොකරන ලද නිවසකට නොදවෛනි තත්ත්වයක් ශරීරය තුළ උද්ගත වන්නේ එවිටය.

නිවසක අපවිත්‍ර දෑ තැන තැන එකතු වූ විටදී සතුන් සර්පයින් පවා නිවස වෙත කැන්දන ආකාරයට ශරීරය තුළ මෙය සිදු වූ විට නොයෙකුත් විෂබිජ ඒවා වෙතට ආකර්ෂණය වන්නට පටන් ගනී. කන කෑම පිටකර ගන්නට ක්‍රමයක් නැති නිසා ශරීරය ඒ අවස්ථාවට ප්‍රතිකර්මයක් යොදන්නේ තව දුරටත් කෑම එපා කරවමින්ය.

එවිට වමනය ඇතිවී සිහිකල්පනාවද නැතිවන තත්ත්වයට පත්වේ. මෙම තත්ත්වය දිගටම පැවතීම නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයේ ලක්ෂණයයි. ඒවා පිරිසිදු කරන්නට ඖෂධ නොමැති වුවත් විකල්ප ක්‍රම මගින් ඊට කළ හැකි ප්‍රතිකර්ම නැතිවා නොවේ. රෝගියාගේ නහරයකින් ‍ලේ ඉවතට ගෙන යන්ත්‍රයක් මගින් එම ‍ලේ පිරිසිදු කරවා නැවත ශරීරගත කරවීම ඉන් එක් ක්‍රමයකි. වෙනත් අයෙකුගේ වකුගඩුවක් බද්ධ කරවීම අනෙක් විකල්පයයි.

ඖෂධ නිසා වකුගඩු අකර්මණ්‍ය වනවා යැයි පවතින මතයක් වේ. එහෙත් රෝගී තත්ත්වයන් සඳහා අප ගන්නා සියලුම බෙහෙත් පෙති වකුගඩු අකර්මණ්‍ය කර වීමට හේතු වනවා යැයි පවසන මතයේ පදනමක් නැත.

දීර්ඝකාලීනව ලබා ගන්නා වේදනා නාශක පෙති නිසාත් තවත් ඖෂධ වර්ග කිහිපයක් නිසාත් එවැනි තත්ත්වයක් උද්ගත වන අවස්ථාද පැවතිය හැකිය. එහෙත් එබඳු ඖෂධ වුවද වෛද්‍ය නිර්දේශයන්ට අනුකූලව භාවිතා කරනවා නම් භිය වීමට හේතුවක් නැත.

කොස්සක කෙඳි ගෙවී ගිය විටදී වෙනත් කොස්සක් භාවිතයට ගන්නවා හැරෙන්නට වෙනත් කරන්නට යමක් නැත. අකර්මණ්‍ය වූ වකුගඩුද නැවත යථා තත්ත්වයට පත් කළ හැකි ක්‍රමවේදයක් නැත. වකුගඩු අකර්මණ්‍ය වීම ආරම්භ වූ තැන පටන් එය නවතාලිය හැකි ඖෂධයක්ද නැත. එතැන් පටන් ශරීරය කඩා නොවැටී පවත්වාගෙන යන්නට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ හෝ වකුගඩු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු සිටී නම් එම වෛද්‍යවරයා යටතේ දිගින් දිගටම ප්‍රතිකාර ගන්නට සිදුවේ.

දිනකට ලොකු වතුර ටැංකි එකහමාරක් තරමේ ‍ලේ ප්‍රමාණයක් වකුගඩු වෙතට පැමිණියද ඒවායින් තත්පර තුනකදී සෑදෙන්නේ එකම එක මුත්‍රා බිංදුවකි. සියල්ල කඩා වැටෙන්නේ එම මුත්‍රා බිංදුවද පිටතට ඒම වර්ජනය කළ විටදීය.
පිළිකුල් සහගත දුගඳ හමන අපවිත්‍ර දෙයක් ලෙස අපි කවුරුත් සලකන මුත්‍රා බිංදුවක ඇති වටිනාකම කොතෙක්දැයි දැනෙන්නේ වකුගඩු අකර්මන්‍ය වී මුත්‍රා බැහැර කර ගත නොහැකි රෝගී තත්ත්වයකට පත් වූ විටදීය. වකුගඩු බද්ධ කිරීමකට පසුව මෙම පළමු මුත්‍රා බිංදුව පැමිණෙන පෙර මග වෛද්‍යවරුන් බලා සිටින්නේ මොන තරම් නම් බලා‍පොරොත්තු සහගතවදැයි දන්නේ එය සිදු කළ වෛද්‍යවරුන් පමණමය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ  කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා

උත්පලා සුභාෂිනී ජයසේකර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.