lakbima.lk

දරුවන්ගේ අයහපත් හැසිරීම්වලට හේතු වන සිදුවීම් ඇත්තේ නිවස තුළයි


තම දරුවාගේ යහපත් නොවූ හැසිරීම් රටාවන් දකින විට ඒවාට හේතුව තවත් අයකු බව සමහර දෙමාපියන් පවසනවා ඔබට ඇසී ඇත.

අපේ අල්ලපු ගෙදර ළමයා හරිම ‍පෝරිසාදයෙක්. මෙයා දඟ කරන්නේ ඒවා දැකලා එයාගෙන් පුරුදු වෙලා
අනේ මේ ළමයා හොඳට හිටියා. මොන්ටිසෝරි යන්න ගත්තට පස්සේ තමයි දඟ වුණේ
මෙයාගෙ පන්තියේ ඉන්නේ යක් පැටව් ටිකක්.

එයාලා එක්ක ඉඳලා මෙයත් දැන් දඟ වෙලා මේ ආදිය එවැනි දෙමාපියන් වෙතින් කියවෙන වචනයි.

කුඩා දරුවන් අනෙක් අයව අනුකරණය කිරීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. එම නිසා ඉහත අදහස් සම්පූර්ණයෙන්ම අසත්‍ය වන්නේද නැත. නමුත් දෙමාපියන්ගේ අනුවණ අදහස් හා සමහර ක්‍රියාවන් ද දරුවන්ගේ අයහපත් හැසිරීම් වලට හේතු පාදක වන අවස්ථා එමටය.

මෙම සත්‍ය සිද්ධිය ඊට නිදසුනකි.
ආකාශ් සොයුරියන් දෙදෙනෙකු සිටින දරුවෙකි. ඔහුගේ වැඩිමහල් සොයුරිය ඔහුට වඩා වසර 12කින් වැඩිමහලු අතර බාල සොයුරිය වසර 10කින් වැඩිමහල්ය. එම නිසා ඔහු නිවසේ මව, පියා හා සොයුරියන්ගේ සුරතලා විය. පවු‍ලේ එකම පිරිමි දරුවා හා සොයුරියන්ට වඩා බෙහෙවින් ළා බාල නිසා සැමගේම ආදරය ඔහුට නොඅඩුව ලැබුණි.

සෑම විටම ඔහුගේ අවශ්‍යතාවයන් නොපිරිහෙලා ඉටු කර දීම ඒ සෑම දෙනා වෙතින්ම සිදුවිය. එපමණක් නොව ඒ අය නිතරම පැවැසුවේ නිවසේ බඩු භාණ්ඩවල හිමිකරුද ආකාශ් බවය.

මල්ලියාගේ සෙල්ලම් බඩු මල්ලියාගේ බයිසිකලය කාරෙක පුතාගේ තාත්තා ඒක එළවනවා විතරයි
ඔවුන් ඒ බව ආකාශ්ට හැඟවූයේ එලෙසිනි බොහෝ විට නිවසට ගෙන එන රසවත් කෑම වර්ගවලින් වැඩිපුර කොටස ලැබුණේද ඔහුටය.

නමුත් පෙර පාසලට ගිය විට එම තත්ත්වය එසේ වූයේ නැත. එය ආකාශ්ට දරා ගැනීමට අපහසු විය.
ක්‍රීඩා භාණ්ඩ අනෙක් අය සමග බෙදා ගැනීම එළිමහනේ ක්‍රීඩා කරන විට ඔන්චිල්ලාව, සීසෝව ආදි උපකරණවල ඔහුට අවශ්‍ය මුළු කාල වේලාවම ගත කිරීමට නොහැකිවීම සම වයස් අය සමග එක්වී යම් යම් ක්‍රියාකාරකම්වල නිරත වීම ඔහුට ඉතා අපහසු විය.

එම නිසා උදෑසන පෙර පාසල් යාමට සූදානම් වන විට ඔහු ඉතා මුරණ්ඩු විය. පෙර පාසල අවසාන වී නිවසට පැමිණි පසුද ආකාශ් කාලය ගත කළේ වෙනදා මෙන් නොවේ.

පුංචි දේවල්වලදීත් බඩු ‍පොළොවේ ගැසීම, බිම පෙරළී ඇඩීම යනාදිය ඔහු වෙතින් සිදුවිය. කෑ ගැසුවේය. සොයුරියන් දෙදෙනාටද හිරිහැර කිරීමට පෙලඹිණි. එවිට ඒ දෙමව්පියන්ගේ  අදහස වූයේ ඒ සියල්ලම පෙර පාස‍ලේ අනෙක් දරුවන්ගෙන් ඉගෙන ගත් බවයි.

ඇතැම් දෙමාපිය / වැඩිහිටියෝ තවත් අයකු වෙතින් සිදුවූ යම් දෙයක් නිසා දරුවාට සිත් වේදනාවන් ඇති වූයේ යයි හැඟෙන විට දරුවාට ඇසෙන සේ එම අයට දොස් පවරති.

මවගෙන් සිදු වූ යමක් නිසා දරුවා සැනසීමට පියා විසින් මවට දොස් පවරන අවස්ථා පියාගෙන් සිදුවූ අතපසුවීමටක මව විසින් දරුවාට ඇසෙන සේ පියාට දොස් පවරන අවස්ථා වැඩිහිටි සහෝදර සහෝදරියන්ට නිවසේ සිටින වෙනත් අයට ආදි වශයෙන් දරුවාට ඇසන සේ විවිධ දේ පවසා දරුවා සනසවන අවස්ථා අපි දැක ඇත්තෙමු.

එපමණක් නොව දරුවකු බිම ඇද වැටුණු විට එම ස්ථානයට පහර දීම, බිත්තියක හෝ වෙනත් දෙයක හැපුණු විට එයට පහර දීම යනාදියද සිදුවන අවස්ථා ඇත.

මෙවැනි දේ හරහා එම අවස්ථාවේ දරුවාට යම් සතුටක් දැනීම හා එය දෙමව්පියන්ගේද සැනසීමට හේතුවක් වුවද ඒ හරහා දරුවා තුළ වර්ධනය වන්නේ ද්වේශය පලිගැනීම වැනි ගුණාංගය.

එවැනි අවස්ථාවකදී දරුවාගේද වරද / අතපසුවීම දරුවාට වටහා දෙන්නේ නම් එය ඊට වඩා බොහෝ යහපත්ය.
පුතා අහක බලාගෙන දුවගෙන ගිය නිසා තමයි පුටුවේ හැපුණේ මේ ආකාරයට පවසන්නේ නම් දරුවාට තම වරද / අතපසුවීම වටහා ගන්නවා පමණක් නොව ඊට පසුව එවැනි දේ සිදු නොවන්ටද වගබලා ගන්නවාද ඇත.

පුංචි ළමයි දඟ කරනවා තමයි මෙය දඟකාර දරුවන් පිළිබඳව බොහෝ අයගේ මතයයි. එය අසත්‍යයක් නොවෙ.ඇත්තෙන්ම කුඩා දරුවකුගේ දඟකාර බව අසාමාන්‍ය තත්ත්වයන් වන්නේද නැත.

නමුත් ඒ සමගම අන් අයට හිංසා පීඩා කරනවා නම් එසේ කරමින් තෘප්තිමත් වන්නේ නම් එය හිතකර තත්ත්වයක් වන්නේ නැත.

සමහරු තම දරුවාගේ අසාමාන්‍ය දඟකාරකම් පිළිබඳවද දරුවා ඉදිරිපිටදීම උදම් අනන්නේ ඉතා ප්‍රීතියෙනි.
කිව්වොත් කිව්වම තමයි ඉතින්. වටේම ඉන්න ළමයි මෙයාට බයයි.

මෙයා තමයි රජ කරගන ඉන්නේ යනාදී වශයෙන් පවසන්නේ ඒවා වීර ක්‍රියා පරිද්දෙනි. එය ඉතාම නුසුදුසුය. දරුවාට එවැනි දේ ඇසෙන විට දරුවාද සිතනුයේ තම ක්‍රියාවන් (හැසිරීම් රටාව) අයහපත් නොවන බවය. එමෙන්ම එවිට දරුවා තවදුරටත් උත්සාහ කරන්නේ තව තවත් එවැනි ක්‍රියාවල නිරත වීමටයි.

මේ අතර තම දරුවාගේ සතුට උදෙසා ඔහු / ඇය සෑම විටම උසස් කරන දෙමාපියෝද වෙති. ඔවුන් තම දරුවා උසස් කරන්නේ තවත් දරුවකු පහත් කරමිනි.

දුව තමයි හොඳම ඔයාගේ චිත්‍රය තමයි ලස්සනම අනිත් අයට ඔයාට වගේ සිංදු කියන්න බැහැ දරුවාව පෙර පාසලට යැවීමට උනන්දු කරවීමටද මාපියන් දරුවාට මෙසේ පවසන අවස්ථා තිබේ.

නමුත් මෙහිදීද සිදුවන්නේ දෙමාපියන් පවසන දේවල් අසත්‍ය බව වැටහීමෙන් දරුවා අසහනයට පත් වීමය. එවැනි අවස්ථාවලදීද දරුවෝ අන් අයට හිංසා පීඩා කිරීට පෙළඹෙති.

එමෙන්ම ඒ හරහා දරුවන් තුළ ඊර්ෂ්‍යාව යන අයහපත් ගුණාංගය වර්ධනය වන බවද දෙමාපිය වැඩිහිටියන් මතක තබා ගත යුතුය.

දෙමාපිය අසමගිකම්, නිවස තුළ පවත්නා වාද විවාද යනාදිය දරුවන් තුළ අයහපත් ගති
ලක්ෂණ වර්ධනය කරවීමට හේතු පාදක වේ.

එමෙන්ම මාධ්‍යවල ඇති ඇතැම් දර්ශන හරහා ද මෙය සිදුවේ.
එම නිසා නිවස තුළ නිවසේ සාමාජිකයන් අතර සමගිය පවතින්නේ නම් දරුවාට ඇසෙන සේ නරක වචනයක් හෝ නොකියන්නේ නම් රූපවාහිනියේ දරුවාට නුසුදුසු යයි හැඟෙන වැඩසටහන්ද නැරඹීමත් සිදු නොවන්නේ නම් දරුවන් මුරණ්ඩු වන්නේ කෙසේද යන්න එවැනි දෙමාපියන්ට ගැටලුවකි.

එවිට ඊට හේතුව අනිවාර්යයෙන්ම පිටස්තරයන් බව ඔවුන්ගේ අදහසයි.

ඇත්තෙන්ම දෙමාපිය හැසිරීම, නිවසේ වාතවාරණය ඉහත ආකාර නම් එය ඉතා යහපත්ය. නමුත් ඉහත ආකාරයේ දෙමාපියන් නොසිතන සිදුවීමද දරුවන් තුළ අයහපත් හැසිරීම් වර්ධනය වීමට පිටිවහලක් වන බව දෙමාපියන් මතක තබා ගත යුතුය.

ජලදිනී සේනානායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.