lakbima.lk

ඔසප් වේදනාව සමනය කරන ව්‍යායාම

ආර්තවය හා සම්බන්ධ රෝග අතුරින් කාන්තාවන් වැඩිම ප්‍රමාණයක් පීඩා විඳින රෝගී තත්ත්වය ආර්තව වේදනාවයි. මෙම රෝගී තත්ත්වය ඩිස්මෙනොරියා නමින් හැඳින්වේ. ආර්තවය පවතින කාන්තාවන්ගෙන් සියයට පනහක් පමණම ආර්තව වේදනාවෙන් පෙළුණද එය දරාගත නොහැකි තරමේ වේදනාවක් වන්නේ කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් බව සමීක්ෂණ මගින් තහවුරු වී තිබේ.

මෙම රෝගී තත්ත්වයේදී ආර්තවය ආරම්භ වීමත් සමග යටි බඩ ප්‍රදේශයේ වේදනාවත් ඊට අමතරව පිටකොන්ද ප්‍රදේශයේ වේදනාව පියයුරු වල වේදනාව සහ හන්දිපත්වල වේදනාකාරි බව පැවැතිය හැකිය.

ආර්තව වේදනාව, ප්‍රාථමික ආර්තව වේදනාව සහ ද්විතියික ආර්තව වේදනාව වශයනේ දෙයාකාරවේ. ප්‍රාථමික ආර්තව වේදනාව ආරම්භ වන්නේ මල්වරවී වසර දෙකක් තුනක් පමණ ගත වූ පසුවය. බොහෝ විට එය වයස අවුරුදු දාහතත් විසිපහත් අතර දී පටන් ගනී. ප්‍රාථමික ආර්තව වේදනාවට හේතුව කුමක්දැයි නිශ්චිතවම හඳුනාගෙන නැත. එහෙත් මෙම ආර්තව වේදනාව බොහෝ විට විවාහ වී දරුවන් ප්‍රසූත කිරීමෙන් පසුව ක්‍රමයෙන් අඩු වී යන ආකාරයක් දැකිය හැකිය.

ද්විතියික ආර්තව වේදනාව බොහෝ විට වැඩිහිටි කාන්තාවන් අතර පවතින තත්ත්වයකි. ශේ‍රා්ණි ප්‍රදේශයේ පවතින ආසාදන එන්ඩේ‍රාමෙට්‍රියෝසිස් හෝ ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ද්විතියික ආර්තව වේදනාවට හේතුවන ආකාරය වෛද්‍යවරුන් හඳුනා ගෙන තිබේ.

කාන්තාවන් දැඩි අසීරුතාවයකට පත් කරවන මෙම ආර්තව වේදනාව ඇතිකරවන්නේ ‍ප්‍රොස්ටග්ලැන්ඩින්ස් නම් රසායනික ද්‍රව්‍යයකි. එම රසායනය මගින් ගර්භාෂ බිත්තියේ පිහිටි පේෂින් සංකෝචනය කරන්නට පටන් ගැනීමත් සමග ඒ ආශ්‍රිත රුධිරවාහිනී ඇඹරීමකට ලක් වේ. එවිට එම රුධිරවාහිනී මගින් ඒ ආශ්‍රිත පටකවලට සපයනු ලබන ඔක්සිජන් ප්‍රමාණය හීන වී යෑමෙන් මෙම වේදනාකාරී බව ආරම්භ වේ.

ආර්තව වේදනාවෙන් මිදෙන්නට ව්‍යායාම

(ආර්තව වේදනාවෙන් මිදිය හැක්කේ වේදනා නාශක පෙති වලින්ම පමණක් නොවේ. ඒ සඳහා ශරීරයට ඉතා හිතකර ව්‍යායාම ක්‍රමවේදයක්ද තිබේ. ශේ‍රා්ණිය තද කිරීමේ ව්‍යායාමය සහ ශේ‍රා්ණිය පැද්දවීමේ ව්‍යායාමය මගින් ආර්තව වේදනාවෙන් පෙළන කාන්තාවන්ට ඉන් සහනයක් ලබා ගන්නටත් ගර්භාෂය ආශ්‍රිත බොහෝ රෝගී තත්ත්වයන්ගෙන් දුරස් වන්නටත් හැකියාව තිබේ.

1. ශේ‍රා්ණිය තද කිරීමේ ව්‍යායාමය

* බඩ යටට සිටින සේ දිග ඇරි නිදා ගන්න.
* අත්ල උරහිසට සමාන්තරව තබා ගන්න.
* එසේ සිටියදීම අල්ල ප්‍රදේශයට බර දී කඳ කොටස ඉහළට ඔසවන්න.
* හිස සහ උරහිස් හොඳින් ඉහළට ඔසවමින් ශේ‍රා්ණි ප්‍රදේශයේ පේෂින් හොඳින් ඇදෙන්නට සලස්වන්න.
* නැවත පළමු ඉරියව්වටම පැමිණ සැහැල්ලු වන්න.
* මෙය කිහිප වරක් නැවත නැවත කිරීමෙන් ආර්තව වේදනාව අඩුකර ගත හැකිය.

2. ශේ‍රා්ණිය පැද්දවීමේ ව්‍යායාමය

* බඩ යටට සිටින සේ දිගා වී දෑත් පසුපසට කර ඔසවන්න.
* දණහිසින් උඩට නමා හිස දෙසට යොමු කළ දෙපාවල වළලුකර දෑත් වලින් හොඳින් අල්ලා ගන්න.
* හිස හා පිට ප්‍රදේශය ඉහළට ඔසවන්න.
* දෙපා වළලුකර ගිලිහි නොයනසේ අල්ලා ගෙන සිටිමින්ම වමටත් දකුණටත් දෝලනය වන්න.

ආර්තව වේදනාවට එකම පිළියම වේදනා නාශක පෙති යැයි සිතන බොහෝ කාන්තාවෝ මාසයක් පාසා සැලකිය යුතු තරමේ වේදනානාශක පෙති තොගයක් ගිල දමති. එහි අහිතකර අතුරු විපාක පැමිණෙන්නේ ඔබ නොසිතන වෙනත් රෝගී තත්ත්වයක් ආකාරයට විය හැකිය. එහෙත් මෙම ව්‍යායාම මගින් කිසිදු අතුරු විපාකයකින් තොරව ඔබට ආර්තව වේදනාවෙන් අත්මිදෙන්නට හැකි වනු ඇත.

වෛද්‍ය සාකච්ඡාවක් ඇසුරිනි

උත්පලා සුභාෂිනී ජයසේකර


 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.