lakbima.lk

දරුවන්ව අනතුරුවලින් මෙන්ම ලෙඩ රෝගවලින්ද ආරක්ෂා කර ගැනීමට දෙමාපිය වැඩිහිටි කවුරුත් නිතරම උත්සාහ කරති. එය කිසිදු වරදක් නොවේ. නමුත් මෙම ආරක්ෂා කිරීම තුළ ඔවුන් දරන ඇතැම් අදහස් නිසා දරුවන්ට ජීවිතයේ සමාරම්භක අත්දැකීම් ලබා ගැනීමට ඇති අවස්ථාද අහිමිවේ.

මෙහි එක් අවස්ථාවක් ලෙස වැලි හා වතුර සමග ක්‍රීඩා කිරීම පෙන්වා දිය හැකියි. වැලි හා වතුර සමග ක්‍රීඩා ක්‍රියාකාරකම්වල යෙදීම නිසා දරුවන්ට අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවේ.
ඒ කෙසේදැයි අපි බලමු.


වැලි සමග ක්‍රීඩා කිරීම හා අත්දැකීම් ලබා ගැනීම

නවීන මෙවලම්වලට හුරුවී සිටීමත් කුඩා කාලයේ සිටම දරුවන්ට අකුරු ඉලක්කම් ඉගැන්වීමට දෙමාපියන් වෙහෙස වීමත් නිසාම අද දරුවන්ට වැලි සමග ක්‍රියාකාරකම්වල යෙදීමට කාලයක් නොමැත. එහෙත් ඒ සඳහා අවස්ථා ලබා දෙන්නේ නම් එය දරුවන්ට මහත් සතුටක් වන බවද කව යුතුමය.

අප අපගේ ළමා කාලයේදී වැලි සමග ක්‍රීඩා ක්‍රියාකාරකම් වල යෙදී සතුටු වූ ආකාරය මඳක් සිහිපත් කරමු.
වැලි මත ලිවීම, ඇඳීම, භාජනවලට වැලි පිරවීම, වැලි තුනී කිරීම, කෝම්පිට්ටු සෑදීම, වැලිබත් පිසීම යනාදිය අප විසින් කරන ලද ක්‍රියාකාරකම් අතර විය.

එපමණක් නොව පාදය භාවිතා කර වැලි මත රවුම් ඇඳ රවුමකින් රවුමකට පැනීම, අඩිය තියමින් එම රවුම් මත ගමන් කිරීම ආදියද සිදු කළ ආකාරය තවමත් මාගේ මතකයේ පවතී. අඹ ඇට පැනීම මෙවැනි සෙල්ලමකි.
වැලි අත ගෑමෙන් කරනු ලබන ක්‍රියාකාරකම් වල දරුවන්ගේ මොළයේ නියුරෝන ෙසෙල හා අන්තර් සම්බන්ධතාවයක් ඇතිවේ. දරුවන්ගේ බුද්ධි වර්ධනයේ මුල් පියවර එය බව දෙමාපිය වැඩිහිටියන් අමතක නොකළ යුතුය.

වැලි අතගෑමේදී එහි ඇති සිනිදු / ගොරෝසු බව වැලි පිරවීමේදී පරිමාව, ප්‍රමාණය යනාදී සංකල්ප පිළිබඳ අවබෝධය දරුවන්ට ලැබේ.

අවස්ථා නොලැබෙන නිසාම අද බොහෝ දරුවන් නොදන්නා එහෙත් එදා ඉතාම ජනප්‍රියව තිබූ කෝම්පිට්ටු සෑදීම හරහාද දරුවන් තුළ විවිධ සංකල්ප සංවර්ධනය වන බව කිව යුතුමය.

කෝම්පිට්ටු සාදා ඒවා ගණන් කළ හැකිය. (ගණන් කිරීම / සංඛ්‍යාත්මක වටිනාකම)
එතැන සිටින අයට එක් අයකුට එක බැගින් ඒවා බෙදා දීමට පුළුවන. (බෙදා හදා ගැනීම)
කෝම්පිට්ටු වලට විවිධ දේ එකතු කර සැරසීමට පුළුවන. මේ තුළින් නිර්මාණශීලී බව වර්ධනය වේ.

වැලිබත් පිසීම ද සාමූහික ක්‍රියාකාරකමකි. සම වයස් කණ්ඩායමක් සමග එක්වී ක්‍රියාකාරකම්වල යෙදීම. අනෙක් අය සමග තමන් සතු දේ මෙන්ම තම අදහස්ද බෙදාහදා ගැනීම, අනෙක් අයගේ අදහස් පිළිගැනීම ආදී ගුණාංගද මේ හරහා වර්ධනය වන බව කිව හැකිය.

වැලිවල ලිවීම / ඇඳීම යනාදිය ඉදිරියේදී අකුරු ලිවීම සඳහා පෙරහුරුවකි. අත්වල, ඇඟිලිවල මාංශපේෂී වර්ධනය, ඇස හා අත් අතර සමායෝජනය යනාදී බොහෝ දේ මේ හරහා දරුවන්ට ලබාගත හැකිය.

වැලි ඇල්ලීමෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට නම්

වැලි වලින් සිදුවන හානි විවිධාකාර ලෙස පෙන්වා දීමට පුළුවන.

* දරුවන් එකිනෙකාට වැලි විසි කිරීම නිසා ඇස්වල වැදීම.
* නිය‍පොතු තුළ වැලි රැඳී තිබිම හා අත් කටට දැමීමෙන් ඒවා ශරීරගත වීම.
* වැලි ඇල්ලීමෙන් අනතුරුව අත් සේදීමෙන් තොරව ආහාර ගැනීමෙන් වැලි හා ඒවායේ ඇති විෂබිජ ශරීරගත වීම.

මෙම හානි වලින් වැළකීමට නම් දරුවන්ව දැනුවත් කිරීම ඉතාම වැදගත්ය. ඒ පිළිබඳව දරුවන්ට ආදරයෙන් පහදා දිය හැකියි. කතන්දර හෝ වෙනත් සිද්ධීන් උදාහරණ ලෙස ගෙන පහදා දීමෙන් දරුවන්ට ඒවා වටහා ගැනීමට අපහසු වන්නේ නැත.

එමෙන්ම ක්‍රීඩා ක්‍රියාකාරකම්වල නිරත වීමට දරුවන් හට පිරිසිදු වැලි ලබා දිය හැකියි. මේ සඳහා පිරිසිදු වැලි භාජනයකට දමා සූදානම් කර ගෙන තබා ගැනීම හා ක්‍රීඩා කිරීමෙන් අනතුරුව එය ඉවත් කර නැවත එම භාජනයටම දමා තබා ගැනීමට පුළුවන.

පසුව දරුවන් සමගම එකතු වී එම ස්ථානයද පිරිසිදු කර ගැනීමෙන් වැඩක් මනා ලෙස නිමා කිරීම පිළිබඳ අවබෝධයද දරුවන් හට ලැබේ.

අවසානයේ දරුවන්ද හොඳින් පිරිසිදු කර ගැනීම අපහසු කාර්යයන් නොවේ.

වතුර සමග ක්‍රියාකාරකම් කිරීම හා අත්දැකීම් ලබා ගැනීම

කෝම්පිට්ටු සෑදීම හා වැලි සෙල්ලම් බත් පිසීමේදීද වැලි සමග වතුරද භාවිතා කරයි.
මීට අමතරව භාජන වලට වතුර පිරවීම එකකින් අනෙකට  වත් කිරීම වතුර වලට යම් යම් දේ දමා කුමක් සිදුවේද යන්න නිරීක්ෂණය යනාදිය වතුර සමග කරන ක්‍රීඩා ක්‍රියාකාරකම් අතර වේ.

භාජනවලට වතුර පිරවීම පරිමාව හා ධාරිතාව ඉගෙන ගැනීමේ ආරම්භක අවස්ථාවවේ. භාජන වල හැඩය අනුව ජලයේ හැඩයද වෙනස් වන බව මෙහිදී දරුවෝ දැන ගනිති. එනේම එක් එක් භාජනවලට ජලය අල්ලන ප්‍රමාණය දරුවෝ නිරීක්ෂණය කරති. කට විශාල භාජන වලට ජලය පිරවීම පහසු බවත් කට කුඩා භාජන වලට ජලය පිරවීමට අපහසු බවත් දැන ගනිති.

ජලයට යම් යම් දේ දැමූ විට පාවෙන දේ ගිලෙන දේ මෙන්ම දියවන දේ මොනවාද යන්න දරුවන්ට දැක බලා ගත හැකිවේ.තීන්ත වැනි දෙයක් දැමූ විට දමන තීන්ත ප්‍රමාණය අනුව ජලයේ වර්ණවත් බව අඩු / වැඩි වන ආකාරය දැන ගනියි.මේවා හරහා දරුවන්ගේ නිරීක්ෂණ ශක්තියද දියුණු වන අතර බුද්ධි වර්ධනයද සිදුවේ.

වතුර ඇල්ලීමෙන් සිදුවන හානිය වළක්වා ගැනීමට

ක්‍රියාකාරකම් කිරීමෙන් පසු දරුවා පිරිසිදු කර ඇඟ වැසෙන ඇඳුමක් අන්දවා ගැනීමට පුළුවන.
මීට අමතරව වතුර සමග ක්‍රීඩාවල යෙදීමේදී දරුවා සමග වැඩිහිටියකුද කාලය ගත කිරීමට සූදානම්ව සිටිය යුතුයි.
එවිට භාජනවලට හිස පෙවීම, වතුර මුහුණට දමා ගැනීම, පානය කිරීම ආදී දේ වලින් දරුවා ආරක්ෂා කර ගත හැකිය.

ජලදිනී සේනානායක
      

  1. නිශ්චිත හේතුවක් නැතිව වැලඳෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි
  2. සියුම් තැනකින් ආරම්භ වී ජීවිතයම ගිල ගන්නා මාරයා
  3. අධිසීනි බීම එකකුත් ඇති ජීවිතයම නවතින්න
  4. මව්කිරිවල අප මෙතෙක් දැන සිටියාටත් වඩා අසීමිත ශක්තියක්
  5. පීනස වළක්වන පෙතිවල අතුරු ආබාධ වැඩියි
  6. හිසකෙස් නිරෝගීව වැඩෙන්න නම් එහි අගිසි කපා දැමීම අවශ්‍යයි
  7. බාහිර ද්‍රව්‍ය ස්පර්ශයෙන් ඇති වන චර්ම ප්‍රදාහය
  8. ගර්භනී මවට දියවැඩියා වැළඳී ඇත්නම් දරුවාටද දියවැඩියා වැළඳීමේ අවදානමක්
  9. දරුවන් නින්දෙන් ගෙරවීම සුව නින්දක් නොලබන බවට ඉඟියක්
  10. කාන්තා රූප ස්වභාවයට තර්ජනයක් වන ආර්තවහරණය
  11. උදරය පහසුවෙන් අඩුකරගත හැකි සරල ක‍්‍රම
  12. ඇතැම් වෙලාවට අපට හුස්ම ගැනීම අපහසු වන්නේ ඇයි?
  13. අසනීපව රෝහල් ගත කරන ඔබේ රෝගියා පිළිබඳවයි මේ උපදෙස්
  14. මොනවද මේ විසර ගෙඩි කියන්නේ
  15. වැඩිහිටියන් ගොදුරුවන මල්ටිපල් මයලෝමාව දැන් ලංකාවේදී සුව කළ හැකිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.