lakbima.lk

කුඩා දරුවන් හා ‘බඩේ කැක්කුම’ අතර තිබෙන්නේ නොබිඳිය හැකි ආකාරයේ සබඳකමකි. බඩේ කැක්කුමක් නොවැලඳුනු දරුවෙකු සොයා ගැන්ම පවා අසීරුය. විශේෂයෙන් වයස අවුරුදු 12ට අඩු දරුවන්ගේ මේ බඩේ කැක්කුම් බහුතරයක් බරපතළ හේතු නිසා හටගන්නා ඒවා නම් නොවේ. නමුත් සමහර විට බරපතළ හේතුවක් ඒවා තුළ සැඟව තිබෙන්නටද කිසියම් ඉඩකඩක් තිබේ. එබැවින් දරුවන්ගේ බඩේ අමාරුවල ස්වභාවය තේරුම්ගෙන නිවැරදි ප්‍රතිකාර කරා යොමු කිරීමට මේ තොරතුරු ඔබට උදව් වේවි. 
දරුවා තම බඩේ මුළු ප්‍රදේශයම රිදෙන බව පවසයි නම් සමහර විට එය ගැස්ට්‍රයිටිස් වෛරස් ආසාදනයක් හේතුවෙන් සිදුවන්නක් විය හැකිය. එසේම බඩේ කිසියම් තැනක ඇම්මක් (Cramp) වැනි කැක්කුමක් දැනෙන බව පවසයි නම් එයද සැළකිලිමත්ව සොයාබැලිය යුතුවේ. 
එසේම කඩින් කඩ නැවති නැවතී මතුවන තදබල වේදනාවක් නම් (Colicky Pain) එය සමහර විට මුත්‍රාශයේ ගල් හේතුකරගෙන මතුවන්නක් විය හැකිය. එම වේදනාව හටගන්නේ හිටිහැටියේය. එම අවස්ථාවලදී අධික දහඩිය දැමීමක්ද මතුවීමට පිළිවන. එසේම බඩේ දකුණු පස හෝ එක පැත්තක පමණක් මතුවන වේදනාකාරී තත්ත්වයක් ගැනද වඩාත් සැළකිලිමත් විය යුතුය.
අවුරුද්දට වඩා අඩු කුඩා බිළිඳුන් හිටිහැටියේ කෑ ගසමින් අතපය උඩ දමමින් කරන හැඩීමක්ද බඩේ අමාරුවක් විය හැකිය. මෙය සමහරවිට මළබද්ධය නිසා හෝ ආහාර ආසාත්මිකතාවයක් නිසා හටගත හැකිය. 
සමහර විට තදබල ලෙස හැදෙන හිසරදය ඉරුවාරදය නිසා හටගන්නා බඩේ වේදනාකාරී තත්ත්වයන්ද දරුවන්ට බලපෑ හැකිය. සමහර පාසැල් අධ්‍යාපනය අවසානයේ යෙදෙන දරුවන්ට විභාග අවස්ථාවන්වලදී, අත්විඳින්නට සිදුවන ආතති තත්ත්වයන්ද බඩේ කැක්කුම ලෙස එය එළිදකින අවස්ථා ඇත. පිත්තාශයේ ගල්, ආමාශයේ තුවාල වැනි තත්ත්ව වලදීද බඩේ රුදා හටගැනීමට පිළිවන. 
එසේම වයස අවුරුදු 2ට අඩු කුඩා දරුවන්ගේ බඩවැල් එකකට එකක් පැටලී බඩවැ‍ලේ එක තැනකින් ඇතුළට කැවී ගිය අවස්ථාවන්වලද මේ ආකාරයට වේදනාවකින් කෑගැසිය හැකිය. 
කුඩා පිරිමි දරුවන්ගේ වෘෂණ කෝෂ ඇඹරීම නිසාද කුඩා ගැහැණු දරුවන්ගේ පැලෝපීය නාල ඇඹරීම නිසාද බඩේ වේදනාකාරී තත්ත්වයක් හටගැනීමට හැකියාව ඇත. 
මුත්‍රා ආසාදනයක් මුත්‍රාශයේ ගල් ඇති විටෙද දරුවෙකුට තදබල බඩේ වේදනාවක් දැනිය හැක. කුඩාම දරුවන්ගේ සෙල්ලම් බඩුවල තිබෙන ඉතාම කුඩා ඉලෙක්ටේ‍රානික බැටරි කෑලි වැනි දේ ගිලුනු විටෙකද අධික බඩේ වේදනාවක් හටගැනීමට පිළිවන. එසේම බඩේ කැක්කුම සමග බඩඑළිය යාමක් වමනයක් තිබේනම් එයද වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවිය යුතු අවස්ථාවකි. බඩේ වේදනාව සමග රුධිරය මිශ්‍ර මළ පිටවීමක්, වමනය සමග රුධිරය පිටවීමක් නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිය යුතුය. 
දරුවා සෙල්ලම් කිරීමකදී වැටීමක්, තදබල හැප්පීමක් වැනි දෙයකින් පසු බඩේ රුදාවක් ගැන පැමිණිලි කරයි නම් ඒ ද උදරයේ කිසියම් අවයවයක තුවාලවීමක් නිසා වීමට හැකි බැවින් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවිය යුතුය. 
බඩේ රිදීමක් සමග හුස්ම ගැනීමේ වේගවත් බවක් මුත්‍රා දැවිල්ලක්, උණ ගතියක් තිබේ නම් වඩාත් සැළකිලිමත් විය යුතුවේ.  නව යෞවන වයස ළඟාවන එනම් 9-10 වයස්වල දැරිවියන්ගේ බඩේ අමාරුවලට ඒ කාලයේ මල්වරවීම ආසන්න වන විට ශරීරයේ ඉහළ යන ‘Prostaglandine’ නම් හෝමෝනය හේතුවීමට පිළිවන. 
නූතනයේ දරුවන්ගේ වැරදි ආහාර පුරුදු නිසාද බඩේ අමාරු හටගැනීමට පුළුවන. අධික ලෙස තෙල්, පිටි අඩංගු වන ක්ෂණික ආහාර වර්ග ලබාගැනීමද මෙවැනි තදබල බඩේ රුදාවලට මගපාදයි. විශේෂයෙන් බදින ලද අල පෙති, රසකාරක යෙදූ මස් වර්ග නිතර නිතර ආහාරයට ගැනීම නිසා බඩේ අමාරු හට ගැනීමට පිළිවන. දරුවන් කලට වේලාවට ආහාර වේල් ලබා නොගැනීම නිසාද බඩේ වේදනාකාරී තත්ත්ව මතුවේ. 
එසේම දරුවාගේ බඩේ හටගන්නා වේදනාවන් කාලයක් පවතියි නම් ශරීර බර අඩුවීමක් දැනේ නම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් පතන්න. දරුවා රාත්‍රී කාලයේ හිටිහැටියේ වේදනාවෙන් කෑගසමින් නැගිටියි නම් බඩේ වේදනාව සමග ගිලීමේ අපහසුවක් තිබේ නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම යෝග්‍යවෙයි. කළු පාටට හුරු, කොළ පාටට හුරු වමනය හෝ බඩඑළිය සමග බඩේ රුදාවක් ගැන පැමිණිලි කරයි නම් වහාම රෝහල්ගත කිරීමට වග බලා ගන්න. 
සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට වැළඳෙන බඩේ කැක්කුමක් සඳහා සුළු අත් බෙහෙතක් මගින් පිළිතුරු සෙවීම හොඳය. නමුත් ඊට ප්‍රතිචාර නොදක්වන ඉහත සදහන් කළ ආකාරයේ බඩේ වේදනාවන් ගැන නම් ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන බව කිව යුතුමය.
 
කුලියාපිටිය  මූලික රෝහ‍ලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චින්තක රාජපක්ෂ 
 
සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.