lakbima.lk

අධිතයිරොයිඩතාවය හඳුනා ගනිමු

“මොකද අනේ ඔය තරම් කෙට්ටු වෙලා. ඔයා කෑම කන්නෙ නැද්ද?”

“ඒක නේන්නම්. කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ. මේ දවස් වල බඩගිනි වෙනවත් වැඩියි. ඒ මදිවට දාඩියත් දානව.”

“එහෙම නම් බලා ඉන්න එපා. ඩොක්ටර් කෙනෙකුට පෙන්වන්න.”

“පෙන්නුව අනේ. ඒත් ගණන් ගත්තෙ නෑ. මට නින්ද යනවත් අඩුයි කිව්වම අහනව බෝයි ෆේ‍රන්ඩ් එක්ක රෑ තිස්සෙ ෆෝන් එකෙන් මල් කඩනව ද කියල. විටමින් එකක් දුන්න බිල බලන්න කියල.”

නිරෝගී පෙනුමකින් යුතු ක්‍රියාශීලී තරුණියක වන ඇය බැලූ බැල්මට රෝගී බවක් නොපෙනුණි. ඇය වෛද්‍යවරුන් කිහිපදෙනෙක්ම හමු වී තිබුණද රුධිර පරීක්ෂණ වලට යොමු කළ යුතු යයි තීරණය වන්නේ රෝග

ලක්ෂණ තරමක් උග්‍ර වූ විටය. රුධිරගත සීනි, කොලෙස්ටෙරෝල්, සහ තයිරොයිඩ් හෝර්මෝන් මට්ටම   (T3, T4, TSH) පරීක්ෂාවට  භාජනය කරන ලදී. ඇගේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය තත්ත්වයක තිබුණි. කොලෙස්ටෙරොල් සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු මට්ටමකද, තයිරොයිඩ් හෝර්මෝන සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි අගයකත්  TSH  (තයිරොයිඩ් උත්තේජක හෝර්මෝනය) සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු අගයකත් පැවතුනි. ඇය අධිතයිරොයිඩතාවයෙන් පෙළෙන බව පෙනුණි.

අපේ සිරුරේ ක්‍රියාකාරිත්වය පාලනය කරන්නේ “හෝර්මෝන්” නම් රසායන ද්‍රව්‍ය වලිනි. එම රසායන ද්‍රව්‍ය නිපදවෙන ග්‍රන්ථි පිහිටා තිබෙන්නේ රුධිර සැපයුම ඉතා හොඳින් ඇති ස්ථාන වලය. ඊට හේතුව එම ග්‍රන්ථි වලින් නිපදවෙන හෝර්මෝන නාලයක් දිගේ ගමන් නොකොට  කෙලින්ම රුධිරයට එක් වීම සිදුවන බැවිනි.  මෙම ග්‍රන්ථි  “නිර්නාල ග්‍රන්ථි” යනුවෙන් හැඳින්වෙන්නේ ද එබැවිනි. සිරුර පුරා විවිධ අවයවයන්ට සම්බන්ධව පිහිටා ඇති මෙම ග්‍රන්ථි පද්ධතිය “අන්තරාසර්ග පද්ධතිය” ලෙස නම් කර තිබේ. මෙහි කටයුතු කෙරෙන්නේ හරි අපූරු ආකාරයකටය. එනම් තවත් කෙනෙකුගේ උදව් නැතිව තමාම වැඩ ටික කරගෙන යාමට හැකි වන ලෙසය. රුධිර ගත හෝර්මෝන මට්ටමින්ම එම පාලනයද සිදුවේ. එනම් යම් හෝර්මෝන මට්ටමක් ප්‍රශස්ථ මට්ටමට වඩා අඩු වන බවක් පෙනේ නම් එය වැඩි කිරීමට “උත්තේජක හෝර්මෝනයක්” ක්‍රියාත්මක වේ. එය අදාළ ෙසෙල වලට ආමන්ත්‍රණය කරයි. “ඔබේ ක්‍රියාකාරිත්වය වැඩි කරන්න.” ඒ ලෙසම රුධිර ගත හෝර්මෝන මට්ටම වැඩි තත්ත්වයක පවතී නම් එම වැඩි වීමේ උත්තේජක හෝර්මෝනයේ ස්‍රාවය අඩු කිරීමට දෙන ඉඟියක් බවට පත්වේ.

එහෙත් අණ ලැබුණ පමණින් ක්‍රියාව සිදු වේද? මෙම ක්‍රියාවලිය හරි හැටි සිදු කිරීමට එම අවයවය නිරෝගීව තිබිය යුතුය. අණ ලැබුණ ද ෙසෙල වලට අවශ්‍ය ලෙස වැඩ කිරීමේ හැකියාව නැත්නම්? හෝර්මෝන් අඩු වැඩි වී රෝගී තත්ව ඇති වන්නේ එවන් අවස්ථාවලදීය.

නිර්නාල ග්‍රන්ථි පද්ධතියට අයත් ග්‍රන්ථි, නිරන්තරයෙන්ම තම සේවා මුරය පවත්වා ගෙන යන කර්මාන්තශාලාවක් වැනිය. ඒ නිසා එහි යම් යම් දෝෂ සිදු වීමේ ප්‍රවණතාවයද වැඩිය. ආසාදන තත්ව නිසා ෙසෙල ඉදිමීම, ෙසෙල වල ගැටිති සහ වෙනත් අර්බුද පිළිකා ආදිය ඇති විය හැකිය. ඒ කුමක් ඇති වුවත් බලපාන්නේ හෝර්මෝන මට්ටමය.  එවිට රුධිරයේ එම හෝර්මෝන මට්ටම අධික වේ. නැතිනම් ඉතා අඩුවේ. මේ අවස්ථා දෙකේදීම අදාළ හෝර්මෝනය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා සිරුරේ වෙනස්කම් සිදුවේ.  ඊට අමතරව  ශල්‍යකර්ම මගින් අවයව කොටස් ඉවත් කරන විට විවිධ ලක්ෂණ ඇතිවේ. මුල් කාලයේ එම රෝග  ලක්ෂණ ඉතා සියුම්ව පවතින බැවින් “රෝග ඉතිහාසය” සහ රෝගියා පරීක්ෂා කිරීම මගින් පමණක් රෝග නිර්ණය අපහසු වේ. එවිට අපේ පිහිටට එන්නේ රුධිර පරීක්ෂණයි. අපට රුධිරගත හෝර්මෝන මට්ටම මැන බලා ගත හැකිය. ක්‍රියාකාරිත්වය අඩු නම් සකස් කර ඇති හෝර්මෝන “පෙති” ලෙස හෝ “එන්නත්” ලෙස ලබා ගත හැකිය. ක්‍රියාකාරිත්වය වැඩි නම් ෙසෙල තුළ වන නිෂ්පාදනය අඩු කිරීමට ඖෂධ තිබේ.

මේ අවස්ථාව සුලබව පෙන්වන ග්‍රන්ථියකි තයිරොයිඩ් ග්‍රන්ථිය. එය බෙල්‍ලේ ඉදිරිපස පිහිටා තිබේ. එයින් නිපදවෙන්නේ “තයිරොයිඩ්” නම් හෝර්මෝනයයි. එය වර්ග දෙකකින් පවතී. T3 හා T4 යනුවෙනි. එය සිරුරේ සෑම ෙසෙලයකම පරිවෘත්තීය ක්‍රියාවට අවශ්‍ය බැවින් එය නැතිව සිරුර පවත්වා ගෙන යා නොහැකිය. ගර්භනී මවකගේ තයිරොයිඩ් හෝර්මෝනය නිසි මට්ටමේ  නොපැවතුනහොත් ඉපදෙන දරුවා මන්ද මානසික තත්ත්වයකට (cretinism) පත්වීමට ඉඩ තිබේ.

තයිරොයිඩ් හෝර්මෝනය වැඩි වන විට ඇති වන තත්ත්වය “අධිතයිරොයිඩතාවය” නමින් හඳුන්වයි. එහි දී සිරුර වේගයෙන් දුවන දුම්රියක් මෙන් අධි ක්‍රියාශීලීත්වයක් දක්වයි. ආහාර මාර්ගය ඉක්මනින් වැඩ කරයි. ඒ නිසා නිතර කුසගිනි ඇතිවේ. යමක් උදරයට ගත් සැණින් ඒ වහාම ශරීර කෘත්‍යය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වේ. ජලය අවශෝෂණයට කාලය මදි නිසා මළ බුරුල්ව පිට වන්නේ පාචන තත්ත්වයකදී මෙන්ය. එලෙසම ආහාරයේ ‍පෝෂණ කොටස් අවශෝෂණය ද නිසි පරිදි සිදු නොවේ. ස්නායු ක්‍රියාකාරිත්වය අධික බැවින් ඇඟිළි තුඩු වෙව්ලයි. ඊට අමතරව හෘදයේ ක්‍රියාකාරිත්වය වැඩි වී  නාඩි වැටීම වේගවත් වීම සිදු වේ. සාමාන්‍යයෙන් අපට හදවත “ඩිග් .... ඩිග්”  ගා ගැහෙනු දැනෙන්නේ අප කලබලයට හෝ බියට පත් වූ විට පමණය. තයිරොයිඩ් හෝර්මෝනය වැඩි අයට සාමාන්‍ය  අවස්ථාවල පවා එසේ හදවතේ ගැහීම (Palpitations) දැනෙයි. මෙම හෘද වේගය වැඩි වීම බලා ගැනීමට අපට නිවසේම කළ හැකි පරීක්ෂණයක් ඇත. එනම් නින්දේ නාඩි වේගය බැලීමයි.  සාමාන්‍ය පුද්ගලයකු නිදා ගත් විට නාඩි වේගය අඩුවේ. තයිරොයිඩ් ක්‍රියාකාරීත්වය වැඩි නම් නින්දේ දී පවා නාඩි වේගය වැඩි වේ. සමේ ඇති දහදිය ග්‍රන්ථි ක්‍රියාත්මකවීම වැඩි නිසා අධිකව දහඩිය දමයි.

මෙම රෝගීන්ට උණුසුම දරා ගත නොහැකිය. ඔවුහු මනසින්ද කලබලකාරී ස්වරූපයක් පෙන්නුම් කළ හැකිය. ඔවුන් මානසික  ආතතියෙන් පෙළේ. ඉක්මනින් මහන්සි දැනේ. ඇඟපත පණ නැති බව කියයි. කාන්තාවකගේ නම් ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකිය. තයිරොයිඩ් හෝර්මෝන ඉතා වැඩි වූ විට තයිරොටොක්සිකෝසිස් ලෙස හඳුන්වන තත්ත්වයක් ඇති වේ. එය වඩා දක්නට ලැබෙන්නේ තමාගේ ෙසෙල වලටම එරෙහිව ප්‍රතිදේහ නිපදවෙන අවස්ථාවක් වන (autoimmune condition) Gyayes disease වල දීය. එහි දී ඇස් යට පටක ඉදිමීම නිසා ඇස් බෝල පිටතට නෙරා එන තත්ත්වයක් ඇතිවේ. ප්‍රතිකාර නොකළහොත් රෝග ලක්ෂණ උග්‍ර වී “තයිරොයිඩ් කුණාටුව” නම් තත්ත්වය ඇති වී මරණ තර්ජනයක්ද ඇති විය හැක.

රුධිර පරීක්ෂණ, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් CT, MRI ආදී පරීක්ෂණ වලින් මෙහි රෝග නිර්ණය තහවුරු කරන අතර, දීර්ඝ කාලීන ඖෂධ ප්‍රතිකාර වලින් සම්පූර්ණ සුවය ලබා ගත හැකිය. සමහර අයට ශල්‍යකර්ම කිරීමට සිදුවේ.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.