lakbima.lk

පණු රෝගවලට තිත තබමු

නිහඬ ඒත් කඩිසර ශල්‍යාගාර පරිසරයේ හැම විටම රැඳෙන්නේ බැරුම් බවකි. ඒ එහි සිටින සැම දෙනම  ජීවිතයත් මරණයත් අතර දෝලනය වන ජීවිතයක වගකීම සහිත ක‍්‍රියාවලියක නිරතව සිටින නිසාය. එදිනදා සුපුරුදු පරිදි ශල්‍ය කර්ම සිදු කෙරෙමින් තිබිණි. හදිසියේ ම වාට්ටුවේ වෛද්‍යවරයාගෙන් ශල්‍යාගාරයට ඇමතුමක් ලැබිණි.

‘‘‍සර් හදිසි කේස් එකක්. අවුරුදු හතක පිරිමි ළමයෙක්. Intestinal Obstruction එකක් (අන්ත‍්‍රය අවහිරවීමක්) වගේ. ”‍

‘‘ලෙඩා දැන්ම ලෑස්ති කරල එවන්න.”‍ 

එදිනට නියමිත ශල්‍යකර්ම ලැයිස්තුව මදකට නවත්වා එම ශල්‍යකර්මයට සූදානමකි.

මන්දපෝෂිත පෙනුමකින් යුතු දරුවා දින දෙකක සිට නොනවත්වා සිදු වූ වමනය නිසා ශල්‍යකර්ම මේසය මත දිගා වී සිටින්නේ අඩ නින්දෙන් මෙනි. ශක්තියෙන් තොර කුඩා අතපය දෙපසින් කඩා වැටී ඇත්තේ ජීවය රහිතවය.

නිර්වින්දන වෛද්‍යවරයා දරුවා නිර්වින්දනය කළේ  ය.

ශල්‍ය වෛද්‍යවරයා අත රැඳුනු තියුණු ස්කැල්පල් තලය දරුවාගේ පිම්බුණ උදරය මතින් පහළට ගමන් කළේ අඩි කෝදුවකින් ගැසුවාක් මෙන් ඍජු රේඛාවකිනි. ඒ දෙපස සිහින් දහරාවක් වශයෙන් රත්පැහැ ලේ බිඳු මතු විය. උදරයේ මාංශපේශි විවර වූ විගසම මෙතෙක් ඒ තුළ සිරව සිටි  අතුනුබහන් පිටතට පැන ආවේ ය. කුඩා අන්ත‍්‍රය දිගේ පරීක්ෂා කරමින් ශල්‍ය වෛද්‍යවරයාගේ කඩිසර අතැඟිලි රෝගය ඇති තැන නතර විය. එක් ස්ථානයක බඩවැල පිම්බී ගෙඩියක් මෙන් කොටසකි. ඉන් එහා නිල්පැහැ ගැන් වී ඇත්තේ දැනටමත් රුධිර සැපයුම අවහිර වී පටක මිය යමින් පැවතුන බැවිනි. තව විනාඩි කිහිපයක් පමා වී නම් බඩවැල පුපුරා යන අතර දරුවාගේ ජීවිතය අනතුරට පත් වීමට ඉඩ තිබිණි.

ගෙඩියක් මෙන් ඉදිමුණු බඩවැල හරහා සිදුකළ කැපුමත් සමගම ඒ තුළින් එළියට විසිරුණේ එකට වෙලී පැටලී නලියමින්  තිබුණු පණුවන් විශාල සමූහයකි. දරුවා ගන්නා ආහාරයේ සියලූ‍ පෝෂණ කොටස් සිත් සේ උරා බී වැඞී තිබුණු මෙම වටපණු ගුලියේ පිළිකුල් සහගත දර්ශනය ඇඟ කිළි පොළා යන තරම්ය. පණුවන් සිටි කොටස දෙපසින් අන්ත‍්‍රය වෙන් කොට නැවත මසා යථා තත්ත්වයට පත් කරන ලදී. දරුවා දැන් නිරුපද්‍රිතය.

මනුෂ්‍යයාට හානි කරන පරපෝෂිත පණුවන් ලෝකය පුරා බිලියන දෙකකට ආසන්න ජනතාවකට වින කරති.  මෙම තත්ත්වය Soil-transmitted helminth (STH) එනම් ‘පස හරහා බෝ වන‘ යන අර්ථයෙන්ද හඳුන්වනු ලබයි. අපට හානි කරන පණුවන් වර්ග කිහිපයකි.  වට පණුවා (Ascaris lumbricoides), කස පණුවා, (Trichuris trichiura) ,  කොකු පණුවා Necator americanus/Ancylostoma duodenale) කිරි පණුවා (Enterobius vermicularis)  ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වශයෙන් පවතින පණුවෝ වෙති. පටි පණුවා බොහෝ විට දක්නට ලැබෙන්නේ වෙනත් රටවල ය. 

වටපණු රෝගය සුලබම පණු රෝගය වන අතර ලෝකය පුරා ඝර්ම කලාපීය සහ සම ශීතෝෂ්ණ  රටවල වල පැතිර පවතී. වැඩිහිටි වටපණුවා මනුෂ්‍යයාගේ කුඩා අන්ත‍්‍රයේ ජීවත් වන අතර, එහිදී දමන සංසේචිත බිත්තර මලපහ සමග පිට වේ. ඒවා පසට එකතු වී දින 18ක සිට සති කිහිපයක් අතර කාලයක දී බිත්තරය තුළ කලල අවස්ථාව දක්වා මෝරයි. මෙම මේරූ බිත්තර තවත් තැනැත්තෙක් ගේ මුඛය තුළින් ආහාර හෝ ජලය සමග සිරුරට ඇතුල් වේ. එහිදී කුඩා අන්තයට පැමිණෙන බිත්තර වලින් ලාවා නම් කුඩා පණු අවස්ථාව පිටතට පැමිණේ. ඔවුන් අන්ත‍්‍රය සිදුරු කරගෙන රුධිර දහරාවට එක් වී අක්මාව, හදවත හරහා පෙණහලූ කරා ගමන් කරයි.  එහිදී සති තුනක් මෝරා පෙණහලූ වල වායු හුවමාරු කරන ගර්ත වලට පැමිණෙන ලාවා පණුවන්  කැස්ස කහින විට සෙම සමග ඉහළට විත් එම සෙම ගිලින විට ආමාශය හරහා නැවත  කුඩා අන්ත‍්‍රයට ගමන් කොට එහිදී අඟල් 10 -14 දක්වා දිග,  වටකුරු දේහයක් සහිත, ස්තීර්‍ පුරුෂ වැඩිහිටි පණුව බවට වැඬේ. පෝෂණ කොටස් පණුවන් භුක්ති විදින බැවින් ආසාදිත පුද්ගලයා මන්දපෝෂණ තත්ත්වයකට පත් වේ.  මේ ගැහැනු  පණුවා දිනකට 200,000 බැගින් වසර එකහමාරක් පමණ පණු බිත්තර පිට කරයි. ආසාදිත තැනැත්තා මලපහ කරන විට ඒවා  නැවත පසට එකතු වේ. පස තුළ අවුරුදු දහයක් වුවත් මේවා පැවැතිය හැකි බව සොයා ගෙන ඇත.  මෙම බිත්තර පියවි ඇසට නොපෙනෙන බැවින්  නොසේ¥ එළවළු පලතුරු අනුභවයෙන් , ‍සනීපාරක්ෂක ක‍්‍රම අනුගමනය නොකරන ආසාදිත ආහාර පිළියෙලකරන්නන් අතින් ආහාර ¥ෂිත වීමෙන්,  අප ගන්නා ආහාර වලට සහ ජලයට එක් වීම සිදු විය හැකි ය.

කොකු පණුවාගේ කතාන්දරය මීට තරමක් වෙනස් ය. වැඩිහිටි කොකු පණුවා කුඩා අන්ත‍්‍රයේ එල්ලී රුධිරය උරා බොන බැවින් ආසාදිතයා රක්තහීනතාවයට ගොදුරු වේ. ගර්භණී මව්වරුන් පළමු මාස තුන ඉක්මවූ පසු අනිවාර්යයෙන්ම පණු බෙහෙත් ගත යුත්තේ එබැවිනි. කොකු පණුවන්ගේ බිත්තරද පෙර සේම පසට එක්වීම සිදු වේ. එහෙත් පස තුළම බිත්තර මෝරා, පුපුරා ඇතිවන ලාවා කීට අවස්ථාව ඇති වේ. ඔවුන් අප පසේ ඇවිදින විට කකුලේ ඇඟිලි කරු විද රුධිර දහරාවට එක් වේ. එහිදී රුධිරයට එක් වී පෙණහලූ කරා ගොස් නැවත කුඩා අන්ත‍්‍රයට පැමිණ වැඩිහිටි පණුවන් බවට පත් වේ. කස පණුවා ගේ හැසිරීම ඊට වෙනස් ය. වැඩිහිටි පණුවන් රැඳෙන්නේ මහා අන්ත‍්‍රයේ බැවින් බඩවැල පාත් වීම ආදී රෝග ලක්ෂණ ඇති විය හැකි ය.

පසු ගිය දශක කිහිපයේ ශ‍්‍රී ලංකාවේ සනීපාරක්ෂක පහසුකම් දියුණු වී Mebendazole නම් පණු බෙහෙත් වර්ගය පාවිච්චිය ද සමාජයට හුරු වීමත් සමග පණු රෝග ද සමාජයෙන් ක‍්‍රමයෙන් අඩු වී ඇති බව සංඛ්‍යා ලේඛන වලින් පෙනේ. එහෙත්  කිරි පණු රෝගය අද සමාජයේ බොහෝ සේ දක්නට ලැබේ. මෙයට හේතුව එය බෝ වන්නේ වැඩිහිටි පණුවන් රාත‍්‍රියේ දී ගුද මාර්ගය අසලට පැමිණීම නිසා නියපොතු වලට එක් වන පණු බිත්තර නැවත මුඛය තුළින් අන්ත‍්‍රයට ගමන් කිරීමෙන් බෝ වන බැවිනි.

පණු රෝග වැළැක්වීමට නම් පණුවාගේ ජීවන චක‍්‍රය සම්පූර්ණ කිරීමට අවස්ථාව නොදී එය අවහිර කළ යුතුය.   මලපහ පසට එක් වන්නට නොදී නිසි ලෙස බැහැර කිරීම වඩාත් පහසුම ක‍්‍රමයයි. ඒ සඳහා වැසිකිළි පාවිච්චිය අනිවාර්ය වේ. පණු රෝග වලින් වැළකී සිටීමට නම්, කෑමට පෙර සබන් යොදා අත් සේදීම, මලපහ කිරීම සඳහා සෑම විටම වැසිකිළියක් පාවිච්චි කිරීම, වැසිකිළි පාවිච්චියෙන් පසු සබන් යොදා අත් සේදීම, මලපහ වලින් අපවිත‍්‍රව ඇතැයි සිතිය හැකි එළිමහනක ඇවිදින විට පාවහන් පාවිච්චිය, නියපොතු කොටට කපා තිබීම,  එළවළු පලතුරු හොඳින් සෝදා ආහාරයට ගැනීම, පිරිසිදු ජලය බීමට පාවිච්චිය, හොඳින් සෝදා අව්වේ වියළා ගත් ඇඳ ඇතිරිලි පාවිච්චි කිරීම ආදී සනීපාරක්ෂක ක‍්‍රියා පවුලේ සෑම දෙනෙක්ම පිළිපැදිය යුතු ය. කුඩා දරුවන්ගේ මලපහ ද පසට එක් නොවන ලෙස වැසිකිළියකටම දැමීම ආදී පුරුදු ඉතා වැදගත් ය.

පණු රෝග වැළැක්වීමට බෙහෙත් නැත. පණු බෙහෙත් වලින් කෙරෙන්නේ පණු බෙහෙත් ගන්නා අවස්ථාවේ සිරුර තුළ පණුවන් සිටී නම් ඔවුන් විනාශ කිරීමයි. මෙය පණු රෝග වළක්වන බෙහෙතක් ලෙස සමාජයේ අදහසක් පවතී. එය වැරදි අදහසකි. බොහෝ අය මාස තුනකට වරක් පණු බෙහෙත් ගන්නේ එක් වරක් පණු බෙහෙත් ගත් විට මාස තුනකට එය නොසෑදී තිබෙනු ඇතැයි යනු වැරදි විශ්වාසයකිනි.  පණු බෙහෙත් ගත්තාට දින කිහිපයකට පසු නැවත ආහාර හෝ ජලය සමග පණු බිත්තර ශරීර ගත වුවහොත් පණු රෝගය සෑදේ.

දරුවන් පිටිපස පෙදෙස උස්ව තබා ගෙන යට අතට නිදා ගැනීම, සමෙහි ලප සෑදීම, නින්දෙන් දත්මිටිකෑම  ආදිය පණු රෝග වල රෝග ලක්ෂණ නොවේ.  නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරනවා නම් මාස තුනකට වරක් පණු බෙහෙත් දීමද අනිවාර්ය නැත.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.