lakbima.lk

ඩවුන්ස් සින්ඩ්‍රෝම් සහිත අයට දරුවන් බිහි කළ හැකිද?

අම්මා ඔයාගෙ බබා පොඞ්ඩක් මේ ඇඳ උඩින් තියල අතන තියෙන පුටුවෙන් වාඩිවෙලා ඉන්නකො. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා කීවේ ය.

ඇය මාස දෙකක් වයසැති දරුවා සෙමින් ඇඳ මත තැබුවා ය. ඇඳ වටා වෛද්‍ය ශිෂ්‍ය ශි්‍යාවන් සමූහයකි.

‘‘‍දැන් ඔක්කොමල බලන්න මේ දරුවා දෙස හොඳින් නිරීක්ෂණය කරන්න. මේ පින්තූරය මනසේ ඇඳගන්න. කවදා කොතැනක දී හෝ මෙවන් දරුවකු දුටුවොත් අමතක නොකර රෝග නිරීක්ෂණය අනුමාන කරගන්න හැකි වේවි.  මේ දරුවා ඩවුන්ස් සින්ඩ්‍රෝම් නමින් හඳුන්වන වර්ණදේහ දෝෂ නිසා ඇතිවන තත්ත්වයට ගොදුරු වූවෙක්. බොහෝ විට බාහිර පෙනුමෙන්ම රෝග විනිශ්චයකට එන්න පුළුවන්.

ඒත් අපි හරිම තීරණයකට එන්න නම් ජාන පරීක්ෂාවක් කරන්න  ඕනෙ. ඔයාල දන්නවා ප‍්‍රජනක ෙසෙල හැර අපේ ශරීරයේ සෑම ෙසෙලයකම න්‍යෂ්ටියේ වර්ණදේහ  46ක් තියෙනවා. ඒත් ඩවුන්ස් දරුවකුගේ තිබෙන්නේ වර්ණ දේහ 47ක්. ඒ වැඩිපුර වර්ණදේහය පිහිටා තිබෙන්නේ 21 වෙනි වර්ණදේහ යුගලයේ  ඒ නිසා ඩවුන්ස් තත්ත්වය  Trysomy 21 ලෙසත් හඳුන්වනවා. මෙයට ඉස්සර  මොන්ගල් යන නම භාවිතා වුණා. අදත් අප සමාජයේ බුද්ධියෙන් අඩු අය හැඳින්වීමට මොන්ගල් යන වචනය භාවිතා වෙනවා. මෙය වෛද්‍යවරුන් මුල දී භාවිතා කරන විට සැබෑ මොන්ගෝලියානුවන්ගෙන් ඊට විරෝධයක් මතු වූවා. ඒ නිසා ලෝකයේ සියලූ‍ වෛද්‍යවරුන් මෙය සොයාගත් වෛද්‍ය John Langdon Down ට උපහාරයක් ලෙස ඩවුන් යන නම භාවිතයට තීරණය කළා.

දැන් අපි බලමු මේ ශාරීරික වෙනස්කම් මොනවාද කියා.

මුහුණ පැතලි ගතිය, මොන්ගෝලියානු ජාතිකයන්ගේ මෙන් ඇලයට පිහිටි දෙනෙත, දෙනෙත දෙපස ඇසේ උඩින් ඇසේ නාසය අසලට වැටෙන සම් රැල්ල නිසා දෑස කුඩා සේ පෙනෙනවා. හිස පොඩියි, කන් කුඩායි, නාසය පැතලියි, මුව කුඩායි. නිකම් සිටින විට සිටින්නේත් දිව තරමක් එළියට දා ගෙන. දිවෙන් කෙළ වැගිරෙනවා. මෙයාලගේ පේශි වල ටෝන් එක අඩුයි. තද නැහැ. ගෙල කොටයි. ගෙල පිටිපස වැඩිපුර සම තිබෙන නිසා රැල්ලක් සහිතව තිබෙන්නෙ.”‍

විශේෂඥ වෛද්‍යවරයා සෙමින් දරුවා ඇලයට හරවා සිසුන් හට දරුවාගේ ගෙල පෙදෙස පෙන්වීය.

‘‘‍මෙයාලගෙ අල්ල පළල්, ඇඟිලි කොටයි මහතයි ඒ වගේම තව විශේෂ ලක්ෂණයක් තියෙනවා අල්ල හරහා තනි රේඛාවක් වැටී තිබීම. සමහර ළමයින්ගෙ මෙය පැහැදිලිව තියෙනවා.”‍

ඊළඟට ඔහු දරුවාගේ දෙපා දෙස අවධානය යොමු කළේය.

‘‘‍මේ බලන්න කකුලේ මාපටඇඟිල්ලත් දෙවෙනි ඇඟිල්ලත් අතර ගැප් එක ලොකුයි. දරුවා වැතිරී සිටින ඉරියව්ව බලන්න පැතලි ඉරියව්වක්. එහෙම වෙන්නෙ මාංශ පේශි ශක්තිමත් නැති නිසා  මේවා තමයි පිටතින් පෙනෙන ශාරීරික ලක්ෂණ. ශරීර අභ්‍යන්තරයේ අවයව වල බොහෝ ගැටලූ ඇති වන්න පුළුවන්. විශේෂයෙන්ම හෘද රෝග. ඒ වගේම මෙයාල නිතර නිතර පෙණහලූ‍ ආසාදනයට ගොදුරු වීමේ අවදානමත් වැඩියි. බඬේ අමාරුත් නිතර හැදෙනවා.  පළමු අවුරුදු පහ ඇතුළත බොහෝ දරුවන් මිය යනවා. මානසික   ලක්ෂණත් බොහොමයක් තිබෙනවා ප‍්‍රධානම දේ තමයි බුද්ධියෙන් අඩු වීම. අපි බුද්ධිය මනින්නෙ IQ වලින්නෙ. ඒ කියන්නෙ මානසික වයස සහ සැබෑ වයස එකිනෙකින් බෙදල ගන්න අගය. මෙයාලගෙ මානසික වයස වැඩිහිටි වියේදීත්  අවුරුදු අටක නවයක  දහයක ළමයකුගෙ වාගෙයි. හොඳින් බලා ගත්තොත් මෙයාලගෙ ආයුෂ වසර පනහක් පමණ වෙනවා. ඒකට වෛද්‍ය පහසුකම්, පවුලේ අයගේ උපරිම ආදරය කරුණාව කැපවීම තියෙන්න  ඕනෙ. අපි දෙමව්පියන්ට උපදේශනය දෙනවා කොහොමද දරුවා හදා ගන්නෙ කියල. මෙවන් දරුවෙක් බිහි වුණාට පස්සෙ එයට ප‍්‍රතිකාරයක් නැහැ. භෙෘතවේදී ව්‍යායාම මගින් පේශි ශක්තිමත් කිරීම, කටහඬ නිසි ලෙස හසුරුවා කතා කිරීමට ඉගැන්වීම ඇස් වල කන් වල ක‍්‍රියාකාරිත්ව දෝෂ වලට ප‍්‍රතිකාර කිරීම කළ යුතුයි. අපි දරුවෙකුගේ නිසි වර්ධනය බලන්නෙ සති හයෙන් හිනා වීම,  මාස තුනෙන් හිස එසවීම වගේ පියවර වලින්නෙ. මෙයාලගෙ ඒ සෑම පියවරකටම වැඩි කාලයක් ගන්නවා. ඒත් ගොඩක් අය හිතන්නෙ නැති දන්නෙ නැති දෙයක් තමයි මෙයාලගෙ ලිංගික වැටහීම කොපමණද කියන එක. ගැහැනු  ළමයකුගෙ වැඩි විය පැමිණීම පමා වෙනවා. ඒත් ලිංගික හැඟීම් සාමාන්‍ය කෙනෙකුට වගේම තියෙන්න පුළුවන්. ඒනිසා මොවුන් අතවරයට ලක් වීමේ අවස්ථාවත් වැඩියි.

”‍සර් මෙයාලට දරුවන් හැදීමේ හැකියාව කොහොමද?”‍ එක්  ශිෂ්‍යාවකගෙන් පැනයකි.

‘‘‍බොහොම හොඳයි ඒ ගැන මතක් කළ එක.. දරුවන් පිළිසිඳ ගත්තත් මාස කිහිපයකින් ගබ්සා වෙනවා. නැත්නම් අඩුමාසෙන් උපදිනවා. උපත් බර හුඟක්ම අඩු වෙන්න පුළුවන්. ඒ දරුවෙකුට ඩවුන්ස් වීමේ හැකියාව  සියයට පනහක් පමණ. ලෝකයේ නිරෝගී දරු උපතක් සිදු වූ කිහිප දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. පිරිමි ළමයින්ට නම් දරුවන් හදන්න බැහැ. එයාලගෙ ශුක‍්‍රාණු වර්ධනය අඩාල වන නිසා.

මේ දරුවන් උපදින්නේ සාමාන්‍ය දෙමව්පියන්ට. දැනට අපි දන්නා ප‍්‍රධානම කාරණය තමයි මවගේ වයස අවුරුදු 35ට වැඩි වන තරමට අවදානම වැඩි වීම අවුරුදු 20 මවට .1% ක අවදානම අවුරුදු 45 මවකට 3% දක්වා අවදානම ඉහළ යනවා. පියාගේ වැඩි වයස බලපෑමක් තිබුණත් එතරම් දැඩි බලපෑමක් නැහැ.

මේ දරුවන් ප‍්‍රීතිමත් සංගීතයට ප‍්‍රි කෙළිලොල් දරුවන්. යම් යම් සරල වෘත්තීන්ට අකුරු කියවීමට උගන්වන්න පුළුවන්. පිට රටවල නම් සිනමා නිළියන් ලෙස රඟපෑ අයත් ඉන්නවා. වෘත්තියකට හුරු කරල ආදායම් උපයන තත්ත්වයට දියුණු කරන්න පුළුවන්

දැනට මුල් මාස කිහිපයේම අම්නියොටික් තරලය පරීක්ෂා කොට ඩවුන්ස් හඳුනා ගන්න පුළුවන්. එවිට ගබ්සා කිරීම සිදු කරනවා. වෙනත් රටවල අයිස්ලන්තයේ සහ ඩෙන්මාර්කයේ සෑම ඩවුන්ස් ළමයකුම ගබ්සා කරන නිසා ඒ රටවල ඩවුන්ස් ළමයි නැහැ. අපේ රටවල එහෙම දෙයක් කෙරෙන්නෙ නැති නිසා ගැහැනු දරුවන් වයස 20ත් 30ත් අතර විවාහ වීම වැදගත්.”‍

”‍මිස් මේ බබාගෙ අම්මට දරුව බාර දෙන්න”‍ පාඩම අවසන් කළ වෛද්‍යවරයා පැවැසීය.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.