lakbima.lk

කෙළ බිඳිති මගින් බෝවන කම්මුල්ගාය

උණ හටගෙන එක් කම්මුලක් විශාල වෙද්දී රෝගය කුමක්දැයි බොහෝ වැඩිහිටියෝ දනිති. කනට පහළින් දැඩි වේදනාවක් ගෙන දෙමින් මේ ආරම්භ වන්නේ කම්මුල්ගාය ලෙස ‍පොදුවේ හඳුන්වන වෛරස් රෝගයයි. මුලින්ම විශාල වන්නේ එක් කම්මුලකි. අනෙක් කම්මුලට පැතිර යන්නේ ඉන් පසුවයි. බෝවෙන රෝගයක් වන මෙය ජීවිත කාලයටම කෙනෙකුට වැලඳෙන්නේ එක වතාවකි. ඉතා සියුම් විෂබිජයක් වන රෝග කාරක වෛරසය අප කහිනවිට, කිවිසන විට කතා කරන විට කෙළ බිඳිති සමග විශාල වශයෙන් පරිසරයට මුදා හැරේ. රෝගී අයෙකු තම අතින් කට අල්ලා ස්පර්ශ කරන ඕනෑම දෙයක් හෝ කෙනෙකු මගින් රෝගය නිරෝගී අයෙකුට බෝවිය හැකිය. ඒ රෝග කාරක විෂබිජය ගැටුණු අතින් තම මුඛය ස්පර්ශ කළවිට හෝ රෝගියෙකු කහින, කිවිසන විට පිටවන වෛරස් කෙළින්ම නිරෝගී අයෙකුගේ ශරීරගත වූ විටය. රසවත් කෑමක් ආහාරයට ගන්නට පෙර සිටම කටට කෙළ උනන අයුරු ඔබද අත්දකින දෙයකි. එහෙත් එලෙස කෙළ ඉනීම කටේ සෑම තැනකින්ම සිදුවන්නක් නොවේ. කෙළ උනන්නේ කට තුළ ඇති සිදුරු හයකින් පමණකි. ඒවා දිවට පහළින් සහ කම්මුල් දෙකේ ඇතුළු පැත්තේ පිහිටා තිබේ.

මස් ගුලි ආකාරගත් කෙළ නිපදවන ග්‍රන්ථි හයකින් නිකුත් වන කෙළ ඉතා සියුම් බට කිහිපයක් දිගේ පෙර කී කෙළ උනන සිදුරු වෙත පැමිණේ. මස් ගුලි ආකාර ගත් එම කෙළ නිපදවන ග්‍රන්ථි හයකට දෙපැත්තේ විවිධ ස්ථානවල පිහිටා තිබේ. විශාලම ග්‍රන්ථි දෙක පිහිටා ඇත්තේ කනට පහළින් හකු දෙපැත්තේය. තවත් යුගල දෙකක් යටි හනුවලට පහළින් සහ නිකට ඇතුළතින් පිහිටා තිබේ. කම්මුල්ගාය සෑදුණු විට විශාල වන්නේ කෙළ නිපදවන එම ග්‍රන්ථින්ය. විෂ බිජය එම ග්‍රන්ථි තුළට ඇතුළු වූ විට ඒවා එලෙස විශාල වන්නට පටන් ගන්නේ වෛරසය තම වර්ගයා බෝ කරන්නට පටන් ගත් විටය. මුල් දින කිහිපයේදී වෛරසය විශාල දරු පරපුරක් මුදා හරින අතර මෙම ග්‍රන්ථියෙන් නික්මෙන කෙළ සමග අති විශාල වෛරස් ප්‍රමාණයක් මුඛය තුළටද පැමිණේ. රෝගියාගෙන් තවත් අයට වෛරසය පැතිරෙන්නේ එවිටය. කම්මුල විශාල වී රෝග ලක්ෂණ පෙනෙන්නටත් දින කිහිපයකට පෙර සිටම වෛරස් නිකුත්වීම ආරම්භවේ. රෝග ලක්ෂණ හටගෙන තවත් දින පහක් පමණ ඉක්ම යනතුරු වෛරසය පැතිරීම සිදුවේ. කම්මුල් ගාය වැලඳුන විට ශරීරය විසින් එතෙක් හඳුනාගෙන නොතිබුණ වෛරසය හඳුනා ගනී.

එතැන් පටන් වෛරසයට විරුද්ධ සටනක් ශරීරය දියත් කරනු ලබයි. ශරීරය කඩා වැටීමකට ලක් වී තද උණ ඇති වන්නේ එවිටය. එහෙත් අවසානයේ සියල්ල ජයගෙන වෛරසය සම්පූර්ණයෙන්ම පලවා හැරීමට ශරීරය දක්ෂවේ. සටන එතැනින් නිමා වෙද්දී උණ බැස ගොස් ශරීරය යථා තත්ත්වයට පත්වීම සිදුවේ. මේ ආකාරයට ශරීරයට වෛරසය හුරුපුරුදු වීමත් සමග ඕනෑම අවස්ථාවක ඊට විරුද්ධව සටන් කළ හැකි තරමට සියලු අවි වලින් ශරීරය සන්නද්ධ වේ. ඒ නැවත වෛරසය ශරීරගත වුවහොත් පලවා හැරිය හැකි ඇති සියම් දේ ‍ලේ වලට එකතු කර ගැනීමෙන්ය. වෛරසය නැසිය හැකි ඒ දේවල් මුළු ජීවිත කාලය පුරාම එම ශරීරයේ ලැගුම්ගෙන තිබෙන නිසා නැවත කිසිදා කම්මුල් ගාය හැදෙන්නට ශරීරය ඉඩ දෙන්නේ නැත. එහෙත් කිසිදා එය නොයැදුන කෙනෙකුට එම ආරක්ෂාව නැති නිසා ඕනෑම විටෙක ඉතා පහසුවෙන් කම්මුල්ගාය වැළඳෙන්නට හැකියාව තිබේ. එලෙස කිසිදා කම්මුල්ගාය නොහැදුණ අයෙකුටද ඒ ආරක්ෂාව සලසා ගන්නට එන්නතකින් දැන් හැකියාව තිබේ.

එම්.එම්.ආර්. නමින් හැඳින්වෙන එම එන්නතෙහි අකර්මණ්‍ය කරන ලද කම්මුල්ගාය, සරම්ප සහ රුබෙල්ලා විෂබිජ අඩංගුවේ. දැන් සෑම දරුවෙකුටම ලබාදෙන එන්නත් පන්තියට එම්.එම්.ආර්. එන්නතද ඇතුළත් කර ඇති නිසා කම්මුල්ගාය මෙන්ම සරම්ප හා රුබෙල්ලා රෝගද ඉන් වළකාලයි. කම්මුල්ගාය වැලඳුන විට එහි අතුරු ආබාධයක් ආකාරයට මොළයේ උණ හට ගන්නටද ඉඳහිට හැකියාව තිබේ. කම්මුල්ගාය පුරුෂ පාර්ශ්වයට වැලඳුන විටදී ඉතා වේදනාවක් ගෙන දෙමින් එක් කෝෂයක් ඉදිවෙන අවස්ථාද ඇති අතර කලාතුරකින් ඒ හේතුවෙන් දරුපල අහිමි වීමද සිදු විය හැකියි. මුලින් පැවැසූ ආකාරයට මෙය වෛරස් රෝගයක් වන නිසා කිසිදු ඖෂධයකට ඊට කළ හැකි කිසිවක් නැත. වෛරසය සියයට සියයක්ම පලවා හරින ඖෂධය ශරීරය විසින්ම නිපදවනතුරු සියල්ල දරා සිටින්නට සිදු වේ. හොඳින් ජලය පානය කරමින් විවේකීව සිටින අතරේ පැරසිටමෝල් පෙත්තකින් ලබා ගන්නා සහනයකට හැර වෙනත් කළ හැකි කිසිවක් නැති බව අවධාරණය කළ යුතුවේ. 

උත්පලා සුභාෂිනී ජයසේකර ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග  විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා අවධාරණය කරයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.