lakbima.lk

හොඳ ආහාර තිබුණත් සෞඛ්‍යය දුර්වල වන්නේ ඇයි?

goodfood

ලංකාවේ ආහාර සංස්කෘතිය හරිම අපූරුයි. කාලයක් පුරාවට අපේ රටටම ආවේණික කෑම වට්ටෝරු වගේම අනිත් රටවල් වලින් එකතු වුණු ආහාර වර්ගත් එක්ක එකතු වෙලා හැදුණු අනන්‍ය ආහාර ක‍්‍රමයක් අප සතුයි. අනෙක් බොහෝ අංශ වලින් වගේම ආහාර පැත්තෙනුත් අපිට බොහොම සාරවත් උරුමයක් තියෙනවා කියන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම ඇති වුණු ආහාර පුරුදු නිසා ඇති වන ගැටලූත් ඉතින් නැතිවම නෙවෙයි.ඒ වගේම තමයි රසටත් වඩා අපේ කෑමවල තියෙන පෝෂණීය ගුණය සහ ගුණාත්මක බව. කොළ කැඳ, මැල්ලූ‍ම්, දිය බත්, ඇඹුල් තියල්, හැලප, එළවළු ව්‍යංජන වගේ අපේ නිරෝගී බවට බොහෝ සෙයින් බලපාන සමබල ආහාර බොහොමයක් මීට ඇතුළත්. අපේ රට පුරාම රසවත් එළවළු‍ පලතුරු වර්ග  ඕන තරම් වැවෙනවා. ඒ වගේම ආහාරයට ගන්න පුළුවන් කොළ ජාතිත් ඇති තරම් හොයා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කිතුල් පැණි, මී පැණි වගේ රස ගන්වන දේවල් නිසා කාලාන්තරයක් සීනි පාවිච්චි නොකිරීමෙන් ලබා ගත්තු නිරෝගී බවත් අපේ උරුමයක්.ගොටුකොළ, කංකුං වගේ ගුණවත් කෑම කොයි තරම් තිබුණත් ආහාර නිසා ඇති වන කල් පවතින රෝග වලින් නම් ලංකාවේ මිනිස්සු බොහෝ දෙනෙක් දැන් දැන් පීඩා විඳින්න පටන් අරන්. දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හදවත් රෝග නිසා ලංකාවේ මිනිස්සු බහුතරයකට තියෙන ප‍්‍රධානම රෝග.

මේ රෝග තුන නිසා තමයි රටේ සිදු වන මරණ වලින් 18.3%ක්ම සිදු වන්නේ! ලංකාවේ කාටත් ලොකු බඩක් තියෙනවා. (පාරේ යන ගමන් උවමනාවෙන් බැලූ‍වොත් පෙනෙයි වැඩි දෙනෙකුට ලොකු බඩක් තියෙන බව) ඒ වගේම තමයි දැන් ලංකාවේ මිනිස්සු සමස්තයක් වශයෙන් මහත් වෙන්න පටන් අරන් තියෙන බව පෙනෙන්න තියෙනවා. ජනගහණයෙන් 25.2%ක් ස්ථුල මට්ටමේ ඉන්නේ. ඒ වගේම තමයි යකඩ ඌනතාව, විටමින් - ් ඌනතාව සහ ප්‍රෝටීන් හිඟකම ලංකාවේ බොහෝ ප‍්‍රදේශවල පැතිරුණු ප‍්‍රශ්න. විශේෂයෙන්ම ළමයින්ට මේ වගේ රෝග සුලබව හැදෙන බව පෙනෙන්න තියෙනවා. ඉතින් ඇත්තටම අපේ රටේ ආහාර ගුණදායක නම් මෙහෙම වෙන්නේ ඇයි?උත්තරය ඇත්තටම සරලයි. අපිට කන්න කොයි තරම් පෝෂණීය, ගුණාත්මක ආහාර තිබුණත් අපි ඒවා ආහාරයට ගන්නා විදිහේ ලොකු අඩුපාඩු තියෙනවා. අපි දැන් ඔබට කියන්න හදන්නේ ඒ වගේ අනවශ්‍ය පුරුදු නිසා මේ තරම් හොඳ ආහාර තිබිලත් අපේ සෞඛ්‍යය දුර්වල වෙන්න හේතු වන නරක ආහාර පුරුදු කිහිපයක් ගැනයි.

බත් කන ආකාරය බත් ආහාරයට ගැනීමේ දී අපේ සාමාන්‍ය පිඟානක කෑම අනුපාතය බත් කොටස් 15ක් එළවළු කොටස් 2කුයි මස් මාළු කොටස් 1කුයි වගේ. මේක සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ විතරක් නෙවෙයි අපි මේ වගේ කොත ගහලා බත් කන එක හැම වේලටම කරනවා. ඉතින් ප‍්‍රතිඵලය වෙන්නේ අපේ ඇඟට කිසිම ප‍්‍රයෝජනයක් නැති තරම් කාබෝහයිඩ්‍රේට ඇඟ ඇතුළේ ගොඩ ගැහෙන එකයි.අපි මේ විදිහට බත් ගොඩක් කන්න පුරුදු වෙලා ඉන්න එකේ තවත් ලොකු සෞඛ්‍ය ගැටලූවක් තියෙනවා. ඒ තමයි සුදු බත් කන එක. බි‍්‍රතාන්‍ය වෛද්‍ය ජර්නලයට අනුව සුදු බත් නිතර ආහාරයට ගත්තාම දෙවන වර්ගයට අයත් දියවැඩියාව  අවදානම සැලකිය යුතු විදිහට ඉහළ යන්න පුළුවන්. මේකට හේතුව විදිහට ඔවුන්ගේ නිගමනය වෙලා  තියෙන්නේ සුදු බත් වල ග්ලයිසීමික අගය ඉතා ඉහළ වීමයි.දැන් සමහරු කියයි අපේ මිනිස්සු පරම්පරා ගාණක ඉඳන් බත් කෑවා කියලා. ඔව් ඒක ඇත්ත, නමුත් හැමදාම උදේ ඉඳන් ? වෙන තුරු වෙහෙසෙන ගොවියෙක් සහ උදේට ඔෆිස් ගිහින් එන කෙනෙක් අතර කැලරි අවශ්‍යතාවයේ ලොකු වෙනසක් තියෙනවා.

ඒ වගේ මහන්සි වෙන කෙනෙක් තරමට කෑවොත් වෙන්නේ අනිවාර්යයයෙන්ම ඔබව ලෙඩ වෙන එකයි. අපි බත් ගොඩ ගහගෙන කන්න කොයි තරම් ආස වුණත් පස්සේ කාලෙක ඉස්පිරිතාල වල ලගින්න ආසාවක් නැතිනම් දැන් ඉඳන්ම බත් කන ප‍්‍රමාණය අඩු කරලා එළවළු‍ හා මස් මාළු කන ප‍්‍රමාණය වැඩි කර ගන්න බලන්න.
අතිරික්ත කාබෝහයිඩ්‍රේට කලිනුත් කිව්වා වගේ ශ‍්‍රී ලාංකිකයන් විදිහට අපි ආහාරයට ගන්නා කාබෝහයිඩ්‍රේට ප‍්‍රමාණය හරිම වැඩියි. නිකමට හිතලා බලන්න, අපි කෑම වේලකට බත් කන්නේ නැතුව හිටියත් වෙනත් මොනවා හරි පිටි ජාතියක්මනේ කන්නේ. පාන්, කොත්තු රොටී, ඉඳි ආප්ප, ආප්ප, මඤ්ඤොක්කා, බතල, පිට්ටු, රොටී වගේ පිටි කෑමක් තමයි අපි ප‍්‍රධාන වශයෙන් ගන්නේ. පර්යේෂණ වලින් පෙනෙන විදිහට ලංකාවේ මිනිස්සු ලබා ගන්නා කැලරි වලින් 71.2%ක්ම ගන්නේ කාබෝහයිඩ්‍රේට වලින් කියලා. ඉතුරු කොටසෙනුත් 18.9%ක්ම මේදය. ප්‍රෝටීන් වලින් කැලරි ලබා ගන්නේ 10.8%ක් විතරයි. මේ අනුපාතය කිසිසේත් ගැළපෙන එකක් නෙවෙයි. ලංකාවේ එන්න එන්නම ඉහළ යන දියවැඩියාවට ප‍්‍රධාන හේතුව පිටි ආහාර මිසක් සීනි නෙවෙයි.

ආහාර අතර විවිධත්වය අඩු කමඅපිට කන්න කෑම ජාති මොන තරම් තිබුණත් අපි අපේ ආහාර වේල් නිවැරදි විදිහට සැලසුම් නොකරන නිසා කවදාවත් ගැළපෙන ආහාර නිසි කාලයක් පුරාවට ලබා ගන්න බැරි වෙනවා. පොඩි වයසේ ඉඳන් සමබල ආහාර වේලක් ගන්න එකේ වැදගත්කම කියලා දුන්නත් අපි හැම වෙලාවෙම කන්නේ කිසිම සම බලයක් නැති ආහාර. ලංකාවේ මිනිස්සුන්ගේ විවිධත්වය අඩු ආහාර සහ දියවැඩියාව අතර තියෙන සම්බන්ධය හොයන්න කරපු පරීක්ෂණයකදී තහවුරු වෙලා තියෙනවා සහභාගි වුණු අයගෙන් 5%ක්ම දවස පුරාවටම පිටි ආහාර විතරක් ගත්තු අය බව. (බත් එක්ක අල කරියක් වගේ) එහෙම ආහාර වේලක් ගන්න එකෙන් සිද්ධ වෙන එකම දේ ඔබව මහත් වෙන එකයි, රුධිර ග්ලූ‍කෝස් ප‍්‍රමාණය ඉහළ යන එකයි විතරමයි.

එළවළු‍ පලතුරු වැවීම අතින් ඉහළින්ම ඉන්න රටක් වුණු ලංකාව ඒවා ආහාරයට ගැනීම අතින් නම් ඉන්නේ බොහොම පහළ තැනකයි. (දැන් තියෙන එළවළු‍ පලතුරුවල මිල බැලූ‍වම ආර්ථික තත්ත්වය මේකට පැහැදිලි හේතුවක් කියලා හිතන්න පුළුවන්) ඒ වගේම තමයි කිරි ආශ‍්‍රිත ආහාර වර්ග ගැනීමත් බොහොම අඩුයි. අපි කවුරුත් බොන තේ එකේ පවා කිරි පිටි වලට වඩා තියෙන්නේ සීනි.තවත් විස්තර ලබන සතියේ .

චලනි අයේෂා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.