lakbima.lk

හිසකෙස් නිරෝගීව වැඩෙන්න නම් එහි අගිසි කපා දැමීම අවශ්‍යයි

කාන්තාවන්ගේ පංච කල්‍යාණයෙන් එකක් ලෙස කේෂ කල්‍යාණය සලකන්නේ බොහෝ ඈත අතීතයක සිටය. එහෙත් වර්තමානයේ නම් එබඳු කේෂ කල්‍යාණයෙන් අනූන කාන්තාවක් සොයා ගැනීම පහසු නැත. බොහෝ අය සිතන්නේ කේෂ කල්‍යාණය යනු දිගට දිගේ වැවුණු කෙස් කළඹකට යනුවෙනි. කෙස් කළඹ කොතරම් දිගු වුවත් එය නිරෝගී සම්පන්න නැතිනම් එහි සුන්දරත්වයක් නැත. 
 
වර්තමානයේ නිරෝගී සම්පන්න කෙස් කළඹකට උරුමකම් කියන කාන්තා පිරිස ඉතා අඩුය. කාන්තාවට ආභරණයක් වන ඇගේ කෙස් කළඹ අද වන විට මේ තරමට හානියට පත් වී ඇත්තේ ඇයිදැයි අපි විමසා බලමු. 
බොහෝ කාන්තාවන් ඇගේ ස්වභාවික කෙස් කළඹ තවත් ලස්සන කර ගන්නට සිතා ඊට කෘත්‍රීමව සිදුකරන ක්‍රියාකාරකම් බොහෝය. 
 

මේ හේතුවෙන් කෙස් කළඹ හානියට පත්වේ. එවැනි දේ නොකරන කාන්තාවන්ගේද කෙස් කළඹ හානියට පත් වන ආකාරයක් වන්නේ කෙස් වැටියේ අගිසි කපා දමන්නට ඔවුන් කටයුතු නොකිරීමය. 
සමහර කාන්තාවෝ හිසකෙස් අගිසි කැපීම අවශ්‍ය දෙයක් නොවේ යැයි සිතා ඒ ගැන සැලකීමක් නොකරති. කාන්තාවන් එසේ නොකරන්නේ තම කෙස් කළඹේ දිග අඩුවේයැයි බියෙනි. එහෙත් බූමටුල්ලක් සේ දිස්වන කෙස් වැටියක් කොතරම් දිගට පැවැතියද එහි සුන්දරත්වයක් නැති බව ඔවුන්ට වැටහෙන්නේ නැත. 
 
අගිසි නොකපන කෙස් වැටියකටද සිදුවන්නේ එයමය. කෙස් ගසේ අග කෙළවර දෙකට පැලී ගොස් හානියට පත් වූ විට කෙස් ගස තුළින් ඔක්සිජන් ගමන් කිරීම නතර වේ. ඒ පැලීම තව තවත් දිගට ගමන් කරමින් කෙස් ගසේ අග තඹ පැහැ ගැන්වී එම ප්‍රදේශය ජීවයක් නැති තත්ත්වයට පත් වනු ඇත. එම කොටස ඉවත් නොකරන තාක් කල් එය පවතින්නේ අජීවි ආකාරයටය. 
 

කෙස් ගසේ අග පැලුණු ආකාරයත් පෙනෙන්නට තිබුණත් නැතත් දින හතළිහයකට වරක් වත් කෙස් වැටියේ අග කපා දැමීම අත්‍යාවශ්‍යය. කෙස් ගසේ නිරෝගී බව රැකෙන්නේ කෙස් ගස සීග්‍රයෙන් වැඩෙන්නෙත් එවිටය. මෙය ඔබටම අත්දැකිය හැකි තත්ත්වයකි. වසර ගාණක් තිස්සේ කෙස් අග නොකපා පරිස්සම් කරගෙන සිටින ඔබ දින හතළිහකට එක් වරක් බැගින් නොකඩවා හතර පස් වතාවක් කෙස් වැටියේ අගිසි කපා බලන්න. එය වර්ධනය වන ඉක්මනත් නිරෝගී පෙනුමත් ඔබට පැහැදිලිවම දැකගත හැකි වනු ඇත. 
 
එහෙත් කෙස් අග කැපීමද ඔබ සිතන තරම් පහසු කටයුත්තක් නොවේ. ඔබ මතෛක් සිදු කළ ආකාරයට කෙස් වැටියේ අන්තිම කෙළවර කොටස පමණක් කපා දැමිම සාර්ථක නොවේ. කෙස් වැටියක ඇති කෙස් ගස් සියල්ලම එකම දිගකින් යුතු නොවන බව ඔබ දන්නා කරුණකි. 
 
එසේ නම් කෙස් වැටියේ අන්තිම කෙළවරේ ඇති කෙස් ගස්වල පමණක් අගිසි කපා දැමූ පමණින් අප බලා‍පොරොත්තු වන යහපත සැලසෙන්නේ නැත. කෙස් වැටියේ සෑම කෙස් ගසකට පාහේ අග කැපෙන ආකාරයට අගිසි කැපීම සිදු කළ යුතුවේ. එය ඔබට තනිව කළ හැකි කාර්යයක් නොවේ. වෙනත් අයෙකුගේ සහයෙන් කෙස් අග කපා ගැනීමේදී ඒ පිළිබඳ දැනුමක් ඇති අයෙකු ලවා එය කරවා ගැනීමට ඔබ ප්‍රවේශම් විය යුතුවේ. 
 
උත්පලා  සුභාෂිනී ජයසේකර 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.