lakbima.lk

බාහිර ද්‍රව්‍ය ස්පර්ශයෙන් ඇති වන චර්ම ප්‍රදාහය

 
“ඔයා මොනවටද බෙහෙත් ගන්න ආවෙ?”
 
චර්ම රෝග සායනයේ තමාගේ වාරය එනතුරු හිදගෙන සිටි තරුණිය අසල සිටි කාන්තාවගෙන් විමසුවාය.
“බලන්නකො වුණූ වැඩේ” මම අලුත් ස්කර්ට් එකක් ඇන්දා. දැන් දවස් දෙකකට විතර ඉස්සර. පහුවෙනිදා හරියටම ඉණ වටේම කසන්න පටන් ගත්තා ඊයේ වෙද්දී පලුදාල ලොකු රෑෂ් එකක් ආව. ඉන්න බෑ හරිම අමාරුයි. කසල තුවාල වෙලාද කොහෙද?”
“මටත් වුණේ ඒ වගේම දෙයක්නෙ. මේ බලන්නකො කකුල් දෙකම.” ඇය පැලඳ සිටි සෙරෙප්පු දෙක ඉවත් කර පෙන්නුවාය.
“ඔව්මයි. හරියටම සෙරෙප්පු පටිය වැදෙන දිගේම රෑෂ් එකක් නේද? ඔයා රබර් සෙරෙප්පු දැම්මද? අපේ අයිය කෙනෙකුටත් ඔහොම වුණා.”
 
“ඔව් දැම්ම නේන්නම්. අලුත් එකක්. ඊට පස්සෙ කසන්න වුණා. පුදුම විදියට. හොඳටම පලු මතු වුණා. දැන් තුවාල වෙලා පැසවන්නත් ඇවිත්. උණ වගේ. බේත් කළා. ඒත් අඩු වුණේ නෑ. ඒකයි ක්ලිනික් ආවෙ.
“ඇයි ඔය වගේ තමයි. අපේ දුවට ඉමිටේෂන් කරාබු දාන්න බෑ. කන පැසවනවා. ඩොක්ටර්ස්ල කියල තියෙන්නේ හොඳම රත්තරන් විතරක් දාන්න කියලා.”
 
“මම හිතන්නේ මේවයෙ තියෙන මොනව හරි දෙයක් අපේ හමට ඔරොත්තු දෙන්නෙ නෑ.”
ඇය පැවැසූ දෙය සැබෑය. මේ හැම අවස්ථාවකම යම්කිසි ආගන්තුක දෙයක් සම මත ගැටී ඇත. එවිට ඇතිවන මෙම ප්‍රතික්‍රියාවට හේතුව කුමක්ද? මෙය හඳුන්වන්නේ (සම මත යමක් ස්පර්ශයෙන් ඇතිවන අසාත්මිකතාවය නිසා ඇතිවන ප්‍රදාහය) යනුවෙනි. එහි රෝග ලක්ෂණ මොනවාද?
 
මෙහි විශේෂ ලක්ෂණය නම් මෙය සෑම විටම ඇති වන්නේ බාහිර යමක් සම මත ස්පර්ශ වූ විට වීමය. මුලින් එම ස්ථානය රත් පැහැ වී කැසීමට පටන් ගනී. එම ස්ථානය ඉදිමුණ ගතියක් පෙන්නුම් කරන අතර බාහිර ද්‍රව්‍ය ගැටුන ස්ථාන වල පලු මතු වීමද සිදුවේ. රෝගය උත්සන්න වන්නේ අධික කැසීම නිසා සම තුවාල වී බැක්ටීරියා ඒ මත වර්ධනය වී ඇති වන ආසාදන තත්ත්වය නිසාය. මෙය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ වන දෙයක් නොවේ. ජීවිත අවදානම් තත්ත්වයක් සාමාන්‍යයෙන් ඇති වන්නේද නැත. ඒත් රෝගියා ඉතාම අපහසුවට පත්වන තත්ත්වයක් විය හැකිය. සම මත මේ නිසා ඇති වන දදය අප්‍රසන්න පිළිකුල් සහගත පෙනුමක් ඇති කිරීම මානසික පීඩාවක්ද විය හැකිය. තම රැකියාව ලෙස රූපය හා සමේ නිරෝගීතාවය අත්‍යාවශ්‍ය වන අයෙකුට මෙය කරදරකාරී රෝගයක් වනු ඇත.
 
මෙය සෑදීමට හේතුව කුමක්ද? අප එකිනෙකාගේ ශරීර විවිධ දෙයට ප්‍රතිචාර දක්වන්නේ විවිධ ආකාරයෙනි. සමහර අයට පමණක් මෙම රෝගය සෑදෙන්නේ ඒ නිසාය. බොහෝ විට අප එදිනෙදා පරිහරණය කරන බඩුවල ලෝහ කොටස් හෝ යම් රසායන ද්‍රව්‍ය ගැබ් වී ඇත. ඒවායින් පිට වන අණු අපේ පටක මත ඇති ෙසෙල වලට ඇතුළු වුණ විට ඒවාට විරුද්ධව ප්‍රතිදේහ නිපදවේ. ඒ දෙක අතර ඇති වන ප්‍රතික්‍රියාව ප්‍රතිඵලයක් වශයෙන් හිසුයැමින් නම් රසායන ද්‍රව්‍යය පිටවේ. එය පටක විනාශ කොට ආසාදන තත්ත්වයක් ඇති කරයි. ඔරලෝසු පටි වල ඇති ලෝහ වර්ග, කරාබු වල ඇති රත්රන් සමග මුසු කරන නිකල් වැනි ලෝහ වර්ග, රබර්, ‍පොලියෙස්ටර් වර්ග, රූපලාවන්‍ය කටයුතු වලට භාවිතා කරන විවිධ රසායන ද්‍රව්‍යයන් සහිත ආ‍ලේප, හිසකෙස් කළු කරන ඩයි වර්ග මෙවැනි අසාත්මිකතා ඇති කරන ද්‍රව්‍යයන්ය.
 
මෙම චර්ම ප්‍රදාහයට ප්‍රතිකාර මොනවාද? 
පළමු කොටම මෙම ඇලර්ජික් තත්ත්ව ඇති වන්නේ කුමකටද යන්න හොඳින් දැන ගත යුතුය. එය ස්පර්ශයෙන් වැළකීම කළ යුතුය එම අසාත්මිකතාවය ඇති කළ ද්‍රව්‍ය තව දුරටත් ස්පර්ශ නොවුණහොත් කාලයාගේ ඇවෑමෙන් ඉබේම සුව වන අවස්ථාද තිබිය හැකිය.
 
දීර්ඝ කාලයක් දදයක් ලෙස දිගට පවතින්නේ නම් සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගත යුතුය. සමහර අවස්ථාවල රෝගයට හේතුව පැහැදිලි නමුත් සමහර අවස්ථාවල නිසි රෝග විනිශ්චයකට ඒම අපහසු විය හැකිය. එවිට ඔහු හෝ ඇය විසින් බොහෝ ප්‍රශ්න අසනු ඇත. ඔබ සේවය කරන පරිසරය, නිදහස් වෙලාවල් යෙදෙන කාර්යයන්, ගෙදර ඇති කරන සුරතල් සතුන් පිළිබඳව, සමට භාවිතා කරන ආ‍ලේප පිළිබඳව ආදී වශයෙනි. 
 
ප්‍රතිකාර සිදු කළ යුත්තේ පියවරෙන් පියවරය. පළමුව රෝගය ඇති කරන බාහිර ද්‍රව්‍ය නිශ්චය කොට එයින් ඉවත් වීම අත්‍යාවශ්‍යය. ඊළඟට දදය ඇති ස්ථානය හොඳින් පරීක්ෂා කොට, සැරව හෝ දියර ගලන තත්ත්වයක් ඇත්නම් ප්‍රතිජීවක ඖෂධ ලබා දී විෂබිජවලින් තොර පරිසරයක්  ඇති කළ යුතුය. ඒ සඳහා දින දෙක තුනක් ගත විය හැකිය. ඒ සමගම anti histamineඑනම් හිස්ටැමින් නම් රසායන ද්‍රව්‍ය්‍ය පටක වෙත නිකුත් කිරීම වළක්වන ඖෂධ දෙනු ලැබේ. 
 
 
එම ඖෂධ වලට නිදිමත ස්වභාවයක් අතුරු ආබාධ වශයෙන් ඇති වන බැවින් වාහන එළවන හෝ රාත්‍රී වැඩ මුර වල යෙදෙන අය ඒ ගැන වෛද්‍යවරයා දැනුවත් කළ යුතුය. නිදිමත නොඑන ප්‍රති හිස්ටැමීන් ඖෂධ දැන් භාවිතයේ පවතී.  සම මත තෙතමනය පවත්වා ගැනීමට මොයිස්චරයිසර් ක්‍රීම් වර්ග යොදා ගනී. ආසාදනය වළක්වන බෙහෙත්   ලබා දෙන්නේ ඉන් පසුවයි. සමහර අවස්ථාවල එකම බෙහෙත් ටියුබයක ප්‍රතිජීවක ඖෂධ සහ ආසාදනය අඩු කරන බෙහෙත එකට නිෂ්පාදනය කර ඇති අවස්ථාද වේ. බොහෝ විට ඒවා පාවිච්චි වන්නේ රෝගයේ උග්‍ර අවස්ථාව සංසිදුනු පසුය. බොහෝ අය මූලික ප්‍රතිකාර වලින් යන්තම් සුවය ලැබුණ පසු ප්‍රතිකාර නතර කරයි. එවිට දින කිහිපයකින් නැවත මතුවේ.
 
ඒ නිසා එම අදාළ ස්ථානයේ සම අවපැහැ ගැන්වී තිබිම කාලයක් පවතී.
රෝග විනිශ්චයකට එළඹීමට අපහසු අවස්ථාවල patch testing නමින්  අසාත්මිකතාවය ඇති කරන ද්‍රව්‍යයක් සහිත ප්ලාස්ටරයක් සම මත අලවා එයට දක්වන ප්‍රතිචාරය අනුව හේතුව සොයා ගැනීමේ පරීක්ෂණයක්ද වෙයි.
 
 
දදයක් සුව වන විට වෙනත් අසාත්මිකතා සිරුරේ වෙනත් තැනකින් පැන නැගෙන බවට මතයක් තිබුණද එය සත්‍ය බවට වෛද්‍ය විද්‍යාත්මක සාක්ෂි නැත. එම නිසා චර්ම ප්‍රදාහයන් නිට්ටාවට සුව කර ගැනීමෙන් අයහපතක් සිදු නොවේ.
 
වෛද්‍ය ලංකා සිරිවර්ධන
 
 
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.