lakbima.lk

නිශ්චිත හේතුවක් නැතිව වැලඳෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි

“ෆයිබ්‍රොයිඩ්” කාන්තාවන්ට බලපාන රෝගී තත්ත්වයන් අතරේ ඉතාම සුලබවම කතාබහට ලක්වන්නකි. ෆයිබ්‍රොයිඩ් යනු ආර්තව චක්‍රය සක්‍රීයව පවතින කාන්තාවන්ගේ ගර්භාෂයේ හටගන්නා ගෙඩි  විශේෂයකි. ගර්භාෂයේ හටගන්නා අසාමාන්‍ය වර්ධනයක් නිසා මතුවන මේවා පිළිකා බවට පත්වීමට තිබෙන ඉඩකඩ ගැන ලොකු කුකුසක් සමාජයේ තිබෙන බව පෙනේ. නමුත් ෆයිබ්‍රොයිඩ්, පිළිකා බවට පත්වීමට තිබෙන ඉඩකඩ ඉතාම  අඩුය. එසේම මේ ගෙඩිවල ප්‍රමාණයද ඉතාම කුඩා ප්‍රමාණයේ එනම් මිලි මීටර් කීපයක සිට සෙ.මී. 30-40 දක්වා විශාල ඒවා දක්වා විශාල පරාසයක් ගනී.
 

ෆයිබ්‍රොයිඩ් ඇතිවීමට හේතු කවරේදැයි කෙනෙකු ඇසුවහොත් සැබවින්ම එයට නිශ්චිතව පිළිතුරක් දීම අසීරුය. මන්ද එය නිශ්චිතවම මේ නිසාම හට ගන්නා බවක් මතෛක් සොයාගෙන නොමැති විමය. නමුත් සමහර සාධක ඒ සඳහා බලපාන බැව් පැහැදිලිය. සමහර පවුල්වල අයට ජානමය වශයෙන් උරුම විය හැක. උදාහරණයක් ලෙස මවට ෆයිබ්‍රොයිඩ් තිබුණේ නම් දියණියන්ටද ඒ තත්ත්වය උරුම වීමට පුළුවන. එනම් මේ සඳහා ජානමය බලපෑමක් තිබේ. එසේම සමහර අප්‍රිකානු රටවල කාන්තාවන් අතර මේ තත්ත්වය සුලබව දැකිය හැකි බවට සමීක්ෂණ වාර්තා දෙස් දෙයි. සමහර ‍ප්‍රෝටීන වර්ධක නිසාද ෆයිබ්‍රොයිඩ් හට ගන්නට ඉඩකඩ ඇති බව කියැවෙයි.
 
කෙනෙකුගේ ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි මතු වී තිබේදැයි දැන ගැනීමට උදව්වන රෝග ලක්ෂණ මොනවාදැයි කෙනෙකු තුළ පැනයක් ඇතිවිය හැක. නමුත් එයට ද එක එල්‍ලේම ලබාදිය හැකි නිශ්චිත පිළිතුරක් නැත. මන්ද කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව වුවද ඒවා ගර්භාෂයේ තිබෙන්න හැකි බැවිණි.
 
එසේම ඒ නිසා හට ගන්නා  රෝග ලක්ෂණ මතුවන්නේද ගර්භාෂය තුළ එම ගෙඩිය මතුව තිබෙන ස්ථානයට අනුවය. උදාහරණ්‍යක් ලෙස අදාළ ෆයිබ්‍රොයිඩ් ගෙඩිය තිබෙන්නේ ගර්භාෂ බිත්තිය මත නම්, අධික ලෙස ආර්ථව රුධිරය පිටවීමට ඉඩ තිබේ. එය මුත්‍රාශයට ආසන්න වන්නට පිහිටි ගර්භාෂයේ තැනක මතුව තිබෙන විට, නිසි ලෙස මුත්‍රා පිට නොවන, එසේම මුත්‍රා පිට කරන විට මුත්‍රාශය සම්පූර්ණයෙන් හිස් නොවී, මුත්‍රා එහි ඉතිරිවන ආකාරයේ ගැටලු මතුවන්නට පිළිවන. සමහර විට මුත්‍රා බර දැනීම් අතර කාලපරාසය අඩුවී නිතර නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය බව දැනිය හැක. 
 

අදාළ ගෙඩිය ගුද මාර්ගයට සමීප තැනක ගර්භාෂ ගත වී ඇත්නම් ගුද මාර්ගයේ තදවීම්, නිසි ලෙස මල පිට නොවීම, මල තදවී, බඩ වේලන ගති ඇතිවීමටද ඉඩ තිබෙන අවස්ථා තිබේ. කුස ප්‍රදේශයේ විශාලවීමක්, අධික ලෙස වේදනා මතුවීම් වැනි     ලක්ෂණද හටගත හැකිය.
 
මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩිය ගර්භාෂයේ තිබෙන තැන සහ එහි ප්‍රමාණය අනුව දරු ඵළ ප්‍රමාදවීම්, මද සරු බව වැනි ගැටලු මතු කළ හැකිය. ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් ඇතිවීම, ගැබ් ගැනීමෙන් කලලයේ වර්ධනයටත් බාධා මතුවීමට ඉඩ තිබේ. නමුත් එසේ නොවන අවස්ථාද ඕනෑ තරම් තිබෙන බව අමතක නොකළ යුතුය.
 

“ෆයිබ්‍රොයිඩ්” සැමවිටම සැත්කමක් සිදු කර ඉවත් කර ගැනීම අත්‍යාවශ්‍ය වන්නේ නැත. එය පිහිටා තිබෙන ස්ථානය අනුව, ඒ නිසා හට ගන්නා රෝග ලක්ෂණ වලට අනුව, ඖෂධ වලින් ප්‍රතිකාර ලබා ගන්නවාද, එසේත් නොමැතිනම් එය, ශල්‍යකර්මයකින් ඉවත් කර ගන්නවාද, යන වග, වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත.
 
වේහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහ‍ලේ, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චනිල් ඒකනායක
 
සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.