lakbima.lk

දරුවාගේ ඇදුම පාලනය කරගන්න මේ උපදෙස් පිළිපදින්න

ඇදුම රෝගයෙන් පෙළෙන කුඩා දරුවෙකු සිටින වැඩිහිටියන්, දෙමාපියන් විසින් දැන ගත යුතු ඉතා වැදගත් කරුණු කීපයක් වේ. අද ඔබේ අවධානය යොමු කරවන්නේ එයයි.

* දරුවාට ඇදුම උත්සන්න වීමට හේතුවන සාධක (උදා :- දූවිලි, වාහන දුම්, දුම්වැටි දුම, මල්වල පරාග, ශීතල කාලගුණික තත්ත්ව, මානසික පීඩා, සමහර ඖෂධ වර්ග) මොනවාදැයි හොඳින් අධ්‍යනය කර හඳුනාගෙන ඒවායින් නිතරම ඈත්කොට තබාගන්න.

* දරුවා ඇදුමෙන් පෙළෙන විට ඒ සඳහා නොපමාව ප්‍රතිකාර ලබා දෙන්න. සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට ඇදුම උච්ච තත්ත්වයට පත්වී බැරෑරුම් වන්නේ පාන්දර යාමයේය. එනම් රාත්‍රී 12 - 2 අතරතුර කාලයේදීය. ඒ සිරුරේ හෝමෝන වල බලපෑමකට අනුවය. එබැවින් ඇදුමෙන් පෙළෙන දරුවෙකුට, රාත්‍රී වන විට, රෝගය උත්සන්න වීමට බොහෝ ඉඩකඩ තිබේ. අත් බෙහෙතකින්, දුම් අල්ලා හෝ යම් සහනයක් දැනුණද එය රෝගයට ප්‍රතිකාරයක් නොවේ. එබැවින් කල් නොයවා දරුවා රෝහලකට රැගෙන යන්න.


* දුම ඇල්ලීම යනු, දරුවාට හුස්ම ගැනීම පහසුකර දෙන්නක් පමණි. හැකිලී තිබෙන ස්වාසනාලිකා තරමක් විස්තාරණය කර දෙන, එම සහනය ටික වේලාවක් සඳහා පමිණි. එබැවින් දුම් අල්ලීමට අමතරව රෝගයට  නියමිත ප්‍රතිකාර ලබාගත යුතුමය.
දරුවාට ඇදුම හැදෙන වාර ගණන ලබාගත් ඖෂධ, ඇදුම පාලනය වූවාද නැද්ද යන වග ගැන, ‍පොතක සටහන් තබා ගන්න. එම තොරතුරු ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරයාට, නිවැරදි ප්‍රතිකාර ලබාදීම සඳහා විශාල සහයක් වෙයි.

* ඇදුම හට ගන්නා විට ලබාදෙන ඖෂධ  සේම, ඇදුම නැවත මතු නොවීම සඳහා ලබා දෙන ඖෂධ ඇතිබව සිහි තබාගන්න. ඇදුම හැදුනත්, නැතත් එම ඖෂධ  දිගටම (වෛද්‍යවරයා නවත්වන්නයැයි පවසන තුරුම) ලබා දිය යුතුය.

* ඇදුම සඳහා “ඉන්හේලරයක්” (උරන බෙහෙත්) ලබාදුන්විට එය නොවරදවාම දරුවාට දෙන්න. එය ඇදුම සඳහා ඉතාම සාර්ථකම ප්‍රතිකාර ක්‍රමයයි. ලෝකයේ අති දියුණුූ  රටවල දරුවන් සඳහා භාවිතා කරන ඖෂධ අපේ රජයේ රෝහල් වලින්ද ලබාගත හැකිය. “උරන බෙහෙත්” ගන්නා විට එයට ඇබ්බැහිවීමක් වේය යන මිථ්‍යා මතයක් සමාජයේ පවතී. එය කිසිසේත්ම  සත්‍යයක් නොවේ. මුඛයෙන් ගන්නා ඖෂධ ආහාර මාර්ග  පද්ධතිය ඔස්සේ ගොස් රුධිරයට එකතු වී, පෙණහල්ල කරා යන විට දිගු කාලයක් ගතවනවා සේම  ඖෂධ වැඩි මාත්‍රාවක් ලබාදීමටද සිදුවෙයි. නමුත් උරන බෙහෙත කෙලින්ම පෙණහල්ලට යන නිසා, ඉතා සුළු මාත්‍රාවක් වුවද ප්‍රමාණවත්ය. එබැවින් අතුරු ආබාධද අවමය.


* එසේම බෙහෙත් ඉරීම සඳහා වෛද්‍යවරයා විසින් ලබාදෙන, උපකරණ කට්ටලය නිසි ලෙස ක්‍රියාකරවන්නේ කෙසේද යන්න ගැන, වෛද්‍යවරයා වෙතින්ම ප්‍රායෝගික පුහුණුවක් ලබාගන්න. මන්ද එහි නිසි ක්‍රියාකාරිත්වය දරුවාගේ රෝග සුවයට සෘජුවම බලපාන නිසාය. එසේම ඒවා සති දෙකකට පමණ වරක් ගලායන ඇල් ජලයෙන් සෝදා පිරිසිදු කරගෙන මද පවනේ වියළා ගන්න. එසේම අතුල්ලා සේදීමෙන් වළකින්න (ඒවා ඇතිල්ලීමේදී එහි ව්‍යුහයන් වෙනස් විය හැකි බැවිනි.)

* එසේම කැස්ස, හතිය නැති විට පවා දීර්ඝ කාලීන භාවිතය සඳහා ලබාදෙන දුඹුරු පැහැති උරන කරල්, ඉරීමෙන් පසු උගුර සෝදා හරින්න. (නැතිනම් ඒවා උගුරේ බැදී කටහඬ වෙනස්වීම්, උගුරේ ආබාධ ඇතිවිය  හැකිය)

* දරුවාගේ ඇදුම නිසි ආකාරයට පාලනය වීම යනු සෙසු නිරෝගී දරුවෙකුසේ සාමාන්‍ය ජීවිතයක් ගෙවීමට හැකි වීමය.

සාකච්ඡා කළා - නිර්මලා කුමාරි සේනාරත්න
උපදෙස්,
කුලියාපිටිය මහ රෝහ‍ලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය
චින්තක රාජපක්ෂ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.