lakbima.lk

දරුවන් අනවශ්‍ය ලෙස බර වැඩි වන්නේ ඇයි?


සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වන අන්දමට පසුගිය වසර පහ ඇතුළත ඇමරිකාව හා යුරෝපීය රටවල් අනුව සසඳා බලද්දී බර වැඩි වීමේ ප‍්‍රවනතාවය දියුණු වෙමින් පවතින රටවල 30% කින් වැඩිවී තිබේ. අපේ රටේ දැනට කර ඇති සමීක්ෂණවලට අනුව වයස අවුරුදු 2-15 අතර දරුවන්ගෙන් 10% ක් පමණ අධිබරතාවයෙන් පෙළෙයි.

අධිබරතාවය හා සම්බන්ධ බෝ නොවන රෝග කිහිපයක් තිබේ. මෙම රෝග අධිබරතාවය හේතුකොට වයස 16, 17 වැනි කාලවලදී මෙන්ම ඊට අඩු  වයස් වලදි වුවද හට ගැනීමට අවකාශ තිබේ.

මෙයට දිය හැකි උදාහරණ අතර වයස අවුරුදු 12 වැනි අඩු වයසකදී වැඩිහිටියන්ට වැළඳෙන දෙවන වර්ගයේ  දියවැඩියාව හට ගැනීම අක්මාවේ තෙල් තැන්පත් වීම  හෘදයාබාධ, අංශභාග රෝගය, පෙනහලූ සම්බන්ධ ආබාධ, ගැහැනු දරුවන්ගේ ඩිම්බ කෝෂවල ගෙඩි හට ගැනීම සහ එ් සම්බන්ධව ඇති වන මඳ සරුභාවය වැනි රෝග දැක්විය හැකිය.

මේ හැරුණු විට හන්දි අමාරු (දණහිස් හා උකුල් සන්ධියේ ආබාධ), සම අඳුරු පැහැ වීම (විශේෂයෙන් බෙල්ල යට, කිහිලි හා ඉකිලි ප‍්‍රදේශ) ආදියද අධි බර හා සම්බන්ධ තත්ත්වයන් වේ. ළමුත් ළමා වියේ ඇති වන අධිබරතාවය පාළනය කර ගතහොත් ඉහත දැක්වූ බෝ නොවන රෝගවල අවදානමද නැතිවී යනු ඇත.

වර්තමාන දරුවන් මෙසේ අනවශ්‍ය ලෙස බර වැඩි වන්නේ ඇයි ?

මෙයට බලපාන හේතු රාශියක් තිබේ.

ආහාර ප‍්‍රධාන කරුණ අපේ ආහාර රටාවේම සිදුවී තිබෙන වෙනස්කම්ය. පසුගිය වසර 10 - 15 කාලය තුළ කැලරි අධික, පෝෂ්‍ය ගුණයෙන් අඩු ආහාර ඉතා සුලබව, වෙළඳපොළේ පහසුවෙන් මිලදී ගැනීමට හැකියාව ලැබිණි. එනිසා මේ වැරදි ආහාර පුරුදුවලට ඉතාමත් පහසුවෙන් වැඩිහිටියන් සහ දරුවෝද හුරු වූහ.

තම දරුවන්ගේ ජයග‍්‍රහණවලදී අද බොහෝ මව්පියන් පුරුදු වී සිටින්නේ ඔවුන්ව විශේෂිත ස්ථානවලට රැුගෙන ගොස් ආහාර වේලක් රැගෙන දීමටය. මේවා සාමාන්‍යයෙන් අප එදිනෙදා ආහාරයට ගන්නා බත් හා ව්‍යංජන නොවේ. මෙවැනි දෙදා  නිසාද දරුවෝ පහසුවෙන්ම පෝෂ්‍ය ගුණයෙන් අඩු කැලරි අධික ආහාරවලට හුරු වෙති.

ජීවන රටාව

පීඩාකාරී අධ්‍යාපන රටාවකට හුරුවීම නිසා දැන් දරුවන් දවසේ වැඩි කාලයක් සිටින්නේ වාඩි වී ගෙනය. පොදුවේ දෛනික ව්‍යායාම අඩුවී ඇත. කාලය ඉතිරි කර ගැනීම සඳහා සුළු දුරක් පවා බස් රථවලින් ත‍්‍රිරෝද රථ ආදියෙන් ගමන් කරන නිසා දරුවන්ට පයින් ඇවිද යාමට ලැබෙන අවස්ථාවන්ද මගහැරී තිබේ.

විනෝදාංශ ලෙස දරුවන්ට ක‍්‍රීඩාවල නියැලීමට තිබෙන අවස්ථාද මේ අධ්‍යාපන රටාව නිසා ඇහිරී ගොස් ඇත. තරග සඳහා වන ක‍්‍රීඩාවලටම දරුවන් යොමු කිරීම මිස තමන්ගේ ආසාවටවත් වෙනත් ක‍්‍රීඩාවක නියැලීමට අවස්ථා අහිමි වී තිබේ. මීට දශක කිහිපයකට ඉහතදී පාසල් විවේක කාලයේදී බෝලය සහ බැට් එක රැගෙන පිට්ටනියේ දරුවෝ සෙල්ලම් කළහ.

සරඹ කාල පරිච්ෙඡ්දයක් අතීතයේ පාසල් දරුවන්ගේ කාලසටහනට ඇතුළත් වී තිබිණි. දැන් එ්වා නැත. මේ සියල්ල නිසා බැට් එක බෝලය රැගෙන විවේක කාලයේ එල්ලේ ගසන දරුවන් අද පාසල්වල දක්නට නොලැබේ.

පරම්පරානුගත බලපෑම

ජානවලින්, එනම් ආරය අනුවත් අධිබරතාවය ඇතිවීමේ යම් බලපෑමක් තිබේ.
ඖෂධ වර්ග දිගුකාලීන භාවිතා කරන ඖෂධ වර්ග සේම හෝමෝන සංකූලතා ද අධිබරතාවය කෙරෙහි බලපායි. කෙසේ වුවද හැම හේතුවකටම වඩා බලපාන්නේ මුලින් කී වැරදි ආහාර රටාවන් සහ ජීවන රටාවන්ය.

වර්තමානයේ බොහෝ දරුවන් ආහාර ගන්නේ රූපවාහිනිය ඉදිරියේය. ක‍්‍රීඩා වශයෙන් දැන් ඔවුන් බොහෝ දෙනෙක් කරන්නේ පරිගණකයේ හෝ දුරකථනයේ ක‍්‍රීඩා කිරීමයි. නමුත් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට රූපවාහිනිය හෝ දුරකථන තිර දෙස බැලීම පවා සුදුසු නොවේ.

ළමයකුට දිනකට උපරිමයෙන් රූපවාහිනි, පරිගණක සහ දුරකථන තිරය දෙස බලා සිටීමට දිය යුතු කාලයපැයක් පමණි. නමුත් මොහොතකට සිතා බැලූවොත් අද දරුවන් අධ්‍යාපන කටයුතුවල නොයෙදෙන අවස්ථාවලදී වැඩිපුරම කරන්නේ මේ කුමන හෝ තිරයක් දෙස එක දිගට බලා සිටීම නොවේද?  

දරුවන්ගේ ආහාර වේල් ගැන තවදුරටත් සලකා බලන කල දැන් දරුවන්ට තිබෙන ආහාර වේල් ප‍්‍රමාණය වැඩිය. උදේට පාසල් යාමට පෙර බත් කවා, දරුවාට පාසලේ කෑම පෙට්ටියටත් බත් දමා දී දවල්ට ගෙදර පැමිණි පසුත් බත් කවා, රාත‍්‍රියටත් බත් කන දරුවකු ගැන සැලකුවහොත් මේ දරුවා දිනකට වේල් 4ක් පමණ බත් අනුභව කරනු ඇත. (නමුත් මෙයින් අදහස් කරන්නේ දරුවාට උදේට බත් කැවීම නතර කිරීම, කෑම පෙට්ටියට බත් දමා නොදී ෂෝර්ට්ඊට්ස් ොමනවා හෝ දීම යන්න බව නම් නොවේ. එය කිසිසේත්ම නොකළ යුතු දෙයක් බව මෙහිදී අවධාරණය කරවමු)

උදේට බත් ටිකක් කවා කෑම පෙට්ටියට ෂෝර්ට්ඊට්ස් වෙනුවට බත් ටිකක් දමා යැවීම යහපත් දෙයකි. නමුත් මේ ආහාරය කැලරි වැඩි පෝෂ්‍ය ගුණයෙන් අඩු එකක් නම් සිදුවන්නේ අධිබරතාවය වෙත දරුවා රැගෙන යාමය. මේ අතරට සීතල පැනි බීම කිරි පැකට් වෙළඳපොළේ ඇති පලතුරු යුෂ ආදියත් දුන්නොත් දවස පුරා දරුවාගේ සිරුරට එක් කරන සීනි ප‍්‍රමාණය කොතෙක්දැයි සිතන්න.

පාසල නිමවී ටියුෂන් පන්තියට යන දරුවා කුසගිනි නිවා ගන්නේ ෂෝර්ට්ඊට්ස් සහ බේකරි කෑම වලින් නම් එ්වා කෑමෙන් පසු බොන්නේ කිරි පැකට් එකක් නම් දරුවාගේ කුස පිරෙන්නේ මොනවායින්ද යන්න ඔබට වැටහෙනවාද?
පාසල් ආපනශාලාවල බහුලව දක්නට ලැබෙන්නේත් මෙම බේකරි කෑම, ෂෝර්ට් ඊට්ස්, කිරි පැකට් හා පැණි බීමයි. මෙවැනි කෑම දකින දරුවා තූළ නොඉවසිලිවන්ත බවක් ඇති වන අතර කෑම කෙරෙහි අනවශ්‍ය ලෙස මුල් තැනක් දෙන තත්ත්වයක් ඇතිවේ.

මේ සියල්ලම නිසා අධික තෙල්, අධික කාබෝහයිඞ්රේට් දරුවන්ගේ සිරුරේ තැන්පත් වෙයි. අධික කාබෝහයිඞ්රේට් තැන්පත් වන්නේ තෙල් බවට හැරීමෙනි.

වයස අවුරුදු 18 වන තුරු ළමයින්ගේ මේද ෙසෙල ප‍්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩිවීම සිදුවේ. කන ප‍්‍රමාණය අනුව එ්වා තැන්පත් කර ගැනීම සඳහා මෙලෙස ෙසෙල ප‍්‍රමාණය වැඩි වන අතර වයස 18න් පසුව ෙසෙලවල වැඩිවීමක් සිදු වන්නේ නැත. නමුත් 18 දක්වා වර්ධනය වූ එම ෙසෙලවල තිබෙන මේද තැන්පත් කර ගැනීමේ හැකියාව වැඩිබව කිව යුතුය.

කුඩා කාලයේ ඇති තරම් නොයෙකුත් කෑම වර්ග අනුභව කොට වැඩිහිටි වූ පසු ආහාර පාළනය කරමින් සිරුරේ බර අඩු කර ගන්නට සමහරු කල්පනා කරති. මෙහිදි ආහාර පාළනය කිරීම නිසා කලක් ගත වන විට බර අඩු වන නමුත් බර අඩු වූ පසු ආහාර පාළනය නතර කළහොත් යළිත් පෙර තිබූ පරිදිම බර වැඩිවීම සිදුවෙයි. එයට හේතුව මේදය තැන්පත් වන ෙසෙල වැඩිපුර වර්ධනය වී තිබීම නිසාය.

ළමා කාලයේ සිට යම් ප‍්‍රමාණයකට ආහාර ගත්තේ නම් ෙසෙලවල වැඩි වර්ධනයක් සිදු වන්නේ නැත. එසේ නම් වැඩිහිටි වූ පසුව බර පාලනය කර ගැනීම පහසුය.

ඔබේ දරුවාගේ බර වැඩි නම් ඔබ තවමත් ප‍්‍රමාද නැත. කෑම අඩු කර ව්‍යායාම වැඩි කර සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවන රටාව සකස් කර ගතහොත් තරබාරු බවෙන් මෙන්ම ඉහත කී රෝගවලිනුත් ආරක්ෂා වීමේ හැකියාව ඇත. තරබාරු දරුවකුගේ වුවත් බර පාළනය කර ගතහොත් නිරෝගි වැඩිහිටියකු වීමේ හැකියාව තිබේ.

මේ නිසා අනාගතයේදී දෙමාපියන් වීමේ අපේක්ෂාවෙන් හිඳින අය තම දරුවාව කුඩා කාලයේ සිට කෙලෙස හදා වඩා ගත යුතුද යන්න ගැන අවබෝධයෙන් සිටිය යුතුය. මව්කිරි දෙන කාලයේ සමහරවිට දරුවන් පුෂ්ටිමත් විය හැකිය. එය සාමාන්‍ය තත්ත්වයකි. නමුත් ඊළඟ වසර දෙක ගත වන විට ක‍්‍රම ක‍්‍රමයෙන් බර අඩුවීගෙන යාම සිදුවේ.

වැඩිහිටියකු ලෙස සිටිය යුතු බරට සරිලන ලෙස දරුවාගේ බර සකස් වෙයි. එවිට දරුවා කෙට්ටුවෙලා යැයි කියමින් විවිධ කෑම කවමින් යළි බර වැඩි කරන්නට මව්පියෝ උත්සාහ කරති. නමුත් මෙසේ බර අඩු වීම සාමාන්‍ය තත්ත්වයක් බව වටහා ගත යුතුය.

අධික ලෙස බර වැඩි වූ දරුවකුගේ බර අඩු කර ගෙන බෝ නොවන රෝගවලට දක්වන ප‍්‍රවනතාවය අඩු කර ගන්නේ කොහොමද?

වැඩිහිටියන්ට මෙන් ඖෂධ වර්ග ලබා දී බර අඩු කිරීමක් දරුවන්ගේ සිදු  කරන්නේ නැත.
වයස අවුරුදු 10ට අඩු දරුවන්ගේ එම බරම පවත්වාගෙන යා හැකිය. දරුවාගේ උස වර්ධනය වන විට දරුවා සාමාන්‍ය තත්ත්වයට පැමිණෙන නිසාය.


වයස 10ට වැඩි දරුවන්ගේ බර අඩු කිරීමට පුළුවන. එසේ අඩු කළ යුතු වේගය තීරණය කරන්නේ වෛද්‍යවරයාය. අධික බරින් යුතු දරුවන් සායනයකදී වෛද්‍යවරයාට යොමු කළ යුතුවේ. එ් දරුවාට වෙනත්  සංකූලතා තිබේද යන්න හඳුනා ගැනීමටය.


බර වැඩි දරුවන්ට සායනවලදි විශේෂ උපදෙස් ලබා දෙන අතර පොදුවේ  ඕනෑම දරුවකු හුරු කළ යුතු උපදෙස් තිබේ.


කැලරි වැඩි පෝෂණ ගුණයෙන් අඩු ආහාර ගැනීමෙන් වැළකීම, ඉඳහිට කලාතුරකින් මිස දෛනිකව තෙලෙන් බදින ලද කෑම, රස කළ කිරි පැකට් ආදිය ගැනීමෙන් වැළකීම මෙහිදී විශේෂ වේ.


පලතුරු ආහාරයට ගැනීම කළ යුත්තේ එ්වා බ්ලෙන්ඩර් කර පානයක් ලෙසින් නොව ගෙඩිය විදිහට කපා ගැනීමෙනි.
අප පිපාසයට මිලදී ගෙන බොන සීතල කරන ලද බෝතල් බීම වල තිබෙන සීනි ඉතා වේගයෙන් සිරුරට උරා ගැනීම සිදුවේ. එලෙස සිරුරට සීනි ඇතුල් වන විට එ්වා පාලනය කිරීම සඳහා ඉන්සියුලින් විශාල වශයෙන් නිපදවීමට ශරීරයට සිදුවේ. මෙය පසුකාලීනව දියවැඩියා රෝගය හට ගැනීම සඳහා හේතුවක් වෙයි.

ප‍්‍රධාන ආහාරවේල් අතර මැද සුළු බඩගින්නක් ඇති වන විට බිස්කට්, අයිස්ක‍්‍රීම් වැනි ආහාර ගැනීමෙන් වැළකී යෝගට් එකක් කෙසෙල් ගෙඩියක් වැනි පලතුරක් කෑමට දීම සුදුසුය. නිවසේ මව සකස් කර දෙන කෑම වලට දරුවා හුරු කරන්න. කඩවල් වලින් මිලදී ගන්නා ෆ‍්‍රයිඞ්රයිස් සහ තෙලේ බැද සකස් කළ ආහාර වර්ග හැකිතාක් දරුවන්ට දීමෙන් වළකින්න.


දරුවකු අධි බරතාවයට ලක්වීම වැළැක්වීමට ව්‍යායාම ලබා ගැනීමට සැලැස්වීමත් අතිශයින් වැදගත්
වෙයි.


පාසලට යන විට පයින් යා හැකි දුර පයින්ම එක්කරගෙන යාමට බලා ගන්න. මෙමගින් දරුවාට ඇවිදීම සඳහා කාලයක් ඉබේම ලැබෙනු ඇත. පැයක පමණ කාලයක් දහඩිය දමා ඇඟ මහන්සි කරවන ක‍්‍රීඩාවක දිනපතා නිරත වීමට අවස්ථාව ලබාදිය හැකි නම් එය ඉතා වැදගත් වනු ඇත.

මෙසේ ළමාවියේ සිටම සිරුර වෙහෙස කිරීමට හුරුවන දරුවකුට අධිබරතාවය ඇති නොවන සේම වැඩිහිටි වියට පත් වූ විටත් බොහෝ රෝගාබාධ වැළඳීමද වැළකී යනු ඇත.


පේරාදෙනිය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙනිය ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය වාසනා කිරිදන

සටහන - ඉන්දු පෙරේරා
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.