lakbima.lk

කාන්තා රූප ස්වභාවයට තර්ජනයක් වන ආර්තවහරණය

සොබා දහම කාන්තාවට සලකා ඇත්තේ අපූරු විදියකටය. වැඩිවිය පැමිණෙන වයසේ සිට හැඩ රුවින් අගතැන්පත් කොට තරුණ විය ආනන්දජනක කාල සීමාවක් බවට පත් කරයි. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ඇය කරා ගෙන එමින් වර්ගයා බෝ කිරීමට අවශ්‍ය වේදිකාව තනයි.

කාන්තාවකගේ ඵලදායී කාලය එනම් වයස අවුරුදු පහළොවත් හතළිස් පහත් අතර කාලය ඇය ශක්තිමත්ය. අභියෝගවලට නොබියව මුහුණ දෙයි. අධ්‍යාපනය ලබයි. රැකියා කරයි. විවාහ වී  පවුලක් නිර්මාණය කර රැක බලා ගනී. මේ සියල්ලම කිරීමට ඇයට රැකවරණයක් වන්නේ කාන්තා හෝර්මෝනය වන ඊස්ට‍්‍රජන්ය.

එහෙත් වයස අවුරුදු  හතළිස්පහ පමණ වන විට ඊස්ට‍්‍රජන් ඇය හැර දමා යාමට තීරණය කරයි. එනම් කාන්තාවකගේ ජීවිතය ඊස්ට‍්‍රජන් ඇති යුගය හා නැති යුගය ලෙස යුග දෙකක් බවට පත් වේ. එම වෙනස සනිටුහන් කරන සිදුවීම වන්නේ ඔසප් වීම නතර වීමය. එයට අපි ආර්තවහරණය යයි කියමු.

ආර්තවහරණය යනු  ඕනෑම  කාන්තාවකට වයස් ගත වන විට අත්දැකීමට සිදු  වන  ස්වාභාවික  සංසිද්ධියකි. එනම් වයස අවුරුදු 45 - 50 වන විට  ඔසප් වීම නැවතීමයි. ආර්තවහරණයට අයත් කාල සීමාව සේ සැලකෙන්නේ එම අවසාන ඔසප්වීම සිදු වීමට පෙර හා පසු කාලසීමාවයි. මෙය  සිදු  වන අයුරු වටහා  ගැනීමට නම් අපට කාන්තාවකගේ ප‍්‍රජනක පද්ධතිය පිළිබද  දැනුමක් තිබිය යුතුයි.

සෑම කාන්තාවකගේම යටි බඩ  පෙදෙසේ  ඩිම්බ කෝෂ   පිහිටා ඇත. කාන්තා ගති ලක්ෂණ  පෙන්නුම්  කරන්නට අවශ්‍ය වන ඊස්ට‍්‍රජන් යන  හෝර්මෝන නිපදවනුයේ ඩිම්බ කෝෂ මගිනි. ඩිම්බ මෝචනයත්  ඔසප්  වීමත් පාලනය වන්නේ  එම හෝමෝන  මගිනි. ආර්තවහරණය වන කාල සීමාව ළගා වන විට  මෙම ක‍්‍රියාවලිය නැවතීම සිදුවේ. වැඩිවිය පත් වූ දා සිට පිළිවෙලට සිදු වූ ඔසප් වීම  නවතී.

ආර්තවහරණය පියවර තුනකට බෙදේ.  එනම් ඔසප් වීම  නැවතීමට ආසන්න වසරක දෙකක පමණ කාලය  perimenapausal ඔසප් වීම  නැවතීම menapause හා ඔසප් වීම නැවතුන පසු ගත වන කාලය postmenapause  යන කාල සීමා තුනයි. මුල් අවස්ථාවේ ක‍්‍රමයෙන් වියපත් වෙමින් පවතින ඩිම්බකෝෂ වලින් හෝර්මෝන නිපදවීම අඩාල වේ. ඔසප් වීම නැවතීමට ආසන්න මෙම කාලයේ බොහෝ කාන්තාවන්ට ශාරීරික අපහසුතා ඇතිවේ.

පළමුවෙන්ම වෙනදා පිළිවෙලට සිදු වන ඔසප් වීම අපිළිවෙල වීමට පටන් ගනී. ඊට අමතරව, සිරුර පුරා රැුල්ලක් මෙන්   දිව යන උණුසුම් ගතියත්  සමග සම රත් පැහැ වී දහඩිය දැමීම සිදු විය හැක.  නින්ද නොයාම,  මානසික තත්ත්වය අස්ථාවර වීම, හෝ මානසික අවපාතය, අසහනකාරී ගතිය, හිසරදය, සන්ධිවල වේදනාව, හදවතේ ගැස්ම වැඩිවීම, ලිංගික ආශාවන්ගේ වෙනස්කම්, යෝනි මාර්ගයේ වියළි ගතිය, මුත‍්‍රාශයේ ආබාධ, ආදිය ඇතිවිය හැකිය.

මතක තබා ගත යුතු කරුණක් නම් සෑම කාන්තාවකටම මේ රෝග ලක්ෂණ පහල නොවන බවය. එක් එක් අයගේ ශරීර මෙම හෝමෝන වෙනස් වීමට දක්වන ප‍්‍රතිචාර වෙනස් බැවිනි.  මෙම රෝග ලක්ෂණ වෙනත් රෝග වලදීද ඇති වන බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම යහපත්ය.

වසරක් දෙකක් පමණ පවතින මෙම  පෙර ආර්තවහරණ ලක්ෂණ වලින් පසු ඔසප් වීම නවතී. එයින් පසු මෙතෙක් ඊස්ට‍්‍රජන් වලින් ලැබුණ රැකවරණය  කාන්තාවට අහිමි වන බැවින් විවිධාකාර රෝග සෑදීමට ඇති හැකියාව වැඩි වේ.
 
මොනවාද මේ ආර්තවහරණයට පත් වූ කාන්තාවට ඇති වන සෞඛ්‍ය ගැටලූ‍?

අස්ථිවල ඇති කැල්සියම් අඩු වන බැවින් ඔස්ටියෝපොරෝසිස් සෑදීමට ඇති ඉඩ කඩ වැඩිවේ. එනම් පහසුවෙන් අසථි බිඳීම්වලට ලක්වේ. කුඩා  කළ හිරු එළියට නිරාවරණය වී හොඳින්  දුව පැන සෙල්ලම් කොට, තරුණ වියේදී ද ව්‍යායාම වූ අස්ථි සවිමත්ව ඇති අයට ඔස්ටියෝපොරෝසිස් ලක්ෂණ අඩුය.

සමහර  කාන්තාවන්ට හෘදයාබාධ සෑදීමේ අවදානම  අඩු බව සංඛාලේඛන වලින් පෙනේ. ඒ ඊස්ට‍්‍රජන් වලින්  ලැබෙන රැකවරණයකි. ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ට හා පිරිමින්ට හෘදයාබාධ ඇති වීමේ අවදානම සමානය. ඔසප් වීම නැවතුන පසු ඇති වන තවත් අපහසුතාවක් නම් මුත‍්‍රාශයේ සහ අන්ත‍්‍ර ක‍්‍රියාකාරිත්වයේ දෝෂ ඇති වීමය.

නිතර අමතක වීම මේ කාලයේ, එදිනෙදා වැඩ කර ගැනීමේදී මහත් අපහසුතා ගෙන දේ.  එහි උග‍්‍ර අවස්ථාව  වන Alsheimerzs වලට ඇති අවදානමද වැඩි වේ. කාන්තා රූප ස්වභාවයට වඩාත්ම තර්ජනයක් වන්නේ ආර්තවහරණයේදීය. මේදය තැන්පත් වීම නිසා සිරුර මහත් වී හැඩය අවලස්සණ වීම, සම රැලි වැටීම, මාංශ පේශි වල ශක්තිමත්භාවය අඩු නිසා මාංශ පේශි එල්ලා වැටෙන ස්වභාවයක් ඇති වේ.

හතළිස් ඇඳිරියේදී අඩු වන පෙනීම ඇසේ සුද මතු වීම, දෘෂ්ටි විතානයේ ආබාධ නිසා මේ සමයේ ඇස් පෙනීමට බලපෑම් සිදු වේ. ඒ නිසා දෘෂ්ටි පරීක්ෂාව කර ගැනීම වැදගත්ය.

ආර්තවහරණය නිසා මෙසේ විවධ අපහසුතාවන්ට පත් වන්නේ අවුරුදු 45- 50 අතර කාන්තාවන්ය. සමහර විට ශල්‍යකර්ම  පිළිකා මර්දන බෙහෙත් ආදිය ගැනීම වැනි හේතු නිසාද ජානමය හේතු නිසාද වයස 40ට පෙර ආර්තවහරණය සිදු වන අවස්ථා ද ඇත.

මේ වයසට එන විට  ඕනෑම කාන්තාවක්  දරුවන් ලොකු මහත් කිරීම, නිරන්තර ගෙදර දොරේ වැඩ, පවුල් අසමගිය ආදිය නිසා මානසික පීඩා, රැකියාවක බොහෝ කල් නිරතව සිට ඇති වන තෙහෙට්ටුව ආදී බොහෝ දෙයින් හෙම්බත් වී සිටින කාල සීමාවකි.

ඒ නිසා කාන්තාවකගේ පසු ආර්තවහරණ සමය අපහසුතා මගහැර සතුටින් ඵලදායීව ගෙවීමට ඇයට  අවස්ථාව ලැබීමට   නම් සැමියා හා දරුවන් ද මේ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇතිව  ඇයට අවශ්‍ය ආදරය, කරුණාව, විවේකය ලබා දීමට පියවර ගැනීම ඉතා වැදගත්ය.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.